Print this Article


රූපයේ ආදීනව නුවණින් දකින්න

රූපයේ ආදීනව නුවණින් දකින්න

අප ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩ වසන සමයේ උන් වහන්සේගෙන් කමටහන් ලබා ඈත කැලෑවක විදර්ශනා වඩන්නට ගිය භික්ෂූන් වහන්සේ නමක් අරබයා මෙම ගාථාව වදාළ සේක.

ඒ ස්වාමින් වහන්සේ බුදුපියාණන් වහන්සේ වෙතින් කමටහන් ලබා ගෙන වනයට ගොස් බොහෝම මහන්සි ව භාවනා කළ නමුත් රහත් වන්නට බැරි වුණා.

“මම නැවතත් තථාගතයන් වහන්සේ හමුව කමටහන ශුද්ධකර ගන්ට ඕන. විශේෂ උපදෙස් ලබා ගන්නට ඕන කියා හිතා දුරු මඟ ගෙවා ගෙන නැවත ජේතවනාරාමය බලා පිටත් වුණා. මේ එන ගමනේ පොළවෙන් උඩට වාෂ්ප වගේ මිරිඟුව මතුවී තිබෙනවා දුටුවා. ඒ දර්ශනය දුටු මේ ස්වාමින් වහන්සේ කල්පනා කළා මේ මාගේ ආත්ම භාවයත්, මේ කයත් මිරිඟුවක් වගේ. මිරිඟුව ඇත්ත දෙයක්, අල්ල ගන්න පුළුවන් දෙයක් ලෙස පෙනෙනවා. නමුත් ළඟට ගිය විට එසේ නැහැ. ඒ වගේ බුදුපියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට ම මේ ස්වාමින් වහන්සේට පෙනුනා සියල්ල මිරිඟුවක් කියලා.

මේ ශරීරය පෙනෙන ආකාරය නොවෙයි ඇත්ත වශයෙන් තියෙන්නෙ. මේ ඇතිවීමේ, නැතිවීමේ ස්වභාවය යි. ඇතිවෙන තැනට ගිහිල්ලා බලනකොට එතැනින් නැති වෙනවා. ඊළඟට ඒ විදිහට මිරිඟුව ගැන හිත හිතා ඇවිල්ලා අචිරවතී නැමති ගඟ ළඟට පැමිණ කයේ වෙහෙස, ගිමන් විඩාව නිවා ගත්තා. පැන් පහසුවෙලා ගහක් යට සංසුන් ව ඉඳගෙන බලාගෙන හිටියා. ගඟේ වතුර බොහොම වේගයෙන් ගලන ආකාරය. මේ ගඟේ සැඩ වතුර පාරට පෙණ පිඬු හැදි හැදී නැති වෙලා යන ආකාරය දුටුවා. මේකත් ඒ ස්වාමින් වහන්සේට කමටහනක් වුණා. ඒ ගැන කල්පනා කළා. මගේ රූපය, මේ ශරීරය ආත්මභාවය, මේ සියල්ල පෙණ පිඬක් වගෙයි. ඒ ගැන කල්පනා කරන අවස්ථාවේ දී බුදුරජාණන් වහන්සේ බුද්ධ ඥානයෙන් දුටුවා. තමන් වහන්සේ ඒ කමටහන් දුන්න භික්ෂූන් වහන්සේගේ හිත වැඩ කරන ආකාරය. බුදුරජාණන් වහන්සේට පෙනුනා මේ ස්වාමින් වහන්සේගේ සිත මෝරලයි තියෙන්නේ කියලා. අන්න ඒ අවස්ථාවේ බුදුපියාණන් වහන්සේ ස්වාමින් වහන්සේ ඉදිරියේ ඍද්ධියෙන් පෙනී සිට වදාළා.

“ඵෙනුපමං කායම්මං  විදිත්වා’ මේ කය පෙණ පිඬකට උපමා කළ හැකි බව දැන ගෙන ‘මරීචිධම්මං අභිසම්බුධානො, මේ ශරීරය ඇති මිරිඟු ස්වභාවය නුවණින් වටහා ගෙන, හරියාකාර තේරුම් අරගෙන මාරයාගේ දර්ශන පථයට හසුනොවන තැනකට යන්න කියා වදාළා.

ඒ උපදේශය අසා ස්වාමින් වහන්සේගේ විදර්ශනා ඥාන මෝරා ගොස් සිවු පිළිසිඹියාපත් රහතන් වහන්සේ කෙනෙක් බවට පත්වුණා. වේගයෙන් ගලා යන වතුර පාරක අපවිත්‍ර දේ එකතුව වතුරෙන් ඒවා ගසාගෙන යන අතරේ එයින් පෙණ නැඟෙනවා. ඒ පෙණ පිඬ ඈතට පෙනෙන්නෙ ඝන සංඥාව අනුව යම්කිසි ඝන දෙයක් – නිත්‍ය දෙයක් ලෙසයි. සාරවත් දෙයක් ලෙස පෙනෙනවා. නමුත් කිට්ටුව බලනකොට මේක නිස්සාර දෙයක්, ලෙස පෙනෙනවා. ඒ දෙස ඉතා ම සූක්ෂමව බැලුවොත් බොහොම ශීඝ්‍රයෙන් ඇතිව, නැති වෙන බුබුළු ගොඩක් වගෙයි. මේ ශරීරයත් ඒ වගේ දෙයක්. මේක ඈතට පෙනෙන්නේ ඉතාම පි‍්‍රයමනාප නිත්‍ය දෙයක් ලෙසයි.

ලේ, මස්, ඇට, නහර ආදියෙන් සැදුණු මේ ශරීරය අපි කැමැති ලෙස තබා ගන්න ආසයි. අපි බොහොම ඇලුම් කරලා මම මාගේ ය කියල බොහොම ආඩම්බරයෙන් හැඩ වැඩ දමා සරසා කවා පොවා මේ ශරීරය සකස් කර ගන්නව. ඒ පෙණවල ඉතුරු වෙන හරිය නව දොරකින් පිටට ගලා හරිනවා. මල ,මූත්‍ර, දහඩිය ආදිය අපි සෝදා හරිනව. කුණු හැටියට මේ විදිහේ තත්ත්වයක් මේ ශරීරය පිළිබඳ පෙණ පිඩේ තිබෙන්නේ. බුදුපියාණන් වහන්සේ වදාළ ලෙස මේ දෙතිස් කුණුප කොට්ඨාශය ම එකතු වෙලා තිබෙන්නේ. මේ ආකාරයටයි.

පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මූල ධාතු ආශ්‍රයෙන් මේ ශරීරය අවුරුදු ගණනාවක් තිස්සේ වැඩෙනවා. මේක පෙණ පිඩක්, මේ දෙතිස් කුණප කොට්ඨාසයෙන් කෙස්,ලොම්, නිය, දත් ආදී යම්කිසි දෙයක් කමටහනක් හැටියට සමථ වශයෙන් නිතර මෙනෙහි කිරීම තුළින් එහි සිත රඳවා ගැනීම තුළින් ඒකාග්‍රතාව මඟින් එය ගැඹුරට දැකීමෙන් විදර්ශනා වශයෙන් මේකෙ තිබෙන ධාතු ස්වභාව ආදිය දැකීමට අවස්ථාවක් සැලසෙනවා.

අශුභ වශයෙන් හෝ ධාතු වශයෙන් හෝ මේ පිළිබඳ තිබෙන ඇල්ම ඉවත් කර මේකෙ යථා තත්ත්වය අවබෝධ කර ගන්න පුළුවන් වෙනවා. මේ ශරීර කූඩුව මාරයා හදාපු කූඩුවක්. මේ ශරීර කූඩුව තුළ හිත හිරවෙලයි තිබෙන්නෙ. හිතේ විමුක්තිය ලබා ගැනීමටයි වෙහෙසෙන්නෙ. විනිවිද යනවා විනිවිද දකිනවා දැන් අනිත්‍යතාව දකිනවා කියන්නේ මෙහි පැති දෙකක් තිබෙනවා. ඇතිවීමයි, නැතිවීමයි. හේතුන් නිසා ඇතිවෙනවා. ටික කලක් පවතිනවා. විනාශ වෙලා යනවා. ඇතිවීම් ස්වභාවය යි. නැතිවීම් ස්වභාවය යි. මෙනෙහි කිරීමෙන් මේක ගැඹුරට යනකොට ඒ තුළින් විනිවිද දකිනවා. මෙතන ඇති දෙයක් නැහැ කියන එක අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව, නිස්සාර බව. ඒ තුළින් දකින්න පුළුවන් වෙන්නෙ. විදර්ශනා ප්‍රඥාව මේ ලෙස දැකලයි මේක පෙණ පිඬක් හැටියට වටහා ගන්න පුළුවන් වෙනවා. වෙන කෘත්‍රිම උපකරණවලින් නොවේ.

අතීතයේ බුදුරජාණන් වහන්සේ දැක්වූ උපමා ටික තමයි භික්ෂූන් වහන්සේ වනයට භාවනා කරන්න යන විට අරගෙන ගියේ. වෙන පොත්පත් ගෙන ගියේ නැහැ. ඒ උපමාව ප්‍රයෝජනවත් වුණා.

උපමාවක තිබෙනව මහා ග්‍රන්ථයක තියෙන කාරණා රාශියක්. ලෝකයා මේ රූපය පිළිබඳ ඇලුම් කිරීම මේක පෙන්නුම් කරන්නේ හැම තිස්සෙම ශුභ දෙයක් ලෙසයි. කෙලෙස් මාරයාගේ වැඩක්.

බුදුරජාණන් වහන්සේ වදාළා ජේÀවාන මාරස්ස පපුපඵකානී, මල්තුඩ ඇති හී සැර, ඒවා කපා හරිනවා. මෙතැන ගැඹුරු අදහසක් කියැවෙන්නේ. මොනවද මේ ඊසැර කියන්නේ. කෙලෙස් මරයා මේ ඊතල විදින්නේ අපේ ඉන්ද්‍රිය හයට යි. ඇස, කන, නාසය, දිව, කය, සිත කියන මේවාට එන අරමුණු එන කෙලෙස් අරමුණයි මෙතැන මේ දක්වා තියෙන්නේ.

මේ කෙලෙස් ස්වභාවය කපා දැමීමට මොකක්ද උපකාර කර ගන්නේ? විදර්ශනා ප්‍රඥාවම යි. ඒකට කියන්නෙ විදර්ශනා මනසිකාරය කියල. මෙන්න මේ කෙලෙස් අරමුණු කපා හරින්න පුළුවන් වෙන්නේ මෙනෙහි කිරීම තුළින්. ඒ අරමුණ අනුව තවත් නොයෙකුත් නිමිති අර ගන්නවා .අරමුණක් එන්නෙ නිකන් නෙවෙයි. නිමිති අරගෙන. කෙලෙස් නොයකුත් නිමිති දෙනවා. මේක සුබයි මේක නිත්‍ය සැපයි, සැප ගෙන දෙන එකක්, ශුභ දෙයක්, මේ වගේ හැඟීම් දෙනවා. ඒ වගේම එහි පි‍්‍රයමනාප ස්වරූපයක් තිබෙනවා. ඒ අනුව ආසාවන් වැඩිවන ස්වභාවයක් මේ ඉන්ද්‍රිය අරමුණුවල තිබෙනවා. මෙන්න මේ අරමුණෙහි ඇති මේ හිත අලවන ස්වභාවය, ඇලීම් ස්වභාවය, බැඳීම් ස්වභාවය, කපා හැර අරමුණූ විනිවිද දකින්න පුළුවන් වන්නේ විදර්ශනා ප්‍රඥාවෙන්.

මේක මේ පඨවි ධාතුව ද කියල දැන ගන්නෙ මේක තද නිසා. ශරීරය තුළිනුයි අපි ඒක අවබෝධ කර ගන්නේ. මේක තද දෙයක්. මේක වැගිරෙනසුලු දෙයක්, මේක උණු වෙන උණුසුම් දෙයක්. මේක හෙලවෙන, පිම්බෙන දෙයක්. මේ ධාතු හතර අපේ මේ ශරීරය තුළ තිබෙනවා. පඨවි ධාතුව වැඩියෙන් පවතින කොට මේ තද බව පිළිබඳ හැඟීම මතුකර ගන්න පුළුවන් ඒවා තුළින්. ඒවා අල්ලනකොට තද බවක් තිබෙනවා. ඒ වගේම මේ වැගිරෙන ස්වභාවය, කෙළ,සෙම් , සොටු, මූත්‍රා ආදි ඒවායේ අපට දැනෙනවා මේ ශරීරය තුළ ආපෝ ධාතුවත් තියෙනවා. කුසගින්න තුළින් උණ ගැනීම් ආදිය තුළින් දන්නවා මේ තේජෝ ධාතුව, ඒ වගේම වායෝ ධාතුව ආශ්වාස ප්‍රශ්වාසයෙන්. ඉතින් මෙන්න මේවා තුළින් බුදු පියාණන් වහන්සේ නිවන මතුකර ගන්න මාර්ගය දැක්වූවේ වෙන කොහෙවත් යන්නට දෙයක් නැහැ. මේ ශරීරයත්, අප අවට තිබෙන ගහ කොළ බණ කියනවා. මේ ගස්, කොළ, ගෙඩි, මල් මේ හැම එකක්ම බණ කියනවා. නමුත් ඒවාට ඇස්, කන් යොමු කරන්නේ නැහැ. බුද්ධ කාලේ නම් ඒ අය කන් දුන්නා. ඒ විදිහට තමයි අතීතයේ භික්ෂූන් වහන්සේ කැලෑවට ගියා ම ඒ විවේක කාලය තුළ ඒ තිබෙන පොත් කියවනවා. ගස්වල තිබෙනවා බණ පොත්, ගංගාවල තියෙනවා බණ. ඒවා තමයි මෙතනත් දැක්වුවේ. ඒ භික්ෂූන් වහන්සේ ගංගාවේ ගලා ගෙන යන බණ පොතක් කියෙව්වා. ඔන්න ඔය විදිහට මේ ලෝකයේ යථා තත්ත්වය බුදුපියාණන් වහන්සේ දක්වා වදාළා. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය කොතෙකුත් දකින්න ලැබෙනවා. ඒවා තුළින් මේවා මතුකර ගැනීම විදර්ශනා ප්‍රඥාවට අයිති දෙයක්. ඒ සඳහා බුදුපියාණන් වහන්සේ දක්වා වදාළ මාර්ගයේ ගමන් කරන්න ඕනෑ.