Print this Article


මහා කාශ්‍යප මහරහත් පිණ්ඩපාත කතා වස්තුව

මහා කාශ්‍යප මහරහත් පිණ්ඩපාත කතා වස්තුව

අප්පමත්තො අයං ගන්ධො - යායං තගරචන්දනී,
යො ච සීලවතං ගන්ධො - වාති දෙවෙසු උත්තමො.”

(වාච්‍ය අර්ථ) තුවරලා - සඳුන් ආදියෙහි යම් සුවඳක් වේ ද, මේ සුවඳ අල්පමාත්‍ර වූවකි. සිල්වතුන්ගේ යම් සිල් සුවඳක් වේ ද, එය දෙවියන් අතර පවා පැතිරේ.

යො අයං - යම් මේ, තගර, යනු තුවරලාය, ඉරිවේරිය, සැවැන්දරා වැනි සුවඳ පැළෑටි වර්ගයකි. මල් වර්ගයක් ලෙස ද සැලකේ.

චන්දනී - අරටු සුවඳ (සාරගන්ධ) අතර ප්‍රධාන වූ සුවඳහඳුන් ය.

අයං ගන්ධෝ

මේ සුවඳ අප්පමත්තො - අල්ප මාත්‍රයකි. සුලු බව ය. ඉතාම ටිකකි. මෙවැනි මල් සුවඳ, අරටු සුවඳ, මුල් සුවඳ මිනිස් ලොව වුව දසදිග නොපැතිරෙයි. උඩු සුළඟට පවා නොහමයි. යටි සුළඟට වුව ද මඳ දුරක් මැ පැතිරෙන හෙයින් ඉතාසුලු ය.

සීලවතං යො ච ගන්ධො - මේ සිල්වතුන්ගේ සිල් සුවඳ (යමෙක් සමාදන් වූ ශික්ෂා පද කය හා වචන හික්මවා ගෙන, කඩ නොකාට, ආර්යයන්ගේ ප්‍රශංසාවට ලක්වන පරිදි, ආර්යකාන්ත ලෙස, ආරක්ෂා කෙරේ ද, හේ සිල්වතෙකි) ඔහු කෙරෙහි වූ ඒ සීලය ම “සීලගන්ධ” නම් වේ.

ශික්ෂා පදවල එන “සමාදියාමි” යන පදයෙහි එක් අර්ථකථනයක් ලෙස “කඩ නොකොට ආරක්ෂා කරමි” යන අදහසක් සූත්‍ර දේශනාවල එයි. මේ අදහස ද මෙහිදී මෙසේ සනාථ කළ හැකි ය. සීලයෙහි ප්‍රභේද ධර්ම ග්‍රන්ථයන්හි බොහෝ සේ දක්වා ඇත.

කිං සීලං? (සීලය යනු කුමක්ද?) යන ප්‍රශ්නයෙහිලා දක්වා ඇති එක් පිළිතුරක තමාගේ සීල පිළිවෙත් මෙසේ කඩ නොකොට ආරක්ෂා කළ යුතු බව සතර කරුණකින් දක්වා තිබේ.

ඒවා නම් චේතනා ශීලය - තමා පොරොන්දු වූ පව්කම්වලින් වැළකී සිටීමට සිදු කළ යුතු වූ වත් පිළිවෙත් පිළිබඳ ව සිතෙහි යෙදෙන චේතනා මෙම ශීලයයි.

චෛතසික ශීලය - මේ චේතනා සහිත ව ඇතිවන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන විරති චෛතසික තුන කඩ නො කොට රැකීම මෙ නමින් විස්තර වේ.

සංවර ශීලය - මෙය නම් ප්‍රාතිමෝක්ෂ ශීලය - සතිය - ඤාණය - ක්ෂාන්තිය - වීරිය යන සංවර පහ පාපයට භය කුල පුත්‍රයන් විසින් තමාගේ සම්පත්ති ලෙස සලකා ආරක්ෂා කිරීමයි.

අවිතික්කම ශීලය - සමාදන් වූ සිල් පද යම් ප්‍රමාණයක් වේ ද ඒවා කයින් හා වචනයෙන් කඩ නොකොට රැකීමයි.

මේ අනුව මෙසේ රකින සීලයෝ චතුරාර්ය සත්‍යය අවබෝධයට කොතෙක් දුරට උපකාර වන්නේ ද යත් බුද්ධ භාෂිතයේ එක් තැනක මෙසේ සඳහන් වේ.

“ යා තථා භූතස්ස දිට්ඨි, සාස්ස හොති සම්මා දිට්ඨි, යො තථා.......

සම්මා සමාධි, පුබ්බෙව ඛො පනස්ස කායකම්මං වචී කම්මං ආජීවො

සුපරිසුදධො හොති එව...... අට්ඨංගිකො මග්ගො භාවනා පරිපුරං ගච්ඡති.”

එබඳු මහණුන්ගේ යම් දෘෂ්ටියක් ඇද්ද? එය ඔහුට සම්‍යග්දෘෂ්ටි වෙයි. ... ඔහුගේ කාය කර්මය ද, වාක්කර්මය ද ආජීවය ද (පුබ්බේව) කලින් ම සුපිරිසුදු වූයේ වෙයි. (මජ්ක්‍ධිම නිකාය 3 පිටුව 598 - ඡේදය 6 - මහාසළායතනික සූත්‍රය)

එනම්, යමෙක් නිවන අරමුණු කොට ශීලයන් මුල දී ම, මනාව කඩ නොකොට ආරක්ෂා කෙරේ ද? ඔහුගේ සම්මා දිට්ඨිය ආර්ය අෂ්ටාංගික මඟේ මුලින් ම හමුවන සම්මා දිට්ටිය ම වේ. එමෙන් ම ඔහු මේ වනවිටත් ශීලය මැනවින් රැකීම කරණකොට ගෙන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග තුන ද කලින් ම සම්පූර්ණ කළ ශ්‍රාවකයකු බවට පත් වී ඇති බව ඉහත ඡේදයෙන් කියැවේ. මැනවින් රකින සීල සුගන්ධය එතරම් වටී.

උත්තමො දෙවෙසු වාති - උතුම් වූ සිල් සුවඳ (යොදුන් 84000 දුරින් පිහිටි) තව්තිසා දෙව්ලොව දෙවියන් අතර පවා හමන්නේ ය.

අනුපිළිවෙළට ලියැවෙන මෙයට අදාළ අට්ඨ කතාව මෙසේ ය.

මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පිණ්ඩපාතය දුන් කථා වස්තුව

ධම්මපද අටුවා කථා

භාග්‍යවත් තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වාසය කරන එක් සමයක මහාකාශ්‍යප මහරහතන් වහන්සේගේ පිණ්ඩපාත දානයක් අරබයා මෙම ධර්ම දේශනාව කළ සේක.

මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වරක් සත්දිනක් නිරෝධ සමාපත්තියට සමවැද ඉන් නැඟී සිට රජගහනුවරට පිණ්ඩපාත වැඩියේ අද කවර අසරණයකුට, දුප්පතකුට පිහිට වන්නේ දැයි සිතමින් ය. මෙම විශේෂ අවස්ථාව දුටු සක්දෙව්හුගේ, පරිවාර දිව්‍ය අප්සරාවෝ (සේවිකාවෝ) පන්සියයක් පිණ්ඩපාතය පූජා කරමු යැයි අවශ්‍ය දෑ පිළියෙල කර ගෙන අතරමඟ සිට,

“ස්වාමීනි, අපට අනුග්‍රහ පිණිස මේ දානය පිළිගනු මැනැවැයි ඉල්ලා සිටියහ. “ඔබලා යන්න, මම දුප්පතුන්ට සංග්‍රහ කරුණු කැමැත්තෙමි”යි කීහ.

“ස්වාමීනි, අපට අනුකම්පා කරනු මැනවැ” යි දෙවැනි වරටත් කීවාහු ය.

තෙරණුවෝ මොවුන් කවුදැයි දැනගෙන මෙසේ ප්‍රතික්ෂේප කළමුත්, නැවැත නැවතත් පෙරැත්ත කරන බව දැන “ඔබලාට ඔබේ තත්ත්වය නොදැනෙන්නහු ද” යි අසා “මෙතැනින් යන්න යැයි” ඇඟිලි එක්කොට අසුරුසනක් ගැසූ තැන ඒ හඬට බිය ව ඈලා ආපසු දෙව් ලොවට ම ගියෝ ය.

ශක්‍රයා මේ පිරිස ටික වේලාවකින් නොදැක “ඔබලා කොහේ ගියේ ද” යි ඇසීය. සිද්ධිය ඒ අයුරින් පැවසූ විට ඔබලා එහි ගියේ කවර ආකාරයකින් ද ඇසුයේ, මේ හැටියෙන්මයි කීවාහු ය.

මහතෙරුන් වහන්සේ කුමක් කීවේ දැයි ඇසී ය. “දේවයනි, දුප්පතුන්ට සංග්‍රහ කරන බව කීවාහු” ය. ඔබලා ඔය ආකාරයෙන් ගොස් කෙසේ නම් දන් දෙන්නහු දැයි කියා, තමන් මෙම පිණ්ඩපාතය දෙන්නෙමි’යි සිතා සුජා නම් වූ තම දේවිය ද කැටුව ඉතා මහලු වියට පත්, දත් වැටුණු, කෙස් පැසුණු, නැමී ගිය සිරුර ඇති, මහලු මැහැලි ස්වරූප ගෙන රජගහනුවර රෙදි වියන්නන් වසන වීදියක් මවා දෙදෙනා එහි නූල් දිග හරිමින් සිටියෝ ය.

රජගහ නුවරට වැඩි මහා කාශ්‍යප තෙරණුවෝ මෙම වීදිය හා මහලු මේ දෙපළ දැක මහලු ව සිටියදීත් මොවුන් මෙසේ වැඩෙහි නිරත ව ඇත්තේ දුප්පතුන් ම නිසා විය හැකි ය. එහෙයින් මොවුන්ගේ බත් හැන්දක් වූව ද පිළිගෙන මොවුන්ට පිහිට වෙමි’ යි සිතා ගෙහි දොරට පැමිණ වැඩ සිටි සේක. දුර සිට ම දිරාගිය පැල්පත වෙතට වඩින තෙරුන් වහන්සේ දුටු සක්දෙව් සුජාට කියන්නේ

" ඔබ වැඩෙහි ම නිරත ව සිටින ආකාරයෙන් සිටින්න. මම ද නොදැක්කා මෙන් සිටින්නෙමි’යි කතිකා කොට ගත්හ.

ටික වේලාවක් එසේ සිටි මේ දෙදෙනා ගෙහි දොර තෙරනමක් මෙන් සිටින්නේ කවරෙක් දැයි බලන ලෙස සුජාට කීය. ඔබ ම ගොස් බලන්න යැයි සුජා කිවූ විට ඉතා අපහසු ස්වරූපයෙන් එතැනට ගිය සක්දෙව් දෙපා වැඳ අසීරුවෙන් නැඟී සිටිමින් නළල උඩට අත තබා උඩ බලන්නේ, අනේ මට හරිම දුකයි. මේ අපේ උත්තම මහා කාශ්‍යප හාමුදුරුවොනේ. බොහෝ කාලෙකින් අපේ ගෙදොරට වැඩම කළේ කියමින්, කලබල ගතියක් පෙන්වමින් දීමට ගෙදර යමක් තිබේ දැයි සුජාගෙන් ඇසී ය.

ඇය ද කලබල වූවා සේ හැසිර “ස්වාමීනි, තිබේ” යැයි කීවා ය. ස්වාමීනි, මිහිර, අමිහිර, රස ගුණ නොබලා අපට පිහිට වනු මැනැවයි කී විට, මොවුන් දෙන්නේ පලා වුවත් එය පිළිගනිමි'යි පාත්‍රය දී වදාළහ.

සක්දෙව් ගෙතුළට ගොස් නැති බව ඇඟවෙන පරිදි වළඳ සූරන ආකාරයෙන් ශබ්ද කරමින් පාත්‍රය පුරවා ගෙනවිත් තෙරුන් වහන්සේට පූජා කළේ ය. එහෙත් මෙහි නොඑක් සූප ව්‍යංජන ද විය. මේ අහර පාත්‍රයෙන් නිකුත් වූ සුවඳ නගරය පුරවාලන්නට තරම් සමත් වූවකි. පිණ්ඩපාතය දුන් අය ඉතා දුප්පතෙක් වුවත්, පිණ්ඩපාතය දුප්පත් නොවූවකි. මොහු කවරෙක් දැයි සිතා බැලූ මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ශක්‍රය, බව දැන,

" දුප්පතකුට පිහිට වන්නට ආ මට එය වළකා ඔබ විසින් කළ දේ බරපතළ ය."

" නිදුකාණෙනි, මට වඩා දුප්පතෙක් තවත් ඇද්ද?

“දෙදෙව් ලොව දෙව් සැප විඳින ඔබ දුප්පතකු වන්නේ කෙසේ ද? “ස්වාමීනි, එය එසේ නොවේ. මම බුද්ධෝත්තමයන් වහන්සේ පහළ වන්නට පෙර යහපත් ක්‍රියා කොට (මඝ මානවක කථාව) මේ පදවිය ලදිමි. එහෙත් බුද්ධෝත්පාද කාලයෙහි යහපත් පින්කම් කොට (තව්තිසා) දෙව්ලොවට පැමිණ සිටින චූලරථ, මහාරථ, අනන්තවර්ණ (අනෙවණ්ණො) යන නමින් සිටින දේව පුත්‍රයන් තිදෙනා මටත් වඩා තේජස් සහිත ව එහි ඉපි ද සිටිති.

(විමාන වස්තුවෙහි මේ දෙවිවරු සිටිති. නැකැත් ක්‍රීඩා සඳහා දෙවඟනන් පිරිවරා වීථියට ආවිට ඔවුන් ළඟ සිටිනු නොහැකි ව මම පලා ගොස් දිව්‍ය විමානයට වැද ගනිමි. ඔවුන්ගේ සිරුරෙන් නික්මෙන තේජස මා වසා ගනී. ඉතින් ස්වාමීනි, මට වඩා දුප්පතෙක් තවත් සිටීද? එසේ වුවත් මෙතැන් පටන් මා මෙසේ රවටා දන් නොදෙවයි. (උන්වහන්සේ) වදාළහ. (එවං සන්තෙපි ඉතො පට්ඨාය මයහං මා එවං වඤෙත්වා දානමදාසිති)

“ස්වාමීනි ක්ෂමා කරන්න, මෙසේ වසන් කොට ඔබ වහන්සේට දුන් දානෙහි මට කුසලයක් ලැබේ ද? නැද්ද? (චඤෙත්වා තුමහාකං දානෙ දිනෙන මය්හං කුසලං අත්ථි? නත්ථි ති? )

ඇවැත්නි, ඇත. (අත්ථි ආවුසොති) එසෙ නම් ස්වාමීනි, කුසල් කිරීම මට භාර ය.

(එවං සන්තෙ කුසලක මම කරණං නාම මය්හං භාරො භනෙත්ති) අටුවා පාළි පිටුව 206

යනුවෙන් කියා රහතන් වහන්සේ වැඳ, සුජා ද සමග තෙරණුවන් ප්‍රදක්ෂිණා කොට අහසට නැඟී

“අහෝ දානං පරමදානං කස්සපෙ සුප්පතිට්ඨිතං “ අහෝ කාශ්‍යප හිමියන් වෙත දානයක් දීම මනා කොට (යහපත් කොට) පිහිටුවාලූ ය. ආදී පී‍්‍රති වාක්‍යයක් ප්‍රකාශ කළේ ය.

රජගහනුවර වේළුවනයේ විසූ බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳුගේ ඒ උදාන වාක්‍ය ශබ්දය අසා භික්ෂූන් අමතා, මහණෙනි, සක්දෙව් රජ පී‍්‍රති වාක්‍යය කියමින් අහසින් යන හැටි බලව්” යයි වදාළහ.

ස්වාමීනි, ඔහු කළ පින්කම කුමක්ද? මහණෙනි, ඔහු රැවටිලි කොට මපුත් කාශ්‍යප තෙරුන්ට පිණ්ඩපාතය දෙන ලදී. එසේ දන් දී සතුටු සිතින් යයි.

“කාශ්‍යප තෙරුන්ට පිණ්ඩපාතය දිය යුතු යයි ඔහු දැන ගත්තේ කෙසේද ස්වාමීනි’යි භික්ෂූහු ඇසූහ.

“මහණෙනි මගේ පුත්‍රයා සමාන පිණ්ඩපාතිකයකු දෙවියෝ ද, මිනිස්සු ද පි‍්‍රය කෙරෙතියි.” වදාරා

“සදා සිහි නුවණින් වසන, ශාන්ත වූ, සංසිඳුණු ඉඳුරන් ඇති, පිඬුසිඟා වළඳන භික්ෂුව දෙවියන් අතර ද පි‍්‍රයවෙත්.” යන

මේ උදානය ද ප්‍රකාශ කොට

“මහණෙනි, සක්දෙවිඳු මගේ පුතාගේ සිල් සුවඳින් මෙහි අවුත් පිණ්ඩපාතය පිදී යැයි වදාරා මුලින් සඳහන් ගාථාවෙන් මේ ධර්ම දේශනාව ද කළ සේක. දේශනාවසානයෙහි බොහෝ දෙනා සෝවන්ඵලාදියට පැමිණියෝ ය. බොහෝ දෙනාට ද වැඩ සහිත වූවෝ ය.

මහා කාශ්‍යප මහරහත් පිණ්ඩපාත කථා වස්තුව නිමි.