Print this Article


දුර්භික්ෂ කලෙක දී වුව ආහාර හිඟ නොවීමේ පින

දුර්භික්ෂ කලෙක දී වුව ආහාර හිඟ නොවීමේ පින

ලංකා ශාසන ඉතිහාසයේ සංවර ඉඳුරන් ඇති ශ්‍රද්ධාවන්තම රජතුමා අපේ සද්ධාතිස්ස මහරජතුමා යි. මේ රජතුමාගේ නම ඇහුවත් හැමෝම දන්නවා කාගේ කවුද, මොනවද ලංකාවට කරපු ශාසනික සේවය කියලා.

රුහුණු රටේ දිගාමඬුල්ලට ආදරය කළ මේ රජතුමා කුඹුරු ගොවිතැනින් රට ස්වයංපෝෂිත කළා. ක්‍රියාත්මක කර තිබුණු කෘෂිකාර්මික කටයුතු අධීක්ෂණය කරන්න රාජ්‍ය නිලධාරින් යොදවලා තිබුණා. ඒ වගේම අවශ්‍යතාව අනුව උසස් නිලධාරීන් ද ගොවිබිම් පරීක්ෂා කරන්න යැව්වා.

දවසක් උසස් නිලධාරියකුට කතා කර කියනවා

‘ඔබ වහා ම කොට්ටසාල ගමට ගිහින් ගොවිතැන් කටයුතුත්, ජනතාවගේ සුවදුක් ආදියත්, සංවර්ධනය විය යුතු හෝ ප්‍රතිසංස්කරණය විය යුතු බොහෝ දේ තියෙනවා නම් ඒවාත් බලාගෙන එන්න’ කියලා.

මේ උසස් නිලධාරියා රාජ නියෝගයෙන් ‘කොට්ටසාල’ ගමට ගියා. ඒ ආරංචිය කනවැකුණු ගම්වැසියෝ රජතුමාට තමන්ගේ සුවදුක් වාර්තා කරන්න එන නිලධාරියාට හොඳින් සලකන්න ඕන කියලා හිතාගෙන ගිතෙල් මිශ්‍ර රස ම රස කෑමක් සකස් කළා. රාජ්‍ය නිලධාරියාත් පෙර දැනුම් දුන්න පරිදි ම උදෑසන කාලයේ කොට්ටසාල ගමට ගියා. ගම්වැසියන් එක්ක කතා බස් කරමින් ඉන්න අතරේ හැමදාම මේ ගමට වැඩම කරන පිණ්ඩපාතික තෙර නමත් වැඩම කළා. මිනිසුන් පිණ්ඩපාතය පිළි ගන්වන්නට ගෙවල්වලට යන්න සැරසෙන විට නිලධාරියා ඔවුන් වළක්වා තමන්ට දුන් රසම රසවත් ගිතෙල් මිශ්‍ර කෑම තෙරුන් වහන්සේට පූජා කර නමස්කාර කළා.

මිනිසුන්ගේ කටයුතු වගේ ම ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු පිළිබඳවත් හොයා බලා රජතුමාට ඒ සියල්ල වාර්තා කරන බවට ගම්වැසියන්ට පොරොන්දු වෙලා යන්න ගියා.

මේ උසස් නිලධාරියා රජතුමාට සේවය කර විශ්‍රාම ගියා. කලක් ගතවත්ම ආයු කෙළවර කළුරිය කර කොට්ටසාල ප්‍රදේශයේ ම ‘වල්ලවහ’ නම් ගමේ අඹුසැමි යුවළකට දාව ඉපදුණා. මව්පියන් ‘සුමන’ කියා මේ සිඟිත්තාට නමක් දුන්නා. ක්‍රමයෙන් වැඩිවියට පත්වෙලා ගොවිතැන් කරමින් ජීවත් වුණා. සුමන තරුණයා නිසි කල මව්පියන්ගේ ආශීර්වාදයෙන් විවාහ ජීවිතයට ඇතුළු වුණා. මව්පියන් හරිම ශ්‍රද්ධා සම්පන්න උදවිය. හැමදාම ගමේ බ්‍රාහ්මණ ආරාමය නම් විහාරයට ගොස් බණ ඇහුවා. දානය පූජා කළා. භාවනා කළා. සුමන තරුණයාත් කුඩා කාලයේ සිට ම ආගමික වතාවත්වලට හුරුවෙලයි හිටියේ. විවාහ දිවියෙන් නොබෝ කලක් යනකොට ම ජීවිතයේ නිසරු තත්ත්වය අවබෝධ කර ගත්තා. තම බිරිඳගේ අවසරයත්, මව්පියන්ගේ අවසරයත් ඇතිව බ්‍රාහ්මණ ආරාමයට ගිහින් මහතෙරුන් වහන්සේට වන්දනා කර පැවිද්ද ඉල්ලා ගත්තා. පැවිදි නාමය විදිහට ලැබුණේ ‘තම්බසුමන’ කියන නමයි.

එදා සිට බොහොම උනන්දුවෙන් අවශ්‍ය ශාසනික වත්පිළිවෙත් වගේම ධර්මයත් හොඳට ඉගෙන ගත්තා. පසුකලෙක උපසම්පදාවත් ලබා ගත්තා. උපසම්පදාවෙන් වස් දොළහක් පිරෙන කොටම ලංකාවට දොළොස් වසරක් ඇතිවී තිබුණු බැමිණිතියාසාය නම් නියඟය ඇති වෙන්න පටන් ගත්තා. මාස ගණනාවක් සුව සේ වාසය කළත්, ටිකෙන් ටික ආහාර හිඟයක් රට පුරා ඇති වෙන්න පටන් ගත්තා. මිනිසුන්, මිනිසුන් මරාගෙන කන තරමට රට දුර්භික්ෂයකින් පිරී ගියා. මේ තෙරුන් වහන්සේ කල්පනා කරනවා.

‘ජීවිතය ආරක්ෂා කර ගන්න ඕන භාවනා කරන්නත්, සිල් රකින්නත්, ඒ නිසා හොඳම විසඳුම තමයි දඹදිවට පලා යන එක’යි හිතලා අනෙක් විහාරවාසි තෙරවරුන් අමතා

‘ස්වාමීනි, අපි දඹදිවට ගිහින් ජීවිතය රැක ගමු’යි කිව්වා.

හැම දෙනා ම එයට කැමැති ව ගමනට පිටත් වෙන්න සූදානම් වුණා.

දිනය උදාවුණා. එදින උදේ ම පන්සල අසල තියෙන තිඹිරි ගහේ වාසය කළ වෘක්ෂ දේවතාවා මිනිස් වෙසක් මවාගෙන ඇවිත් තම්බසුමන තෙරුන් වහන්සේ මුණගැහී වන්දනා කර කියනවා. ‘ස්වාමීනි, නුඹ වහන්සේ දඹදිවට වැඩම කරන්න එපා. මිනිසුන් දිනෙන් දින මියයනවා ලෙඩ රෝගවලින් පෙළෙනවා. ඔවුන්ට දහම් පදයක් හෝ අහන්න මෙහේ වැඩ ඉන්න. මම ඔබ වහන්සේට උපස්ථාන කරන්නම්’ කියා ආරාධනා කරනවා. ඒ වගේ ම බැගෑපත් ව ඉල්ලා සිටිනවා.

තම්බසුමන තෙරුන් වහන්සේ දායකයාගේ ආරාධනාව පිළිගෙන විහාරයේ නතර වෙනවා. වෘක්ෂ දේවතාවා දිව්‍ය ආහාර පානත්, දිව්‍ය වස්ත්‍රත් මේ තෙරුන්ට හැමදාම පිළිගන්වනවා. ඒවා හැමදා ම පන්සිය නමකට තරම් සෑහෙනවා. අනෙක් විහාරවල වැඩ සිටින භික්ෂූන් වහන්සේත් වැඩම කරවා පිණ්ඩපාතය වළඳනවා. මෙහේම දොළොස් වසරක් ගෙවී ගියා.

දවසක් තම්බසුමන තෙරුන් වහන්සේ තවත් භික්ෂූන් වහන්සේ පිරිසක් සමඟ කතා කර ගෙන අනෙක් විහාරයකට වැඩම කරන අදහසින් පාරට වැඩම කර ගමනේ යෙදුණා. මෙහෙම යන විට හමුවුණා. ‘කඩරොද’ කියන ගම්මානය. ඒ ගමට නුදුරු වනයක වැඩ වසන භික්ෂූන් වහන්සේ පිරිසක් පිණ්ඩපාතයේ යෙදී ගසක් මුල ඉඳගෙන පිණ්ඩපාතය වළඳන්න සූදානම් වෙමිනුයි සිටියේ. ඒත් අධික වැහි අඳුර නිසා හරියට ම වෙලාව අඳුනා ගන්න අමාරුයි. ඉර අවරට ගිහින්ද? නැද්ද? කියා අඳුනා ගන්න බැරිතරම් අඳුර වැටිලා. තම්බසුමන තෙරුන් වහන්සේ එතැනට වැඩම කර පාත්‍ර අතැති ව වැඩ සිටින භික්ෂූන් දැක අසනවා.

‘ස්වාමීනි, පිණ්ඩපාතය තියෙන පාත්‍ර අතේ තියාගෙන වළඳන්නේ නැතිව බලාගෙන ඉන්නේ ඇයි?” තෙරුන් වහන්සේ වදාළා

‘අඳුර නිසා වේලාව දැන ගන්න විදිහක් නෑ’යි කියලා කියනවා.

තම්බසුමන තෙරුන් වහන්සේ ගල්කැටයක් ගෙන අහසට විසි කරනවා. එය සූර්යා මෙන් ආලෝකය විහිදවමින් අඳුර මකා දමනවා. එදින ගල්කැටයක් අහසට වීසි කළ මොහොතින් සූර්යා මෙන් එය එළිය දුන්න නිසා එදා සිට එතැන ‘මණිසූරිය’ නමින් හඳුන්වපු බවත්, එය වර්තමානයේ හඳුන්වන්නේ ‘මින්නේරිය’ යන නමින් බවත් මේ කතා පුවතේ ම සඳහන් වෙනවා.

ඉතින් මේ තෙරුන් වහන්සේ මේ විදිහට ඒ භික්ෂූන්ට පිහිට වෙලා ආයෙත් ගමනේ වැඩම කරමින් ළඟා වෙනවා. ‘චුල්ලතවාම් කියන ගමට. ඒ ගමට නම යොදා තියෙන්නේ මහවැලි ගඟේ සුදුවැලි ඒ ගම පුරා විහිදී තිබුණු නිසා. ඒ නිසා ම ‘සුදුවෑසර’ කියලත් හඳුන්වා තියෙනවා. එතැනට වැඩම කරන කොට දකින්න ලැබුණා තවත් භික්ෂූන් වහන්සේ පිරිසක් දුර්භික්ෂයෙන් තවමත් පීඩා විඳිමින් කටුක ආහාර වළඳන ආකාරය. තෙරුන් වහන්සේට බොහෝ ම දුක හිතුණා. උන්වහන්සේ අමතා කියනවා.

‘ස්වාමීනි, ඇයි තවමත් මේ කටුක ආහාර වළඳන්නේ? සුවඳ මිශ්‍ර ගිතෙල් සමඟ පිණ්ඩපාතය වළඳන්න’යි කියලා අසල තිබුණ මහවැලි ගංගාව දිහා බැලූ පමණින් එතැන සිට යොදුනක් දක්වා ජලය ගිතෙල් බවට පත් වුණු බවත්, තෙරුන් වහන්සේ එම සුවඳ ගිතෙල් ගෙන සුව සේ පිණ්ඩපාතය වැළඳූ බවත්, මේ ආරංචිය ඇසූ, දුටු හැමෝම ඇවිත්, කළ, මුට්ටි ආදි භාජන පුරවාගෙන අරගෙන ගිය බවත් සීහළවත්ථුවේ කතා පුවතක සඳහන් වෙනවා.

පින්වතුනි, මේ කතාව දිහා අවධානයෙන් බලන්න. තමන්ට ලැබුණ, හොඳම දේ තමයි මේ තම්බසුමන තෙරුන් උසස් රාජ්‍ය නිලධාරියකු ව සිටියදී සංඝයාට පූජා කළේ. ඒ දානයේ ආනිශංසයෙන් තමයි මේ තෙරුන්ට ඍද්ධි ප්‍රාතිහාර්යය පෑමේ හැකියාවත්, දුර්භික්ෂ සමයක දී සුව සේ අනුභව කරන්න ආහාර පානත් ලැබුණේ.

ලෝභ සිතිවිලිවලින් තොර ව, සිල්වත් ව ඉඳගෙන, සිල්වතුන්ට දන් දීමෙන් සසරේ හැම ආත්මයක ම සුව සේ වාසය කිරීමට අවශ්‍ය ආහාර පානත්, ආරක්ෂාවත්, ඍද්ධි ප්‍රාතිහාර්ය පෑමේ බලයත්, නිවන් සම්පත්තියත් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා’යි කියන ආදර්ශය අපට මේ කතා පුවතින් ලබා දෙනවා.