Print this Article


චීනයේ බෞද්ධ තොරතුරුවලින් බිඳක් ...

චීනයේ බෞද්ධ තොරතුරුවලින් බිඳක් ...


ස්ලින්ග් විහාරස්ථානය

“ෂැංහයි” නගරය චීනයේ ප්‍රධාන වෙළෙඳ නගරය වෙයි. එම නගර මධ්‍යයෙහි පිහිටා ඇති ඉතා අලංකාර ස්වර්ණලිත එබැවින්ම ගෝල්ඩන් ටෙම්පල් නමින් හඳුන්වන විහාර සංකීර්ණයත් හාත්පස දිස්වන සුවිසල් ගොඩනැඟිලි සමූහයත් චීන වැසියන්ගේ සංස්කෘතික අනන්‍යතාව හා සෞභාග්‍ය හෙවත් ආධ්‍යාත්මික හා භෞතික දියුණුව විදහා දක්වන කැඩපතක් වශයෙන් සඳහන් කළ හැකි ය.


මහාචාර්ය
ගල්ලෑල්ලේ සුමනසිරි නාහිමි

ක්‍රි.පූ. 67 වර්ෂයේ සිට වර්තමානය දක්වා විටෙක පාලකයන්ගේ ප්‍රසාදයට ද විටෙක උදහසට ද ලක්වෙමින් ඉතිහාසය පුරා උච්ඡාවචනය වෙමින් බුදුදහම ආ ගමන් මඟ අතිශයින් උත්කෘෂ්ඨ ය.

“ෂැංහයි” නගරයේ සිට කි.මී. 40ක් පමණ දුරින් පිහිටි “ච ජියන්” පළාතේ පිහිටා ඇති “ෂී ලිං” විහාරස්ථානයේ විහාරාධිපති “චු තුචං” හිමියෝ බුදුදහම පිළිබඳ ගැඹුරු දැනුමක් හා අවබෝධයක් ඇති ස්වාමීන් වහන්සේ නමකි. කැලිග්‍රෑෆි නමින් හඳුන්වන චීන අක්ෂර කලාව හා චිත්‍රකලාව විෂයයෙහි ද උන්වහන්සේට ඇත්තේ මනා පෘථුලත්වයකි. හිමිදිරි පාන්දර ම සූත්‍ර සජ්ඣායනයෙන් විහාරස්ථානයේ දෛනික ආගමික කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව දෛනික ව භාවනා කටයුතු සිදු කරනු ලබයි. ඒ සඳහා දිනපතා විශාල පිරිසක් සහභාගි වෙති. විහාරස්ථානයේ සිදුවන ආගමික උත්සව අතර වෙසක් උත්සවය, නව වර්ෂාරම්භ උත්සවය, සරත් ඍතුව සැමරීමේ උත්සවය ප්‍රධාන වන අතර ම පිරිත් සජ්ඣායනා හා ආශීර්වාද පූජාව ද අධ්‍යාපනික වැඩසටහන් ද නිරන්තරයෙන් සිදුකරනු ලබයි. එකී සෑම පූජාවන් සඳහා ම බැතිමතුන් සිය ගණනින් සහභාගි වනු දක්නට ලැබීම සුලබ දර්ශනයක් වෙයි. එය බුදු දහමට ඔවුන් තුළ පවතින ළැදියාව ප්‍රදර්ශනය කරන්නක් වශයෙන් සඳහන් කළ හැකි ය.

“ෂිලිං” විහාරස්ථානයේ විහාරාධිපති වූ “තුවං” හිමියන්ගේ අධිපතීත්වය යටතේ පවතින “තිං සං” විහාරස්ථානය ඉතා දර්ශනීය අංගසම්පූර්ණ විහාරයකි. එය මහායාන බුදු සමයේ පැමිණෙන “ක්ෂිති ගර්භ” බෝධිසත්ත්වයන් උදෙසා වෙන් වූ විහාරයකි.

මහායාන බැතිමතුන් අතර අතිශය ගෞරවයට පාත්‍රව සිටින බෝධිසත්වරුන් සිවුදෙනෙකි. එකී බෝධිසත්ත්වයන් සිවු දෙනාට වෙන්වූ පූජනීය කඳු සතරකි. ඒ අනුව සදාචාරයට අධිපති අවතංශක බෝධි සත්වයන් වෙනුවෙන් “ෂචෝ” ප්‍රාන්තයෙහි පිහිටි “අ මි” කන්ද වෙන් ව ඇති අතර කරුණාවට හා මෛත්‍රියට අධිපති අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන්ට “ච ජියන්” හි පිහිටි “පූතෝෂං” කන්ද වෙන්ව ඇත. ඉහත සඳහන් කළ ක්ෂිති ගර්භ බෝධිසත්ත්වයනට හිමි කන්ද “අන්හුයි” පළාතේ පිහිටි ජුහුවා කන්දයි. ප්‍රඥාවට අධිපති මඤ්ජුශ්‍රී බෝධිසත්ත්වයන්ට හිමි කන්ද “ෂං ෂි” පළාතේ “චුතයි ෂං” නමින් හැඳින්වෙන කන්දයි. මෙම කඳු හතර ශුද්ධ වූ ස්ථාන ලෙස සැලකෙන අතර බෞද්ධ ආරාමවලින් පිරී ඇත. මෙම පූජනීය කඳු දෛනික ව දහස් ගණන් බැතිමතුන් වන්දනාමාන පුද පූජා පවත්වන ස්ථාන බවට පත්ව ඇත.

 


දිවා ප්‍රසාද මංසල

සුචෝ නගරයෙහි පිහිටි පැරැණි විහාරය විනය ගුරු කුලයට අයත් වෙයි. බුද්ධ කාලයේ සිටම ධර්මධර, විනයධර ප්‍රභේදයක් පැවතුණි. “විනයො නාම සාසනස්ස ආයු” යනුවෙන් බුදු වදනක් ද වෙයි. සිව්වැනි සියවසේ දී ෆාහියන් නමැති භික්ෂුව ඉන්දියාව හරහා ලංකාවට පැමිණ ඇත්තේ විනය මූලග්‍රන්ථ අධ්‍යාපනයට බව පැවසේ. වර්තමානයේ ද චීනයෙහි විනය ගුරු කුලයට හිමිව ඇත්තේ විශේෂ ගෞරවයකි. එම විහාරයෙහි විනය පිටකයට අයත් ග්‍රන්ථවල පැරණි චීන පරිවර්තන විද්වතුන්ගේ පරිහරණය සඳහා සුරක්ෂිත ව තබා ඇත. ඊට අමතරව පාලි, බුරුම, ටිබෙට් ආදී භාෂාවන්ගෙන් ලියවුණු ත්‍රිපිටක ග්‍රන්ථ ද ඇතුළත් පුස්තකාලය විද්‍යාර්ථීන්ට විවෘත ව තබා ඇත. එය බැතිමතුන්ගෙන් ගැවසීගත් විහාරස්ථානයක් පමණක් නොව බුදුදහම පිළිබඳ හදාරන විද්වතුන්ට හා පර්යේෂකයන්ට කදිම වූ වටපිටාවක් සහිත ස්ථානයක් ද වෙයි.

“තියන් ජින්” පළාතෙහි පිහිටි “කන් ලු” හෙවත් “මිහිදුම සෙනසුන” ආරාමාධිපති වූ “ජී චුචන්” හිමියන් ළමා වියේ දී පැවිදි බවට පත්ව බුදුදහම පිළිබඳ ගැඹුරු දැනුමක් හා අවබෝධයක් ලබා ගෙන ඇත. තමන් වහන්සේ ලබාගත් එම දැනුම ප්‍රායෝගික තලයට ගෙන ඒම සඳහා දශක ගණනාවක් මුළුල්ලේ සිය ජීවිතය කැප කරමින් කටයුතු කරන උන්වහන්සේ ධ්‍යාන හෙවත් සෙන් ගුරුකුලය අගයන්නෙකි. “ජී චුචන්” නාහිමියෝ ඉතා සරල හා චාම් දිවි පෙවෙතක් ගත කරන හිමිනමකි.

බුදු දහමේ ඉගැන්වෙන තෙරුවන් සරණ යාමේ සරල තත්ත්වයේ සිට විමුක්තිය ලබා ගැනීම දක්වා වූ ගැඹුරු දහම් කරුණු පිළිබඳ පොත පත සිය ගණන් ලියා පළකර ඇති අතර එකී ග්‍රන්ථ පරිහරණය කරනු ලබන පාඨකයෝ ද දහස් ගණන් වෙති. උන්වහන්සේ නිරන්තරයෙන් දේශනා වැඩමුළු, පුහුණු කඳවුරු පවත්වමින් බුදුදහම ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කිරීම සඳහා වෙහෙස වන ආකාරය ආදර්ශ සම්පන්න ය. උන්වහන්සේගේ අධීක්ෂණය යටතේ පවතින මිහිදුම සෙනසුනෙහි ආරාම පරිශ්‍රය භූමි ප්‍රමාණයෙන් අක්කර පනහක් පමණ වෙයි. එහි ඉදිකර ඇති සෑම ගොඩනැඟිල්ලක් ම සිත සන්සුන් හා දැහැන්ගත කරවනසුලු ය. පරිසර අලංකරණය ද ඉතා මනරම් වෙයි. නාගරික ජීවිතයෙන් හා ජීවන අරගලයන්ගෙන් පීඩාවට පත් බොහෝ දෙනා සැනසුම සොයා එන සෙනසුනක් ලෙස එම ස්ථානය ප්‍රකට ව ඇත.

ලංකා චීන බෞද්ධ සංස්කෘතික සංසදයේ සභාපති මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි නාහිමියන්ගේ චීන සංචාරය ඇසුරින් ලද තොරතුරු මත මෙම ලිපිය සකස් කෙරිණි.