Print this Article


දෑ අභිමානය ලොවට ම පෙන්වන මාම්පිට රාජ මහා විහාර පින්බිම

දෑ අභිමානය ලොවට ම පෙන්වන මාම්පිට රාජ මහා විහාර පින්බිම

සතර කෝරළයේ අභිමානය ලොවට විදහාපාන තවත් එක් අසිරිමත් සිද්ධස්ථානයක් පිළිබඳ ව සටහනක් තබන්නේ එහි වර්තමානයෙහි තත්ත්වය පරිපූර්ණ ව අනාගතයට ද දායාද විය යුතු නිසාවෙනි.

මේ පින්බිම නමින් මාම්පිට රාජ මහා විහාරය ලෙස ගම් වැසියන්ගේ ගෞරවයට පාත්‍ර ව ඇත. කන්ද උඩරට රාජ්‍යයේ නෙළුම්දෙණියට යාබද ව පිහිටා ඇති මෙම විහාරස්ථානය තුළ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත බොහෝ අංග සුරක්ෂිත ය. බැලූ බැල්මට කඳු කපොලු අතරෙහි පිහිටා තිබෙන මෙම විහාරස්ථානයේ බොහෝ සුවිශේෂතාවන් වේ.

කඳු ගැටයක පිහිටා තිබෙන මෙම ගල් ලෙනෙහි ඇතුළු ගෘහයෙහි මනස්කාන්ත සිතුවම් බොහෝ සිත්තරුන්ට කරන්නට තබා සිතන්නටවත් නොහැකි ඒවා බැව් පැවසිය හැකි ය. පළා පෙති මෝස්තර හා නෙළුම් මල් වර්ණ පූර්ණිත වනුයේ බොහෝ විට රතු, රෝස, කහ පැහැයෙනි. මෙහි සිතුවම්වලට නුවර කලා ආභාසය ලැබී ඇති බව බොහෝ විදුවත්හු පෙන්වා දෙති.

මෙම ගල්ලෙන අභ්‍යන්තරයට පිවිසෙන දොරටුවට ඉහළින් කොටා ඇති කටාරම මෙහි ඇති පුරාවිද්‍යාත්මක හරය මැනවින් ඉස්මතු කරන්නකි. ඊට ඉහළින් බ්‍රාහ්මීය අක්ෂර යොදාගනිමින් කරන ලද ලෙන් ලිපියක් දක්නට ලැබේ. මෙම ලෙන් ලිපිය ක්‍රිස්තු පූර්ව 3 සිට ක්‍රිස්තු වර්ෂ 1 දක්වා කාල පරාසයට අයත් බව පුරාවිද්‍යාත්මක සාධක මඟින් සනාථ වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තහවුරු කොට තිබේ. මෙම ලෙන් ලිපියෙන් අවධාරණය වන්නේ වාරිමාර්ග ඛටයු කරන ලද උත්තරගේ කහවණු දෙකක් ද, මණිකාර සේවයේ යෙදුණු ඵුස්සගේ කහවණුවක් ද යනුවෙනි. මෙම ලිපියෙහි සඳහන් ඇතැම් අක්ෂර කාලයාගේ ඇවෑමෙන් ගෙවී ගොස් ඇති හෙයින් මෙයින් එන පණිවිඩය පිළිබඳ මෙය ඉක්මවා යන අදහසක් ගත නොහැකි ය. නුවර යුගයේ කලා ලක්ෂණවලින් පිරිපුන් සඳකඩ පහණක් ද මෙම ස්ථානයෙහි දැකගත හැකි වේ.

කෑගලු දිසාවේ රාජකීයත්වයක් උසුලන සියලු විහාරස්ථාන මෙන් ම මෙය ද වළගම්බා මහ රජුගේ ඉතිහාස කතාවට නෑකම් කියයි. බැලූ බැලූ අත, සිව් දිශාව ම එක සේ පෙනෙන බැලුම් ගලක් මෙහි පවතින බැවින් අතීත රජවරුන් තම සේනා සංවිධානය කිරීමට මෙම ස්ථානය යොදාගත් බව මොනවට පැහැදිලි වේ. සිරිලක් මෑණියන්ගේ ජන රංජනීය දේශයේ දැකුම්කළු වන ලැහැබක සිත්ගත් තැනක් ලෙස මෙම විහාරස්ථානය දුටුවන්ගේ ගමන් මහන්සිය පවා නිමේෂයකින් තුරන් කරවීමට තරම් ශක්තිවන්ත ය. මෙය භික්ෂුන් වහන්සේගේ ඇසුරට පත් වී ඇත්තේ 1837 ට පසු වකවානුවේ දී ය. මෙම විහාරස්ථානයෙහි පිහිටා තිබෙන ආරුක්කු ධර්මශාලාව මෙන්ම සිරිපතුල් රාජයාණන් වහන්සේ පිළිබඳ ද අවධානය යොමු කළ යුත්තේ එතුළින් ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය අතීත කතාකරුවා විසින් ඉතා සියුම් ව හා සංකීර්ණ ව ලොවට ඉදිරිපත්කොට ඇති නිසාවෙනි.

මෙම ප්‍රෞඪ භූමියෙහි වර්තමාන ආරක්ෂකවරයා වශයෙන් දැයට කෘතහස්ත සේවයක් සපයන අස්ගිරි පාර්ශවයේ බෙලිගල් කෝරළයෙහි සංඝනායක මාම්පිට ගල්ලෙන් රාජමහා විහාරයේ නායක යටිගල්ඔළුවේ විමලරතන හාමුදුරුවන් වහන්සේ මෙම සාඩම්බරණීය දායාදය පිළිබඳ පැවසූ වදන මෙලෙසින් එක් කරමු.

“මේ පන්සලට ඔය නම හැදෙන්නත් කාරණා කිහිපයක් ම බලපෑවයි කියල තමා ජනප්‍රවාදයේ තියෙන්නෙ. එකක් ඔය වළගම්බා රජතුමා සේනා සංවිධානය කරද්දි ඇමතිවරු පිරිසක් අමනාප වෙලා ගිය නිසා මාන්පිට වුනා කියලත් කියනවා. මේ ගල්පොත්තෙ හැඩය මාන් කුකුළකුගේ හැඩයට සමාන නිසාත් මේ නම හැදුණයි කියල කියනවා. ලංකාවේ කාසි භාවිතය පිළිබඳ වටිනා තොරතුරක් තමයි ඔය ලෙන් ලිපියෙත් සඳහන් වෙන්නෙ. කෙසේ හෝ අපට දැන් පැවරී තිබෙන්නේ මේ විහාරස්ථාන ඉදිරි පරම්රාවට බලාගන්න පරිස්සම් කර ගන්න එක තමයි...”

අවබෝධයකින් තොර වටිනාකමක් සුරක්ෂිත වෙතැයි සැක සහිත බැවින් මෙම අගනා ධනස්කන්ධය පිළිබඳ හැඟීමක් වර්තමාන හදවත් තුළ රෝපණය කරන්නට යෙදුණේ මෙය තවත් අනාගතයක් උදෙසා තිළිණ විය යුතු නිසාවෙනි.