Print this Article


සුගති මාවත

සුගති මාවත

ආරෝග්‍ය පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්සාසා පරමා ඤාතී
නිබ්බානං පරමං සුඛං

නීරෝගිකම උතුම් ම ලාභය වේ
සතුට පරම ධනය වේ
විශ්වාසයට වඩා නෑයෙක් නැත
නිවන උතුම්ම සැපය යි

නීරෝගිකම උතුම්ම ලාභය බව පෙන්වා දීමට කොසොල් මහ රජතුමාට සැවැත් නුවර දෙව්රම් වෙහෙර දී ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක.

පසේනදී කොසොල් මහරජතුමා දහවල් අධික ලෙස සිය කුස පුරා ආහාර ගෙන, ටික වේලාවක්වත් විවේක නොගෙන විහාරයට ගොස් බුදුන් වහන්සේ වැඳ එකත් පසෙක හිඳ පිළිසඳර කතාවෙහි නියැළුණේ ය. අධික වූ ආහාර මදයෙන් මත් ව හටගත් නිදිමත ඉවසිය නොහැකි ව ඈනුම් අරිමින්, මඳ සිහියෙන්, නොසන්සුන් ගති ලක්ෂණ ඇති ව සිටි මොහොතේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මෙසේ විමසූ සේක.

“කිමෙක්ද මහරජ, මදක්වත් විවේක නොගෙන නොනිදා මෙහි ආවෙහි ද? “එසේ ය, බුදුරජාණන් වහන්ස, ආහාර ගත් වේලාවේ සිට ම සිරුරට අපහසු ය. මහන්සිය අධික ය."

රජතුමා කීවේ ය. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මානුකූල හා සෞඛ්‍ය සම්පන්න පිළිතුර වූයේ ප්‍රමාණය දැන ගෙන ආහාරය ගැනීම ශරීරයේ සුව පහසු බවට හේතු වන බව ය. ආහාර ගැනීමේ ක්‍රමයක්, සීමාවක්, ප්‍රමාණයක්, පිළිවෙළක් ඇති බව උන්වහන්සේ මැනවින් පෙන්වා දුන් සේක. දානය වැළඳීම පිළිබඳ භික්ෂූන් වහන්සේට “සක්කච්ච” වග්ගය තුළ සේඛියා ධර්මවල සඳහන් වන පරිදි,

“න පිණ්ඩුක්ඛේපකං භූඤ්ජිස්සාමි සික්ඛා කරණීයා”

බතින් සතර වන කොටස පමණ වූ ව්‍යඤ්ජන ඇති ව ආහාර වළඳන්නෙමි. මැනවින් (සේඛියා) සික පද දේශනා කර ඇත.

කොසොල් මහ රජතුමා එම ඕවාදයෙහි (අවවාදයෙහි) සාර්ථක ව පිහිටා පමණ දැනගෙන ආහාර ගැනීමෙන් ශරීර සුවතාවක් මනා ලෙස ලැබීය. ශරීරයේ පංච බල, එනම් ආයු, වණ්ණ, සැප, බල, ප්‍රඥා වැඩුණි. සිය සිරුරට ලැබුණ සුවතාව ද, පංච බලය ද නිසා මහරජතුමා සතුටින්, ප්‍රඥාවෙන් උපේක්ඛා සහගත ව ජීවත් වූයේ ය.

දිනක් මහරජතුමා විහාරයට ගොස් දුන් අවවාදයෙහි පිහිටීමේ විශේෂ වැදගත්කම, උතුම් බව ලොව්තුරා බුදුරජාණන් වහන්සේට දැන්වීය. භාග්‍යවතුන් වහන්සේ එම සිද්ධිය මුල් කර ගෙන නිරෝගිකම උතුම් ලාභය බව ද, සතුට උතුම් ධනය බව ද, හිතවත්තු විශ්වාසය ප්‍රධාන කොට ඇති නෑයෝ බව ද, නිවන උතුම් සැපත බව ද වදාළ සේක.

වර්තමාන ජන සමාජයේ ජීවත් වන මිනිසා දිනකට ප්‍රධාන ආහාර වේල් තුනක් ගැනීම සිරිතකි. අතිරේක ආහාර ගැනීම ද සිදු කරති. නමුත් එම ආහාරවල, ඇතිවීමක්, ප්‍රමාණයක්, සීමාවක්, ප්‍රමිතියක් ගැළපෙන නොගැළපෙන බවක්, ගුණාත්මක බවක් බොහෝවිට කල්පනා නොකරයි. නොසිතයි. සිය කුස පිරීමෙන් පමණක් සෑහීමකට පත්වෙයි. වැරදි ආහාර රටාව බොහෝ ගැටලුවලට හේතු වේ. ව්‍යායාමවලින් බැහැර ව සිටින ලොකු - කුඩා, වැඩිහිටි බහුතරයක් පිරිස එවන් රෝග ලක්ෂණවලට ගොදුරු වෙති. සෞඛ්‍ය සම්පන්න දාන වේලක් (ආහාර) නොලැබීම තුළ බොහෝ භික්ෂූන් වහන්සේ ද විවිධ වූ ලෙඩ රෝගවලට ගොදුරු වන බව ලෝක සෞඛ්‍ය සංවිධාන හා වෛද්‍ය වාර්තා තුළින් මැනවින් පෙන්වා දෙති.

භික්ෂූන් වහන්සේට දානය සකස් කිරීමේ දී වස විස නැති ගමේ දෙයක් සැකසීම ඉතාමත් වැදගත් මෙන් ම දානය දෙන දායක පිරිසට ද නීරෝගිකමේ ආනිශංස මෙලොව දී ම වශයෙන් හිමි වේ.

අද බොහෝ පිරිස් දේශීය ආහාර ද්‍රව්‍යයන්වලට යොමුවීමට වඩා විදේශීය ආහාර - පලතුරු වර්ග, බීම වර්ග භාවිත කරන බව විශේෂයෙන් ම පෙනී යයි. පාසල් අධ්‍යාපනය ලබන දූ දරුවන් ක්ෂණික ආහාර, රසකාරක, සිසිල් බීම වර්ගවලට යොමු වී ඇති බව මනාව දක්නට ඇත.

විදුහල්පතිතුමනි, ගුරුතුමනි, දහම් පාසල් ප්‍රධානාචාර්ය හා ඇදුරුතුමනි, මවුපියතුමනි, ඔබගේ දරුවා පිළිබඳ ව ඇස ඇරිය යුතු අවස්ථාව මෙන් ම සොයා බැලිය යුතු මොහොත මෙයයි. දරුවාට මෙහි ඇති අනිටු විපාක, ආදීනව පිළිබඳ ව මනා අවබෝධයක් ලබා දීම හා සෞඛ්‍ය වැඩසටහන් පවත්වා පාසලේ දී, ග්‍රාමයේ දී, නිවසේ දී දැනුම ලබා දීම විශේෂ යුතුකමකි. වගකීමකි. අනාගත යහපතකි.

අතීතයේ මිනිසා පරමායුෂ විඳි බව දක්නට ලැබේ. එහෙත් වර්තමානයේ කෙටි ආයුෂ පෙන්නුම් කිරීමක් ද දක්නට ඇත. එදා බඩුබාහිරාදිය හිසේ තබාගෙන, දූ දරුවන් වඩාගෙන, පා ගමනින් සැතපුම් ගණන් දුර ගිය ද වර්තමානයේ කෙටි දුරක්වත් එසේ යන කෙනෙක් නැත.

“සන්තුට්ඨි පරමං ධනං” සියලු ම දේට ප්‍රධාන වන්නේ, මුල් වන්නේ තමාගේ සිතයි. සතුට නැති නම් සිතේ සැනසිලිදායක බවක් නැත. පැරැණි ජනප්‍රවාදයේ කියමනක් ඇත. අත කැඩුණොත් බෙහෙත් ඇත. සිත කැඩුණොත් බෙහෙත් නැත. මෙම කියමන සනාථ කර ගැනීමට අද ද මානසික රෝහල්වලට ගිය විට තම තමන්ට ම සියැසින් දැක බලා ගැනීමට පිළිවන.

සතුටක් නැති නම් මානසික දියුණුවක්, භෞතික සංවර්ධනයක් දක්නට අපහසු ය. ඔබ ජීවත් වන නිවෙස තුළ මව - පියා දූ දරුවන් සෑම විට ම කලකිරීමෙන්, අසතුටෙන්, අසමගියෙන්, අධර්මයෙන්, වෙසේ නම් එම නිවෙසට සැමදා ම දියුණුවක් නොව පරිහානිය සිදුවෙයි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය - රාජ්‍ය නොවන ආයතන බොහොමයක ම සමගිය සතුට පිරිහී ගිය, ඛේදනීය අවස්ථාවන් බොහෝ විට ඇත. කේලාම් කීම, බොරු කීම, අනුන් කෙටවීම, විවිධ වූ අඩුපාඩු සෙවීම, බොහෝ අයගේ සතුට මෙන් ම විමෝදාංශය ද වී ඇත. මෙම පහත් නීච ගති ලක්ෂණවල අවසාන ප්‍රතිඵලය වනුයේ තමාත් විනාශ වී, අනුනුත් විනාශ කර, මෙලොව පරලොව පරිහානිය සිදු කර ගැනීමයි.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සතුට උතුම්, පරම ධනය වන බවයි. සතුටෙන්, පී‍්‍රතියෙන්, සමගියෙන් කටයුතු කිරීමේ දී එක මවකගේ දරු කැළක් මෙන් දක්නට ලැබෙන අතර, සිය ජීවිත සර්ව සම්පූර්ණ වී, සංවර්ධනය වී, සාර්ථක වී සතුට පරම ධනයක් ලෙස මනසෙහි ස්ථාපිත වෙයි.

“විස්සාස පරමා ඤාතී”

සමාජයේ බොහෝ පිරිස කපටිකම්, වංචාකාමී, මිනීමැරුම් හා දූෂණවලට ගොදුරු වෙති, අසුවෙති, මුළාවෙති. සිනහව දත් ටිකේ සුදු පාට නොව හදවතේ හෙවත් සිතේ පවතින විශේෂ ස්වභාවයක් බව මෙහිදී පෙන්වා දිය හැකි ය.

ඤාති යන්නන් අදහස් කරනුයේ නෑදෑයා යනුයි. මෙහිදී අර්ථකථනය වන්නේ තමාට ඉතාමත් හිතවත් විශ්වාසවන්තයා යි. ඔහු හෝ ඇය හෝ අපට ලෙහෙසියෙන් දැක ගැනීමට, හඳුනා ගැනීමට අපහසු වුවත් කල්යාමේ දී සුචරිත ආකල්ප, ගුණදහම් අගයන, පවට අකුසලයට බිය, පිනට කුසලයට කැමැති, දුකේ දී සැපයේ දී එක්වෙන, තමා පසු පස ම සිටින, ආත්මාර්ථයට වඩා පරාර්ථය අගයන කෙනා “විස්සාස පරමා ඤාතී” වන බව සම්බුදු දහම පෙන්වා දෙයි.

“නිබ්බානං පරමං සුඛං” සසර ගමනේ ආරම්භයක්, කෙළවරක්, නිමාවක් දැකීම බොහෝ සේ අපහසු ය. දුෂ්කරය. සංසාර භව කතරේ ප්‍රතිසන්ධිය (උත්පත්තිය) නොලැබූ සත්ත්වයෙක් සොයා ගැනීම අතිශය අපහසු ය. උදා - එක වර්ණයෙන් (පාටින්) පමණක් උපන් සත්ත්ව ආත්ම භව පන්සිය වරකටත් වඩා වැඩි ය.

ගිජ්ඣකූට පර්වතය යනු විශාල උස් කන්දකි. එක් අයෙක් ආත්ම භවවල මියගිය ඇටකටු ටික ගොඩ ගැසුවහොත් එම කන්දට වඩා උස් ව පවතී. සංසාර ගමනේ මොන තරම් දුර ඔබ ගමන් කළා ද? තව ඉදිරියට කොතරම් යා යුතු ද? කියා සිතීමටවත් අපහසු ය. පින් - කුසල් සිදු කිරීම සුගතිය දකින මාවතකි. සතර අපායේ (නරක, තිරිසන්, ප්‍රේත, අසුර) නූපදී. නමුත් සසර ගමනේ නිමාවක්, කෙළවරක්, අවසානයක් නැත. පව් හෙවත් අකුසල් සිදු කිරීම දුගතියට සතර අපායට මාවතකි.

තණ්හාය ජායතී සොකො
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතෝ භයං
තෘෂ්ණාව නිසා ශෝකය උපදී.
තෘෂ්ණාව නිසා බිය උපදී.

තෘෂ්ණාව මිදුණ තැන සෝකයක් නැත. භයක් නැත.

මෙම හතර පද ගාථාවෙන් වුව ද පිළිබිඹු වන්නේ, සසර බැඳ තබන්නේ තෘෂ්ණාව ම බවයි. තෘෂ්ණාව - (ආශාව) මුල් කර ගෙන “තණ්හා ජනේතී පුරිසං” තෘෂ්ණාව නිසා සත්ත්වයා උපදියි. තෘෂ්ණාව නැති කිරීම හෙවත් සම්පූර්ණයෙන් දුරු කිරීමෙන් මිනිසා නිර්වාණ සුවය ලබයි. (තණ්හක්ඛයෝ නිරෝධෝ නිබ්බානන්ති) තෘෂ්ණාව හැඳින්වීමට අභිධම්ම දේශනාවේ වචන සියයක් පෙන්වා දී ඇත. සුගති භූමි, දුගති භූමි යන සියලු ම ස්ථාන කරා යොමු වන්නේ ප්‍රධාන වශයෙන් ම තෘෂ්ණාව මුල්කර ගෙන ය.

මෙම උතුම් දහම් කරුණුූ මනාව දැන සාර්ථක ව අවබෝධ කර ගත් පිරිස නිවැරැදි දහම් මාවතේ ගමන් කර යහපත් අතිසුන්දර ලොවක් වෙත සාර්ථක ව පියමන් කරති.