Print this Article


අටුවා අදහස් අභිමත පරිදි ඉදිරිපත් කළ හැකිද ?

අටුවා අදහස් අභිමත පරිදි ඉදිරිපත් කළ හැකිද ?

මෙම ලිපියේ මුල් කොටස වප් පුර පසළොස්වක පොහෝදින පළවිය.

“ඒ වං මේසුතං එකං සමයං භගවා” යනාදී වශයෙන් පවතින වචන බෞද්ධයන්ගේ කටට හොඳට හුරුයි. මෙහි යෙදෙන “ඒවං” යන නිපාත පදයට අර්ථ කිහිපයක් යෙදෙන බව අටුවාවල දක්වනවා. “ඒවං” යන පදය උපමා, උපදේශ, සතුට, ගැරහීම, පිළිගැනීම්, නිදස්සන, අවධාරණය යනාදී අර්ථවල යෙදෙන බව බුද්ධඝෝෂ හාමුදුරුවෝ අටුවාවල පැහැදිලි කර තිබෙනවා. එනිසා බොහොම පැහැදිලියි.

“ඒවං” යන්න අටුවාචාරීන් වහන්සේගේ වචනයක් නොවන බව. එය බුදුරජාණන් වහන්සේ දේශනා කළ වචනයක් “ඒවං” ජාතෙන මච්චේන කන්තබ්බං කුසලං බහුං” යන්නෙන් අදහස් කරනුයේ උපමාවක්. මේ අයුරින් “ඒවං” යන පදය විවිධ අර්ථයන් සපයනවා. බුදුරජාණන් වහන්සේ විවිධ සූත්‍රවල දේශනා කළ පාඨ, සූත්‍ර උපුටා දක්වමින්.

“ඒවං” යන්න විවිධ තැන්වල යෙදෙන බව අටුවාචාරීන් වහන්සේලා පෙන්වා දෙනවා. අටුවාවේ පස්වැනි ලක්ෂණය වන්නේ අනුුයෝගතෝ පරිහාරතෝ යන්නයි. එය පැහැදිලි කරන්නේ ග්‍රන්ථයක උපුටා දැක්වීමක් ඇසුරින් පාලි අට්ඨ කථාවන්හි පිළිබිඹු වන ව්‍යාකරණ සම්ප්‍රදාය යනුවෙන් මහාචාර්ය වෑගම පියරතන හාමුදුරුවෝ ලියූ පර්යේෂණාත්මක ග්‍රන්ථයේ “අනුයෝගතෝ - පරිහාරතෝ” යන වචන දෙක විස්තර කරනුයේ මේ ආකාරයෙන්.

“අර්ථකථන ශිල්පීය ක්‍රමයෙහි විවේචන කිරීමේ අංශය අනුයෝග හා පරිහාර යනුවෙන් කොටස් දෙකකි. අනුයෝග ක්‍රමය යනු ප්‍රශ්න ඉදිරිපත් කිරීම හෝ ප්‍රශ්නවල වැදගත්කම විවේචනාත්මක ව පරික්ෂා කිරීමයි. පරිහාර යනු එබඳු ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමයි.

මේ ආදි වශයෙන් උන්වහන්සේගේ අගනා ග්‍රන්ථයේ මේ පිළිබඳ ව තවදුරටත් විග්‍රහ කර තිබෙනවා.

“උපාසක” යන නිතර යෙදෙන පදය ගැන මඳක් විමසා බලමු. කවුද? උපාසක කියන්නේ. කුමන කරුණක් නිසා ද උපාසක කියන්නේ? උපාසකගේ ශීලය කුමක්ද? ආජීව කුමක්ද? යනාදී වශයෙන් ප්‍රශ්න කර කර පිළිතුරු සැපයීම අනුයෝග පරිහාරතෝ යන අටුවා ක්‍රමවේදයේ ලක්ෂණයයි. මේ ආකාරයෙන් ධර්මානුකූල ව ඉතාමත් විශිෂ්ට ආකාරයට අටුවාවන් රචනා කර තිබෙනවා.

අටුවා ගැන සඳහන් කිරීමේ දී තමන්ට අභිමත පරිදි අටුවාවල අදහස් ඉදිරිපත් කරන්න කාටවත් බැහැ. එය ඉදිරිපත් කළ යුත්තේ ශාස්ත්‍රීය ක්‍රමයකටයි. අටුවා පද ඉදිරිපත් කරන ශාස්ත්‍රීය ක්‍රම හතරක් තියෙනවා.

“සුත්ත, සුත්තානුලෝම, ආචාර්යවාද, අත්තනෝමත යනු” එම ක්‍රමවේද හතරයි.

ඉදිරිපත් කරන දේ සූත්‍රයට ගැළපෙනව ද (සුත්ත), එයට අනුකූල වේද (සුත්තානුලෝම), විවිධ ආචාර්යවරුන්ගේ මතවාද මොනවාද (ආචාර්යවාද) සහ තමන්ගේ අදහසට (අත්තනෝමත) ගැළපේ ද යන්න අටුවා විවරණය කෙරෙන ශාස්ත්‍රීය ක්‍රමවේදය ලෙස හඳුන්වා දී තිබෙනවා.

කෙසේ වුවත් බුද්ධඝෝෂ හාමුදුරුවෝ අත්තනෝමත යන්න විග්‍රහ කළ අයුරු අටුවාවේ දැක්වෙන්නේ මෙහෙමයි.” අටුවා විවරණය කරන ක්‍රම අතරින් අත්තනෝමත ඉතා ම දුර්වල එකක්. ඊට වඩා ආචාර්යවාදය හොඳයි. ඊටත් වඩා සුත්තානුලෝමය හොඳයි. සියල්ලට ම වඩා වැදගත්, බලවත් ම දෙය, නිවැරැදිම දෙය සූත්‍රයි. (සුත්ත) එනම් බුදුරජාණන් වහන්සේ වදාළ දේශනාවයි.

මේ අනුව බැලීමේ දී පෙනී යන කරුණක් වන්නේ අටුවා විවරණය ශාස්ත්‍රීය ක්‍රමවේදයකට මෙන් ම ඉතාමත් නිහතමානී ව කළ දෙයක් බවයි. කෙසේ වෙතත් අටුවාවේ ස්වරූපය කෙබඳු ද? යන්න මේ අනුව යම් දුරකට පැහැදිලි වේ.

ප්‍රාණඝාතයක් වීමට නම් කරුණු පහක් සම්පූර්ණ විය යුතුයි. බුද්ධඝෝෂ හාමුදුරුවෝ උන්වහන්සේ ලියූ දීඝ නිකායේ අට්ඨ කථාව “ඉතිවුත්තක අට්ඨ ” කථා ආදී තැන්වල ප්‍රාණඝාත අකුසලය සිදුවීමට සම්පූර්ණ කළ යුතු අංග පහ මොනවද කියා දක්වා තිබෙනවා.

පාණෝ (ප්‍රාණියකුවීම), පාණසංඥා (පණ ඇති බව දැන ගැනීම), වධක චේතනා (මැරීමේ චේතනාව), උපක්කමෝ (මැරීමට උපක්‍රම යෙදීම), තේන මරණං (මරණයට පත්වීම) යන කාරණා පහ සම්පූර්ණ වුවහොත් ප්‍රාණඝාත අකුසලය සිදුවන බව සඳහන් වෙනවා.

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කාව්‍යශේඛරයේ දී මෙය කවියට නඟා තිබෙනවා.

සතකු බව දැනුම ද

මරණව සිත් පයෝග ද

දිවි යනු සියත බඳ

පසැගතිය යෙන් පළමු සික පද

අටුවාචාරීන් වහන්සේ මේ සියලු දේ සමෝධානය කර මූලික අදහසක් ගෙන මෙම සංකල්ප ඉදිරිපත් කර තිබෙනවා. මේ අයුරින් ම අනෙකුත් සිල්පද සඳහා ද සම්පූර්ණ විය යුතු අංග දක්වා තිබෙනවා. මෙම අංග දක්වන්නේ අටුවාචාරීන් වහන්සේයි.

අටුවාව යනු බුදුරජාණන් වහන්සේ දේශනා කළ විවිධ සූත්‍රයන්, එකතු කර එක අදහසක් ඉදිරිපත් කිරීමයි. මේවා සිංහල භාෂාවේ දී හෙළටුවා වශයෙන් තිබුණා. හෙළටුවා 28ක් තිබුණ බව පර්යේෂණවල දී හෙළි වී තිබෙනවා. නමුත් එය උපකල්පනය කළ දෙයක් යැයි ඇතැම් ආචාර්යවරුන් පවසනවා. කෙසේ නමුත් මහා අට්ඨ කථාව, මහා පච්චරිය අට්ඨ කථාව, කුරුන්දි අට්ඨ කථාව යනුවෙන් හෙළටුවා කොටස් තුනක් තිබුණු බව බුද්ධඝෝෂ හාමුදුරුවන්ගේ අට්ඨ කතාවල සඳහන් වෙනවා. හෙළ අටුවා රචනා කර තිබුණේ පාලියෙන්. හෙළටුවා පාඨ මේ ආකාරයෙන් හඳුනාගැනීම සඳහා ඉදිරිපත් කළ හැකියි.

යොගෙ සොහෙ වදානති
උපද්දවහි නම්,
සාමාවතියා, වත්ථු
නාම පඨමං යි මහ අටුවාහි ආ
බැවින්
අප්පමාදහි පණ්ඩිතහ
ජෙනෙ
මාරස්ස පුප්ඵෙ වදානකි
පුප්ඵ අකුසල
සාලිත්ථක සිප්පෙ
යන්ත භත්කාරක ලනකසිප
ලකුණ්ටකො වදානකි. රස්ස
නැමි

අටුවා ඇදුරන් අතර මුල් තැන හිමි වන්නේ බුද්ධඝෝෂ හාමුදුරුවන්ටයි. උන්වහන්සේ ලංකාවට වැඩම කර පාලි අට්ඨා කථා ග්‍රන්ථ රචනා කළ කාලය අටුවා කාලය වශයෙන් සලකනවා. ඒ අනුව බලන කල බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලංකාවට වැඩම කළේ ක්‍රි.ව. 5 වැනි සියවසේ. ඒ කාලයේ රජ කළේ මහානාම රජතුමා. බුදුගොස් හිමියන් ලංකාවට වැඩම කරන්නට පෙර මෙහි වැඩම කළ බුද්ධදත්ත හාමුදුරුවෝ මහා විහාරික හාමුදුරුවරුන් ඇසුරු කරමින් අටුවාකරණයේ නියැළුණා. එහෙත් සාර්ථක වූයේ නෑ. අටුවා ලියන ලද්දේ බුද්ධඝෝෂ හිමියන් පමණක් නොවේ. ධම්මපාල හිමි, උපසේන හිමි, මහානාම හිමි, ඒ අතර සිටිනවා. කෙසේ වුවත් බුද්ධඝෝෂ හාමුදුරුවෝ වැඩියෙන් ම අටුවා රචනා කළා.