අතීතයෙන් ලද උරුමය මතු පරපුරට දායාද කරමු
ශාස්ත්‍රපති
දෑරංගල මංගල හිමි
පොසොන් පුර පසළොස්වක පෝයේ ප්‍රධානතම වැදගත්කම වනුයේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ
ඇතුළු ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල යන හිමිවරුන් ද, සුමණ සාමණේර වහන්සේ ද,
භණ්ඩුක උපාසක තුමා යන මේ ධර්ම දූත පිරිස අනුරාධපුරයේ මිහින්තලා මිස්සක පව්වට වැඩම
කොට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා වන දෙවන පෑතිස්ස අධිරාජයා මුණ ගැසීමයි.
මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ අනුශාසනයෙන් හා ධර්මාශෝක අධිරාජයාගේ
අනුග්‍රාහකත්වයෙන් මෙම ධර්ම දූත පිරිස වැඩම කෙරිණි. දඹදිව වේදිසගිරි නුවරින් ලක්දිව
අනුරපුරයේ මිහින්තලාවට වැඩම කළ මේ පිරිස දෙවනපෑතිස්ස රජු ඇතුළු පිරිසට ස්වකීය දූත
පිරිස හඳුන්වා දුන්නේ ඉහත ගාථාව දේශනා කිරීමෙනි.
“මහරජතුමනි, ශ්‍රමණයන් වන අපි ධර්ම රාජයාණන් වූ ශාන්තිනායක බුදුරජාණන් වහන්සේගේ
ශ්‍රාවක පිරිස වෙමු” යනුවෙනි.
එවිට දඹදිව සිට කෙසේ මෙහි පැමිණියේ දැයි විමසූ විට මිහිඳු හිමිගේ පිළිතුර වූයේ
“දියෙන් හෝ ගොඩින් හෝ නො පැමිණියෙමු” යනුවෙනි.
එකී පිළිතුර රජු අවබෝධ කර ගත් හෙයින් තවදුරටත් රජුගේ බුද්ධි මට්ටම පරික්ෂා කර බැලීම
සඳහා මිහිඳු මහ රහතන් වහන්සේ ළඟ ම තිබූ අඹ ගසක් රජුට පෙන්වා රජුගෙන් මෙසේ ප්‍රශ්න
අසන ලදී. එකී සංවාදය මෙසේ ය.
මිහිඳු හිමි - මේ කිනම් ගසක් ද?
රජු - මෙය අඹ ගසකි ස්වාමීනි
මිහිඳු හිමි - මේ ගස හැර තවත් අඹ ගස් තිබේ ද?
රජු - එසේ ය, ස්වාමීනි, බොහෝ අඹ ගස් තිබේ
මිහිඳු හිමි - මේ අඹ ගසත්, අනෙක් අඹ ගසුත් හැර තවත් ගස් තිබේ ද?
රජු - එසේ ය ස්වාමීනි, තවත් බොහෝ ගස් තිබේ
මිහිඳු හිමි - ඒ අඹ ගසුත්, අඹ නොවන ගසුත් හැර තවත් ගස් තිබේ ද?
රජු - එසේ ය ස්වාමීනි, ඒ මේ අඹ ගස ය
මෙසේ අවට පරිසරයේ උදාහරණයක් මුල් කර ගෙන සිදු කළ මේ සාකච්ඡාවෙන් රජුගේ තර්ක බුද්ධිය
පිළිබඳ සෑහීමකට පත් මිහිඳු මා හිමි ඉබක්බිති ව විමසුවේ රජු කේන්ද්‍ර කර ගත්
ප්‍රශ්නයකි. එය මෙසේ ය.
මිහිඳු හිමි - නුඹට නෑදෑයෝ සිටීද?
රජු - එසේ ය, ස්වාමීනි, බොහෝ නෑදෑයෝ සිටිති.
මිහිඳු හිමි – නොනෑයෝත් බොහෝ සිටී ද?
රජු - නොනෑයෝත් බොහෝ සිටියි
මිහිඳු හිමි - නෑයෝත්, නොනෑයෝත්, හැර තවත් අය සිටිත් ද?
රජු - එසේ ය ස්වාමීනි, ඒ මම වෙමි.
මෙසේ සිදු කළ බුද්ධි පරික්ෂාවෙන් පසු දේවානම්පියතිස්ස රජු උසස් බුද්ධියකින් යුතු
තැනැත්තෙක් බව මිහිඳු මා හිමිට අවබෝධ විය. අනතුරුව මේ පිරිසට තෙරුවන් පිළිබඳවත්,
බෞද්ධ දර්ශනය පිළිබඳවත් හඳුන්වා දීමට “චුල්ලහත්ථිපදෝපම සූත්‍රය” දේශනා කළහ.
එකී දේශනාව අවසානයේ රජු ඇතුළු හතළිස් දහසක් පිරිස තෙරුවන් සරණ ගියහ. එසේ ම
මහින්දාගමනයේ දෙවන දිනයේ දී රජ මාලිගයේ දී පේතවත්ථු, විමානවත්ථු සච්චසංයුක්තාදීය
මුල් කරගෙන ධර්ම දේශනා පවත්වන ලදී. මුල්වතාවට ධර්ම දූත පිරිස දුටු මිනිස්සු සිය
අසල්වැසියන්ට ද ඒ ගැන දැනුම් දුන්හ. එවිට දෙවැනි දින රජ මාළිගයට දහස් ගණනින් ජනයා
පැමිණි අතර, රජ මාළිගයෙහි ඉඩකඩ මදි වී රජු මඟුල් ඇත්හල ද අලංකාරත්වයෙන් සරසා එහි
ආසන පැන වූහ.
ඉක්බිති ව මිහිඳු මා හිමි දේවදූත, බාලපණ්ඩිත, ආසිවිසෝපම, අනවතග්ගිය,
ධම්මචක්කප්පවත්තන යනාදී සූත්‍රදේශනාවන් දේශනා කොට දහස් ගණන් ජනතාව මාර්ගඵලාවබෝධයට
පත් කර වූහ.
ධර්මදූතයන් වහන්සේගේ වාසස්ථානය උදෙසා “මහ මෙවුනා උයන” පූජා කළ රජු උන්වහන්සේ සමඟ ම
එම උයන වටා ඇවිද සීමාමාලකාදිය පිහිට විය යුතු ස්ථාන නියම කරවා ගත්හ. එහිදී දූත
පිරිස සමඟ පැමිණි භණ්ඩුක උපාසක තුමා පැවිදි කොට උපසම්පදා කිරීමෙන් ලක්දිව මුල් ම
පැවිදි උපසම්පදාව ආරම්භ විය.
මිහිඳු මා හිමිගේ ආගමනයත් සමඟ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය බෞද්ධ සංස්කෘතියක් බවට පත්
විය. ඉන් අනතුරුව ලාංකීය ජනතාවගේ බුද්ධිය, ක්‍රියාකාරීත්වය සහ අන්තර් පුද්ගල සබඳතාව
ක්‍රමයෙන් ඉහළ මට්ටමකින් පෝෂණය විය.
ගස්, පර්වත, ඉර, හඳ ඇදහූ ජනතාව බුද්ධිමත් ව, හරවත් ව කටයුතු කිරීමට යොමු විය. එමෙන්
ම වෘක්ෂ වන්දනාව වෙනුවට බෝධි වන්දනාව ද, මළවුන් ඇදහූ අය මළවුන්ට පින් අනුමෝදන්
කිරීමට ද, ගල් පර්වත වන්දනා කළ අය චෛත්‍ය, බුදුපිළිම වහන්සේ, වන්දනා කිරීමට ද යොමු
වී තම ආධ්‍යාත්මික සුවය අර්ථවත් ව විඳින්නට ක්‍රියා කළහ.
එසේ ම දෙවියන් ඇදහූ අය දෙවියන්ට පින්දීමට ද හුරු විය. ආගමික අංශයෙන් ආමිස පූජා,
ප්‍රතිපත්ති පූජාදියට නැඹුරු විය. සතර පෝයට අටසිල් සමාදන් වීමටත්, දාන, ශීල,
භාවනාදියෙහි නිරතවීමටත් යොමු විය.
තවද පංචශීලය ආරක්ෂා කරන පිරිසක් විය. තමාගේ මෙන් ම සියලු සතුන්ගේ ජීවිත සුරක්ෂා
කිරීමට කටයුතු කළහ.
අනුරාධපුරයෙන් ආරම්භ වු අටමස්ථාන ඉදිවීමත් සමඟ ලංකාව පුරාම ස්ථූප, ප්‍රතිමා, චිත්‍ර
කලාව, කැටයම්, ගෘහ නිර්මාණ ශිල්පය, ඒ අනුව කලාත්මක සඳකඩපහණ, වාහල්කඩ වැනි කැටයම්
ඉදිවිය. එසේම දොළොස්මස්ථානය ද මෙහි ප්‍රමුඛස්ථානයක් ගනී. ගල් කැටයම්, ලී කැටයම් ද
බිහි විය. මේ සඳහා කලා දහඅටක් හෙවත් ශිල්ප දහඅටක් පිළිබඳ දැනුම තිබෙන පිරිසක් ද,
භික්ෂුණී සසුන ආරම්භ කිරීමට සංඝමිත්තා මහරහතන් තෙරණිය ඇතුළු එකළොස් නමක් රහත්
තෙරණින් වහන්සේ සමඟ ශ්‍රී මහා බෝධි ශාඛාවක් ද, පාත්‍රා ධාතුව ද, ලංකා ද්වීපයට වැඩම
කරවා ගත්හ.
එසේම භාෂා සාහිත්‍යය ද පෝෂණය විය.
ශ්‍රී ලංකාද්වීපය කලා නිර්මාණ මඟින් පෝෂණය වූවා සේ ම සාරධර්ම මඟින් ද පෝෂණය විය.
කරුණාව, මෛත්‍රිය, දයාව, ආදි උසස් ගුණ ධර්ම මඟින් ජන ජීවිතය සාරවත් විය. උතුම් වූ
තුනුරුවන්ට වන්දනාමාන කිරීම, ගෞරව කිරීමට යොමු වු රටවැසියා මව්පියන්ට, වැඩිහිටියන්ට
සැලකීම, අසල්වැසියන් සමඟ සහෝදරත්වයෙන් ක්‍රියා කිරීම, සියලු සත්වයන්ට කරුණාවෙන්
කටයුතු කිරීම ආදි සාරධර්මයන්ගෙන් පෝෂිත විය.
කෘෂිකර්මාන්තය මූලික ජීවනෝපාය කරගත් ජනතාව සතර පෝයට උදලු, පිහියා වැනි ආයුධවලින්
වැඩ නොකළේ සතුන්ට හානි සිදුවෙන නිසා ය. අන් අයට හිරිහැර වෙනවාට අකැමැති වු හෙයිනි.
ඔවුහු දස කුසලයේ නිරත වූහ. දුකේ දී, සැපේ දී තුනුරුවන්ගේ පිහිට, ආශිර්වාදය,
ප්‍රාර්ථනා කළහ.
එසේ නම් මේ උතුම් දායාදය මතු පරපුරට දායාද කිරීමට වැඩිහිටි සැවොම උත්සාහ කළ යුතු
කාලය පැමිණ ඇත. මේ සඳහා සැම දෙනා ම අදිටන් කර ගන්නා ලෙස සිහිපත් කරමි. |