හෙළ සාහිත කෙත සුපෝෂිත කළ මිහිඳු සංස්කෘතිය
ශාස්ත්‍රපති
නාරාවිල අරියවිමල හිමි
අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ, ලක්දිවට වැඩම කොට, ධර්ම දේශනා කොට ඇත්තේ සිංහල
භාෂාවෙනි. ඒ බැව් “ධම්මං භාසිත්වා දීපභාසාය එවං (මහාවංශ 14 පරිඞ 65 ගාථා) මහාවංශ
ගාථාවෙන් පැහැදිලි වේ.
උන්වහන්සේ සමීපයෙහි පැවිදි වූ අරිට්ඨ හිමිපාණන් ඇතුළු සිංහල භික්ෂූන් වහන්සේ ලවා
තමන් වහන්සේ භාරතයෙන් ගෙන එන ලැබූ, පාලි අටුවා හෙළ බසට පරිවර්තනය කරවන ලදි.
“මගධ බසින් වැටෙමින් ආ බුදුකැලි අටුවා හෙළදිව ඇජුරෝ හෙළ බසින් තැබූහ. (ජයතිලක
සංස්කරණය 6 පිට) යන ධම්පියා අටුවා ගැටපදයේ සඳහන් වන, මෙම පුවතින් ද ඒ බැව් තහවුරු
වේ.
තථාගතයන් වහන්සේගේ ධර්මය උගැන්වීමේ මූලික අදහස පෙරදැරි ව මහාවිහාර භූමියේ
විද්‍යායතනයක් ආරම්භ කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ, එහි උගැන්වීම ආරම්භ කළහ. එම
විද්‍යායතනයෙහි අධ්‍යාපන කටයුතුවල නිරත වූ බොහෝ දෙනකුට ධර්මය පිළිබඳවත්, භාෂා
ශාස්ත්‍ර පිළිබඳවත්, මනාපිටිවහලක් ඇති කර ගැනීමට ශක්තිය ඇති විය. මිහිඳු මහරහතන්
වහන්සේගේ දූරදර්ශී මාර්ගෝපදේශකත්වය නිසා ටික කලකින් ම එහි විපුල ප්‍රයෝජනය ලක්දිව
වැස්සෝ ලබා ගත්හ.
ක්‍රි.පූ. 3වැනි සියවසේ හෙවත් දෙවනපෑතිස්ස රාජ්‍ය සමයේ නියමිත අක්ෂර මාලාවක් හෝ
භාෂා ඥානයක් තිබී නැතත්, 3වැනි සියවසෙන් පසු ග්‍රන්ථ ලිවීමට තරම් ශක්තියක් ඇති කර
ගෙන තිබේ. මෙම භාෂාන්තර ඥානය ලැබූ භික්ෂූන් වහන්සේ, ග්‍රන්ථකරණයෙහි නියැළී ඇත.
අනුරාධපුර යුගයේ දී රචනා වී ඇති, කෘති අතර දැනට විද්‍යමාන වන්නේ කෘති 3කි. එනම්
ධර්මප්‍රදීපිකාව, සියබස්ලකර, සිඛවලද හා සිඛවලඳ විනිස යන කෘති තුනයි.
අනුරාධපුර මුල් අවධියේ රචනා වී ඇති ග්‍රන්ථ අවිද්‍යමාන නිසා සාහිත්‍යය පිළිබඳ වූ
පැහැදිලි අවබෝධයක් ලබා ගත නොහැකි ය. සිංහල භාෂාවෙන් රචිත හෙළ අටුවා ග්‍රන්ථ 3ක්, 5
වැනි සියවස දක්වා මහා විහාරයේ තැන්පත් ව තිබී ඇත. ඒ බැව් සමන්තපාසාදිකාවේ සඳහන් මෙම
ගාථාවෙන් පැහැදිලි වේ.
“මහා අට්ඨ කථංචෙව - මහා පච්චරිමෙවච
කුරුන්දිං චාති තිස්සොපි - සීහලට්ඨ කථාඉමා”
එම අටුවා නම්, මහා අට්ඨකතා පච්චරි අට්ඨකතා හා කුරුන්දි අට්ඨකතා යන කෘති තුනයි.
සියබස්ලකර අලංකාර ග්‍රන්ථයකි. දම්පියා අටුවා ගැටපදය, ධම්මපද අට්ඨකතාවේ එන ඇතැම් වචන
පැහැදිලි කිරීම සඳහා රචනා කරන ලද ග්‍රන්ථයකි. සිඛවලද විනිස, විනයනීති සමූහයක
එකතුවකි. මෙම ග්‍රන්ථ තුන තුළින් යුගයක පැවති සාහිත්‍ය දියුණුව පිළිබඳ ව ස්ථිර
නිගමනයක් කළ නොහැකි ය. අටුවාවේ පද තේරුම් ගැනීමට ගැටපදයක් රචනා කිරීමෙන් ද, කාව්‍ය
අලංකාර ග්‍රන්ථයක් රචනා කිරීමෙන් ද පෙනී යන්නේ අනුරාධපුර යුගයේ සාහිත්‍යය සෑහෙන
දියුණු මට්ටමකින් පැවති බවයි.
පොලොන්නරු යුගයේ දී (ක්‍රි.ව. 11 - 12 )
ධම්මසංඝනී නම් අභිධර්ම ග්‍රන්ථයට හෙළ බසින් පරිවර්තන ග්‍රන්ථයක් කර තිබේ. එය රචනා
කොට ඇත්තේ විජයබාහු රජතුමා යි. එය ද අවිද්‍යමාන ය. අභිධර්මාර්ථ සංග්‍රහ සන්නය,
අමාවතුර, ධර්මප්‍රදීපිකාව, මහා බෝධිවංශ ග්‍රන්ථපද විවරණය, ජාතක ගාථා සන්නය, විනිය
විනිශ්චය, විරිත් සන්නය, මුවදෙව්දාවත, සසදාවත යන ගද්‍ය, පද්‍ය කෘති මෙම යුගයේ දී
රචනා වී ඇත.
දඹදෙණි යුගයේ දී බුත්සරණ, දම් සරණ කර්ම විභාගය, ථූපවංශය, සද්ධර්ම රත්නාවලිය,
පූජාවලිය, කව්සිළුමිණ, සිදත් සඟරාව ආදී ග්‍රන්ථ ද, විශුද්ධි මාර්ග සන්නය නිස්සන්දේහ
වන විනිස සන්නය, ධම්මපද පුරාණ සන්නය ආදී ග්‍රන්ථ ද, ගැටපද ග්‍රන්ථ ද රචනා වී ඇත.
කුරුණෑගල යුගයේ දී පන්සිය පනස් ජාතක පොත, සිංහල බෝධිවංශය, අනාගතවංශය, දළදා සිරිත,
දළදා පූජාවලිය, උමංදාව යන ග්‍රන්ථ ද රචනා වී ඇත.
ගම්පොල යුගයේ දී සද්ධර්මාලංකාරය, නිකාය සංග්‍රහය, විමුක්ති සංග්‍රහය, හත්ථවනගල්ල
විහාරවංශය යන ග්‍රන්ථ ද, කෝට්ටේ යුගයේ දී, එළුඅත්තනගලුවංශය, සද්ධර්මරත්නාකරය,
කඨිනානිසංසය, පංචිකා ප්‍රදීපය, කාව්‍යශේඛරය, ගුත්තිලය, බුදුගුණාලංකාරය, ලෝවැඩසඟරාව,
පැරකුම්බා සිරිත හා දහම්ගැට මාලාව යන ගද්‍ය පද්‍ය කෘති රචනා වී ඇත.
මහනුවර යුගයේ දී සද්ධර්ම සාරාර්ථ සංග්‍රහය, ශ්‍රී සද්ධර්මොවාද සංග්‍රහය, මිලින්ද
ප්‍රශ්නය, විමානවස්තු ප්‍රකරණය, උපාසක ජනාලංකාරය වැනි කෘති රචනා වී ඇත.
අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා ම රචනා වී ඇති සෑම කෘතියක් ම බුද්ධධර්මය
සම්බන්ධ ව හෝ පූජා වස්තුවක් මුල් කොට ගෙන හෝ රචිත බැව් පැහැදිලි ය.
සිංහල සාහිත්‍ය දියුණුවේ මුල් අත්තිවාරම සකස් කළේ, මිහිඳු මහරහතන් වහන්සේ යි.
උන්වහන්සේ සිංහල භික්ෂූන් වහන්සේ ලවා පාලි අටුවා හෙළ බසට පරිවර්තනය කරවා ඇත්තේ උදාර
පරමාර්ථ ඇතිව ය. එදා විසූ ඇත්තෝ එයින් මහඟු ප්‍රතිඵල ලැබූහ. ඇතැම් යුගවල දී පරසතුරු
උවදුරු, සංස්කෘතික බලපෑම්, භාෂාවල බලපෑම් ඇති වී ඇත.
සිංහල සාහිත්‍යය ගැන කතා කළහොත් බුද්ධ ධර්මය ගැන සාකච්ඡා කළ යුතු ය. සාහිත්‍යයෙන්
බුද්ධධර්මය අයින් කළ නොහැකි ය. බුද්ධ ධර්මය හා සාහිත්‍යය එකිනෙකට සම්බන්ධ ය.
බුද්ධාගම පිරිහී ගිය අවස්ථාවල දී, සාහිත්‍යය ද පිරිහුණි. සාහිත්‍යය දියුණු වූයේ,
බුද්ධ ධර්මය නිසා ය. අතීතයේ විසූ බොහෝ උගතුන්, ආරාම ඇසුරින් සකස් වූ නිසා
බුද්ධධර්මය හා බෞද්ධ ඉතිහාසය සම්බන්ධ ව කරුණු තේමා කර ගෙන, කෘති රචනා කරන්නට ඇතැයි
යන්න විචාරකයන්ගේ මතයකි. මොනයම් රටක වුව සාහිත්‍යය ගැන පරීක්ෂාකාරී ව සොයා
බැලුවහොත් පැහැදිලි වන්නේ ඒ රටේ ප්‍රධාන ආගම සාහිත්‍යයට සම්බන්ධ බව ය.
අනුරපුර යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා සිංහල බසින් සෑහෙන ග්‍රන්ථ සංඛ්‍යාවක් ලියවී
ඇත. වංශකතා, සංදේශ, මහා කාව්‍ය, භක්ති කාව්‍ය, ඛණ්ඩ කාව්‍ය, වියරණ ග්‍රන්ථ සන්න,
ගැටපද, ශබ්ද කෝෂ ආදී දියුණු සාහිත්‍යයක තිබිය යුතු සෑම කොටසකින් ම සම්පූර්ණ වී ඇත.
දඹදෙණි, කෝට්ටේ යන යුග දෙක සාහිත්‍යය අතින් සම්පූර්ණ යුග දෙකකි. දඹදෙණි යුගයේ ගද්‍ය
කෘතිවලට මුල්තැන ද, කෝට්ටේ යුගයේ පද්‍ය කෘතිවලට මුල්තැන ද, ලැබී ඇත. එසේ වෙන් කළත්,
හැම යුගයක දී ම විවිධාංග සාහිත්‍යයට එකතු වී තිබේ. අනුරාධපුර යුගය සාහිත්‍යය අතින්
සෑහෙන දියුණුවක් ඇති වී තිබෙන බවට අනුමාන කළ හැකි ය. මහා විහාර - අභයගිරි ඇති වී
ඇති ගැටුම, අභයගිරි වාසීන්ගේ පොත්පත් ගිනිබත් කිරීම, මහසෙන් රජ කාලයේ මහා විහාරය
නැති කර දැමීම, බුද්ධඝෝෂ, මාහිමියන්ගේ අටුවාකරණයෙන් පසු පාලි සාහිත්‍යයට රුචිකත්වය
දැක්වීම, පාලි අටුවාකරණයෙන් පසු සිංහල පොත් ගිනිබත් කිරීම, පරසතුරු ආක්‍රමණ ආදී
නොයෙක් අවුල් වියවුල් මේ කාලය තුළ දී ඇති වී තිබේ.
දියුණු සාහිත්‍ය යුගයක් යැයි අනුමාන කළ හැකි කරුණු තිබුණත්, සාහිත්‍ය කෘති
අවිද්‍යමාන නිසා අඳුරු කාලපරිච්ඡේදයක් වශයෙන් සැලකීමට සිදු වී තිබේ.
සාහිත්‍යයක් දියුණු වීමට හේතු වන කරුණු කිහිපයක් තිබේ. පරසතුරු ආක්‍රමණ ඇති නොවීම,
(ඒක්සේසත් ව තිබීම) බුදුදහමේ දියුණුව, රජවරුන්ගේ ධාර්මික භාවය හා උගතුන් උනන්දු
කරවීම, ආර්ථික කටයුතු ඉතා හොඳින් තිබීම ආදී කරුණු සාහිත්‍ය දියුණුවට බලපාන කරුණු ය.
දඹදෙණිය, කෝට්ටේ යුග දෙක අනෙක් යුගවලට වඩා සාහිත්‍යය අතින් පරිපූර්ණ වීමට හේතු වූ
ප්‍රධාන කරුණක් ලෙස ඉහත සඳහන් කරුණු දැක්විය හැකි ය. අනුරාධපුර යුගයේ මුල් අවධියේ,
මැද අවධියේ ඒ ආකාරයේ තත්ත්වයක් උදාවුවත්, ඒ සමඟ ම පිරිහීමේ දොරටු සක්‍රිය වී තිබේ.
ඉහත සඳහන් යුගවල පිරිහීම ඇතිවූයේ සාහිත්‍යකරණයෙන් පසුව ය. සාහිත්‍යකරණය අවධියේ ඉතා
හොඳ තත්ත්වයෙන් පැවති බව පැහැදිලි ය.
පාලි භාෂාව, සංස්කෘත භාෂාව මුල සිට ම සිංහල සාහිත්‍යය විෂයයෙහි බලපෑ බව සාහිත්‍ය
කෘතිවලින් ම පැහැදිලි වේ.
සියබස්ලකර, මුල් යුගයේ කාව්‍ය අලංකාර ග්‍රන්ථයකි. දණ්ඩී ආචාර්යවරයාගේ කාව්‍යාදර්ශය
ආශ්‍රයෙන් රචිත ය. කාව්‍යාදර්ශය සංස්කෘත අලංකාර ග්‍රන්ථයකි. මෙයින් පැහැදිලි වන්නේ
සංස්කෘත භාෂාවේ බලපෑම මුල් යුගයේ පැවති බවයි. ක්‍රි.ව. 5 වැනි සියවසෙන් පසු පාලි
භාෂාව රුචි කිරීම නිසා සාහිත්‍යයට නොයෙක් වංශ කතා එක්විය. ටීකා සාහිත්‍ය, අටුවා
ගැටපද සන්න එකතු විය. කාලීන අවශ්‍යතා අනුව ‘වංශ කතා’ සිංහලට පරිවර්තනය කර ඇති
නමුත්, මුල් කෘති සකස් වී ඇත්තේ, පාලි භාෂාවෙන් ම ය. පාලි භාෂාවෙන් සකස් වූයේ දෙවනු
ව ය යන මතයක් ද වේ. කෙසේ වෙතත් මුල් කෘති අවිද්‍යමාන නිසා ඒ ගැන නිගමනයක් කළ නොහැකි
ය.
මුල් යුගයේ මහායාන ධර්මය හා ථෙරවාදී ධර්මය පිළිබඳ වාද විවාද ඇතිවිය. භාතිකාභය හා
ගෝඨාභය රජ සමයේ බොහෝ කෘති ගිනිබත් කොට තිබේ. මහා විහාරය හා අභයගිරිය තරගකාරී ව කෘති
රචනා කරන්නට ඇත.
කෝට්ටේ යුගයේ ආරණ්‍යවාසී, ග්‍රාමවාසී දෙපක්ෂයක් ඇතිවීම සාහිත්‍යය දියුණුවීමට
පිටිවහලක් විය. එසේම මුල් යුගයේ මහාවිහාර - අභයගිරි ගැටුම සාහිත්‍යය විෂයයෙහි ද
බලපා ඇත.
විශුද්ධි මාර්ගය පාලි ග්‍රන්ථයකි. නමුත් මෙම ග්‍රන්ථය පර්යේෂණ ග්‍රන්ථයක් වීම
නිසාත්, බොහෝ කෘතිවලින්, කරුණු ගෙන ධර්මය විස්තර කර ඇති නිසාත් වැදගත් කෘතියක් ලෙස
සැලකේ. මව් ග්‍රන්ථය හා සමාන ව ලියැවුණු ග්‍රන්ථයකි විමුක්ති මාර්ගය. එය රචනා කර
ඇත්තේ අභයගිරිවාසීන් ය. අභයගිරිවාසීන් මහායාන ධර්මය දැන ගෙන තිබීම නිසාත්, ඒ අනුව
කටයුතු කරන බව බොහෝ දෙනකු පිළිගෙන තිබුණ නිසාත්, ඔවුන් රචනා කරන ලද ග්‍රන්ථයක්
ඇගයීමක් සිදු නොවේ. නමුත් සාහිත්‍යකරණය සඳහා අභයගිරිවාසීන්ගෙන් ද සෑහෙන රුකුලක්
ලැබී ඇතැයි සිතිය හැකි ය. නමුත් අභයගිරිවාසීන් විසින් රචනා කරන ලද ග්‍රන්ථයන්ගෙන්
අද අප අතර විද්‍යමාන වන කෘති කිහිපයකි. එයින් ද සිංහල සාහිත්‍යය පිළිබඳ නිගමනයක් කළ
නොහැකි ය. අභයගිරිවාසීන් සංස්කෘත, මහායාන, හීනයාන, තර්ක ශාස්ත්‍ර ආදී විවිධ විෂයයන්
කෙරෙහි මනා අවබෝධයක් ඇතිව සිටි බව පැහැදිලිය. සංස්කෘත පාලි භාෂාවල බලපෑම සෑම යුගයක
දී ම බලපා තිබේ.
පොලොන්නරු යුගයේ රචිත කෘතිවලට සංස්කෘත භාෂාව බලපා තිබෙන බවට ධර්ම ප්‍රදීපකාව
සාධකයකි. බුදුන් පිරිනිවි කල සමක්ෂ ශ්‍රාවකයන් පන්සියක් දෙනා සවීඥතාඥාන නමැති රුවන්
ආරෙහි උපන් දහම් රුවන් ගෙන රුවන් දහමක් සෙයින් ගොතා ස්ථාවිරීය නිකාය නමැති රත්න
මංජුෂායෙහි නිධාන කළ පරිදි දැක්වූහ. (ධර්ම - ප්‍රදීපිකාව ධ. ප්‍රදිපිකාව) 332 පිට)
මෙම ග්‍රන්ථය රචනා කෙළේ ගුරුළුගෝමි ආචාර්යවරයා ය. සංස්කෘත පාලි ශෛලිය අමාවතුරෙන් ද
පැහැදිලි වේ. කුරුණෑගල යුගයේ රචනා වී ඇත.
සිංහල මහා බෝධිවංශය අනුගමනය කර ඇත්තේ, කාදම්බරී නම් සංස්කෘත ග්‍රන්ථයේ ශෛලියකි.
සංස්කෘත, පාලි භාෂාවල බලපෑම නිසා සාහිත්‍යය වර්ධනයට බාධාවක් වී ඇතැයි ඇතැමෙක්
කල්පනා කරති. නමුත් ඒ මතය ප්‍රතික්ෂේප කළ හැකි කරුණු ද තිබේ. ඒ භාෂාවල සඳහන් කරුණු
අනුව සිංහලය සකස් වී ඇත. සාහිත්‍යය ද සකස් වී ඇත්තේ ඒ අනුව ය. භාෂාවලින් කොපමණවත්
කරුණු එකතු කර ගත හැකි ය. නමුත් එම භාෂාවලට ගැතිවීම නිසා සිංහල සාහිත්‍යයේ නැඟීමට
බාධාවක් වී ඇතැයි සිතිය හැකි ය. නමුත් එම භාෂාවලට හෝ වෙනත් බලවේගවලට හසුනොවී කෘති
රචනා කළ ධර්මසේන මාහිමි (සද්ධර්ම රත්නාවලිය) ගුත්තිලය (වෑත්තෑවේ හිමි) යන හිමිවරු
පුරාණ පඬිවරුන් අතර විය.
ඇතැම් යුගවල දී විවිධ සංස්කෘතී හි බලපෑම ද මෙම සාහිත්‍යයෙන් හෙළිදරව් වෙයි. වරෙක
උතුරු ඉන්දියාවෙන් ද වරෙක දකුණු ඉන්දියාවෙන් ද, නොයෙක් අය මෙහි පැමිණ තිබේ. මිහිඳු
මාහිමියන් මෙහි වැඩම කිරීමට පෙර සිට හින්දු ආගමේ බලපෑම ඇති වී තිබේ. හින්දු
සංස්කෘතියේ භක්තිවාදයට මුල් තැනක් ලැබේ. අනුරාධපුරයෙහි දක්නට ලැබෙන සඳකඩ පහණෙහිත්,
පොලොන්නරු යුගයෙහි දක්නට ලැබෙන සඳකඩ පහණෙහිත් වෙනස, විහාර මන්දිර තුළ දේව ප්‍රතිමා
නෙළීම අපට පෙනෙන පැහැදිලි දේ ය. සාහිත්‍ය කෘති තුළින් ද භක්තිවාදයට නැඹුරු වී ගිය
තැන් ඇති බව පෙනේ.
මුල් යුගයේ සිට කෝට්ටේ යුගය දක්වා සිංහල සාහිත්‍යය දියුණුවට හේතු වූයේ අනුබුදු
මිහිඳු මහරහතන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යි. උන්වහන්සේ පෙන්වූ නිවැරැදි මඟ අවබෝධ
කර ගත් බොහෝ දෙනෙක් ඒ මඟ ගමන් කළහ.
උන්වහන්සේගේ ප්‍රධාන පරමාර්ථය වූයේ සිංහල බස මූලික කර ගෙන ධර්මය ව්‍යාප්ත කිරීමයි.
ඒ සඳහා දූරදර්ශී ව දියත් කළ මාර්ගය බොහෝ දෙනෙක් අවබෝධ කර ගත්හ. ඒ මාර්ගය අවබෝධ කර
ගත් උගත්හු පිරිසකට ප්‍රයෝජන ගත හැකි කෘති රචනා කළහ. බොහෝවිට වස්තු බීජය වූයේ ධර්ම
ම ය කරුණක් හෝ පූජාවස්තුවක් ය.
උන්වහන්සේගේ මාර්ගය තේරුම් ගත්, උගත්, කල්පනාකාරී පිරිසක් ඇතිවීම නිසා දීර්ඝ කාලයක්
ගතවීමට පෙර සෑහෙන පිරිසකට විපුල ප්‍රයෝජන අත්කර ගැනීමට වාසනා මහිමය උදාවිය.
උන්වහන්සේගේ අභිප්‍රාය බොහෝ දුරට සඵල විය. උන්වහන්සේ මෙහි පැමිණ, හෙළ බසින් ගැඹුරු
ධර්මය පැහැදිලි කරදීම, රජ ඇතුළු රාජකීය පිරිස ධර්මය වටහා ගැනීම, ත්‍රිපිටක අටුවා
හෙළ බසට පෙරළීම, ධර්ම ඥානය හා භාෂා ප්‍රමුඛත්වය ඇති කරලීමට ආයතන ආරම්භ කිරීම, මහා
විහාර භූමිය සඟසතු කිරීම ආදී කරුණු සම්පූර්ණ වීම නිසා උන්වහන්සේගේ අදහස සඵල වීමට
බොහෝදුරට හේතු විය. විවිධ බලපෑම් ඇතැම් කාලවල දී ඇති විය. නමුත්, ඒ සෑම යුගයක දී ම
ඒ බලපෑම් මැඬපවත්වා ගතහැකි ගිහි පැවිදි පිරිසක් ජාතියේ වාසනාවට පහළ වූහ.
මහමෙව්නා උයනේ රෝපණය කළ බෝධීන් වහන්සේගේ මුල්, මහමෙව්නා උයනේ විසිරී ගොස් ස්ථිර
වූවාක් මෙන් සිංහල හදවත් තුළ මිහිඳු සංස්කෘතිය තදින් කාවැදී ගිය බව පෙනේ. උදාර
ශ්‍රේෂ්ඨ ලක්වාසීහු මාහැඟි සංස්කෘතිය රැක ගැනීමටත්, පෝෂණය කිරීමටත්, දිවා රාත්‍රී
උත්සුක වූහ.
බැමිණිටියාසාය සමයේ වැලිගොඩවල් ගසාගෙන මුවාවෙමින් හිඳිමින්, ගස්වල පොතුවළඳමින්,
අනේක දුක් කරදර ඉවසමින්, අනගි දහම රැක ගත්හ. වීර්යවත් මහා සංඝරත්නය එසමයෙහි වැඩ
නොසිටියේ නම්, පිරිසුදු ධර්මයක් ලෝකයේ ම නැත. සිංහල ජාතියක් නැත. සාහිත්‍යයක් නැත.
උන්වහන්සේ ජීවිතය පිළිබඳ ව කිසිම තැකීමක් නොකොට ධර්මය ආරක්ෂා කළේ එහි වටිනාකම දැන
සිටි නිසාත්, එය ආරක්ෂා කර ගැනීම නිසා අනාගතයේ දී ඇතිවන ප්‍රතිඵල ගැනත් සලකා ගෙන ය.
මිහිඳු සංස්කෘතිය අපට නොලැබුණේ නම් අප තවමත්, අඳුරේ ය. අපේ අඳුර නැති කළ එකම ආලෝකය
මිහිඳු සංස්කෘතිය යි.
භාෂාවට ජීව වායුව දුන්, එකම බලවේගය මිහිඳු සංස්කෘතිය යි. අඛණ්ඩ ඉතිහාසයක
උරුමක්කාරයන් වීමේ භාග්‍යය ලැබුණේ ද මිහිඳු සංස්කෘතිය හේතුවෙන් ම ය. ජාතියේ ඉදිරි
ගමන සාර්ථකවූයේ ද මෙම සංස්කෘතිය නිසා ම ය.
පොලොන්නරු යුගයේ දිඹුලාගල මහා කාශ්‍යප හිමි, මහනුවර යුගයේ ශ්‍රී සරණංකර සංඝරාජ මා
හිමි ආදී සම්භාවනීය පැවිදි උත්තමයන් වහන්සේ ජාතියේත්, භාෂාවේත්, සාහිත්‍යයේත්,
ඉදිරි ගමන් මඟ පෑදූහ. උන්වහන්සේ ඒ වකවානුවල දී මුළුගැන්වී නම් සෑම අංශයකින් ම
පරිහානියකට ඇදවැටීමට ඉඩ තිබුණි.
අතීතයෙහි සිටි ශ්‍රේෂ්ඨ නරපතියන්ගෙන් ද සිදුවූයේ අසීමිත සේවයකි. දෙවනපෑතිස්ස,
දුටුගැමුණු, වළගම්බා, විජයබාහු, පරාක්‍රමබාහු, ධාතුසේන ආදී රජවරු ගමන් මඟ ආලෝකවත්
කළ ශ්‍රේෂ්ඨ නරපතීහු ය.
මිහිඳු සංස්කෘතිය වටහාගත් ශ්‍රේෂ්ඨ නරපතීහු එය රැක ගැනීමට නොයෙක් ක්‍රියාමාර්ග
යෙදූහ. වැසියාට අවබෝධයක් නොවූ කාලවල දී පැවිදි උත්තමයන් වහන්සේ හා එකමුතු වී නැවතත්
මාර්ගය පාදා දුන්හ. ග්‍රන්ථකරණයට අත දුන්හ. ලක්දිව නොයෙක් කාලවල දී පහළ වූ ශ්‍රේෂ්ඨ
පඬිවරයන් ද, පාලකයන් ද, ධර්මය රැක ගෙන ආ පැවිදි උත්තමයන් වහන්සේ හා භක්තිමත්
ලක්වැසියන් ද මිහිඳු සංස්කෘතිය ආරක්ෂා කළ නිසා ම සිංහල සාහිත්‍යය දියුණු විය.
ආරක්ෂා විය. පෝෂණය විය. |