Print this Article


පිනට ලද ජීවිතය මඟහැර නොගන්න

පිනට ලද ජීවිතය මඟහැර නොගන්න

“පඤ්චති භික්ඛවෙ සමන්නාගතො
ආහුනෙය්‍යො හොති පාහුනෙය්‍යො හොති
දක්ඛිණෙය්‍යො අඤ්ජලිකරණීයො
අනුත්තරං පුඤ්ඤඛෙත්තං ලොකස්සාති”

මේ දේශනාව බුදුපියාණන් වහන්සේ උපමාවක් භාවිත කර ගෙන ගැඹුරු දහම් කරුණක් පුහුදුන් ජනයාට පැහැදිලි කිරීමට ගත් වෑයමකි. මේ කරුණු සඳහා උපමාව බවට පත්වන්නේ “රජුගේ මඟුල් ඇතා ය.” මේ දේශනාව “අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයේ සෝථා සූත්‍රය” තුළ පැහැදිලි කර ඇති නිසා එය ඇසුරු කර අද මේ දහම් කරුණු නූතන සමාජයට ගළපමින් පැහැදිලි කරනු ලබනවා. වත්මන් සමාජයේ බොහෝ දෙනකු මිනිසත්කමට නිගරු වන අන්දමින් කටයුතු කරනවා අප බොහෝ වේලාවට දැක ඇත. නමුත් මියයන මිනිසුන් ලෙස අප කල්පනා කළ යුත්තේ රටට සමාජයට අවැඩ නොකරමින් උතුම් චරිතවත් දිවියක් ගත කිරීමටයි.

ඒ සඳහා මඟුල් ඇතකු වීමට තිබිය යුතු ලක්ෂණ පහක් මානව දිවිය තුළ ද සංවර්ධනය කර ගත යුතු බව දහම තුළ පෙන්වා දෙයි.

හස්ති විද්‍යාව පිළිබඳ ව හසල දැනුමක් ඇති පුරාණ ඇත්තෝ සඳහන් කළ කරුණු පහක් මෙහිදී දක්වා ඇත. එනම් මංගල හස්තියකු වීමට තිබිය යුතු මූලික කරුණු පහකි.

අසන්න ඕනෑ (සොථා හොති), ඉවසීම (ඛන්තීච) ඕනෑ, නසන්නෙක් විය යුතු යි. (හන්තාහොති), දක්ෂ ආරක්ෂකයෙන් විය යුතු යි.(රක්ඛිතා හොති) යුතු නොයා යුතු තැන දැන ගත යුතුයි (ගන්තා හොති).

මේ කරුණුවලින් පරිපූර්ණ වූවකු පමණක් රජුගේ මංගල හස්තියා ලෙස තෝරා ගනු ලැබේ. එය බුදු හිමියන් පහළවීමට පෙර සිට ම හස්ති විද්‍යාඥයන් පිළිගත් කරුණු කිහිපයකි. මෙම කරුණු පහ මනුෂ්‍යයාගේ ජීවිතය තුළ වර්ධනය කර ගැනීමට යමෙක් උත්සාහවන්ත වන්නේ නම්, ඔහු පූජනීය චරිතයක් වන බව දහම තුළ පෙන්වා දෙයි.

අප තුළ බොහෝ වේලාවට නැති ම ගුණයක් ලෙස අනෙකාට ඇහුම්කන්දීම පෙන්වාදිය හැකි ය. යහපත් චරිතයක් වීමට නම් පළමුවෙන් ම අප ඇහුම්කන් දීම ප්‍රගුණ කළ යුතු ය. එම ගුණය බුද්ධ චරිතය තුළ හරි අපූරුවට දකින්න ලැබෙනවා. රාහුල කුමරු පැවිදි කළ අවස්ථාවේ සුදොවුන් රජුට ඇහුම්කන් දීම, වස් කාලය පිළිබ ඳ අන්‍යයන්ට ඇහුම්කන් දීම තුළ විනය නීති පැනවීම ආදී අවස්ථා ඒ අතර සුවිශේෂී වේ.

ලෞකික ජීවිතයේ දී දරුවකු නම් තම මව්පියන්ට, ගුරුවරුන්ට ඇහුම්කන් දිය යුතු ය. එවැනි දරුවන්ට ජීවිතය වරදින්නේ නැත. වත්මන් සමාජයේ එලෙස ඇහුම්කන් නොදීම නිසා බොහෝ දරුවෝ සමාජයේ අපමණ කරදරවලට පත් වීම සුලභ කරුණකි. සැමියා බිරිඳටත්, බිරිඳ සැමියාටත් ආදී තම සම්බන්ධතාව අනුව එකිනෙකාට ඇහුම්කන් දීම තුළ ජීවිතයේ බොහෝ කරදර බාධාවලින් තොර දිවියක් ගත කළ හැකි වනු ඇත.

ලෝකෝත්තර දිවියේ සංවර්ධනය ඇති කිරීමටත්, බුදුහිමියන්ගේ උතුම් බුද්ධ වචනය ඇසිය යුතු යි. ඒ අනුව දිවිය සකසා ගැනීම තුළ මෙලොව, පරලොව දිවි පැවැත්මේ සඵලත්වය ඇති කර ගැනීමට හැකි වනු ඇත.

ඉවසීම ඇති කර ගැනීම ද පුද්ගල චරිතයේ බොහෝ ප්‍රශ්නවලට වැදගත් විසඳුමකි. “ඛත්තී පරමං තපො” උතුම්ම සීලය ඉවසීම බව දහමේ පෙන්වා දී තිබේ. ඉවසීමෙන් සැනසීමත්, නො ඉවසීමෙන් වැනසීමත් ඇති වන අයුරු සමාජයේ බොහෝ වේලාවට දකින්නට ලැබෙනවා. කරදරයකට පත් වූවාට පසුව තමා ඉවසුවා නම් කදිමයි කියා බොහෝ අයට කියවුණේ පෙරහර ගිය පසුව බව ගැමි කියමනක් තිබේ. බුද්ධ චරිතයේ දී බොහෝ තැන්වල ඉවසීම ප්‍රකට ය. සුන්දරී පරිබ්‍රාජිකා කතා පුවත හා චිංචි මානවිකාවගේ කතා පුවත් තුළ ඒ බව මනාව පැහැදිලි වේ. බෝසත් අවධියේ දී ක්ෂාන්තිවාදී ජාතකය, අපේ ජීවිතයට බොහෝ පාඩම් හා අත්දැකීම් සපයයි.

තෙවැනි කරුණ නම් නසන්නෙක් විය යුතු ය. මඟුල් ඇතකු නම් තම මිතුරු සේනාව හැඳින ඔවුන් බේරා ගෙන සතුරු සේනාව පමණක් විනාශ කළ යුතු ය. එය යුද්ධයක් ජයග්‍රාහී කිරීමට අත්‍යවශ්‍ය මඟුල් ඇතකු තුළ තිබිය යුතු වැදගත් ලක්ෂණයකි. මෙය පුද්ගල ජීවිතයේ දී නිවැරැදි ව තේරුම් ගැනීම වැදගත් ය. පුද්ගල ජීවිතයේ දී මෙයින් කියැවෙන්නේ මිනිසුන් ඝාතනය කිරීම නොව අප තුළ ඇතිවන කෙලෙස් හා දුර්ගුණ නසා දැමිය යුතු බවයි. එය චරිතවත් ජීවිතයක උතුම් ගුණයකි.

සිව්වැනි කරුණ නම් “රක්ඛිතා හොති” ආරක්ෂා කළ යුතු බවයි. මඟුල් ඇතකු තම පිට මත සිටින රජු හා තම සේනාව ද, සතුරු ප්‍රහාර හමුවේ තමා ද ආරක්ෂා වී, ඔවුන් ද ආරක්ෂා කිරීම ඔහුගේ වගකීමකි. පුද්ගල ජීවිතයේ දී තමා තුළ ශීලා දී ගුණධර්ම ආරක්ෂා කර ගෙන, දුර්ගුණ ඉවත ලා, යහගතිගුණ ආරක්ෂා කළ යුතු ය. තිදොර හීලෑ කර ගැනීම තුළ එම පුද්ගල චරිතය නිවැරැදි මනුදම් පුරන්නෙක් වෙයි.

පස්වැනි කරුණ නම් යා යුතු, නොයා යුතු මඟ දැන යාමයි. කෙදිනකවත් මඟුල් ඇතකු අනවශ්‍ය මං මාවත්වල, තම පෞරුෂයට නොගැළපෙන දේ නොකරන්නේ ය. එයට කදිම නිදසුනක් ලෙස දළදා මාළිගාවේ සිටි රාජා හස්තියා හා නැඳුන්ගමුවේ රාජා නම් වූ මඟුල් ඇතුන්ගේ පූජනීය චරිත විලාසය පෙන්වාදිය හැකි ය. දළදා හිමි වැඩමවන විට තිබෙන සංවර බව හා විනය ගරුක බව කදිමයි. එවැනි ම ආකාරයට මිනිස් චරිතය තුළ කළ යුතු, නොකළ යුතු දෑ පිළිබඳ මනාව හැඳින කටයුතු කිරීම පූජනීය චරිතයක ලක්ෂණය බව දහම තුළ පෙන්වා දෙයි.

ධර්මානුකූල ලෙස මෙම බුද්ධ වචනය චරිතායනය කර ගන්නේ නම්, එවැනි පුද්ගලයා සමාජයේ උතුම් පූජනීය චරිතයක් වනු නියතයි.