Print this Article


කඳන්ගොඩ සද්ධානන්ද මහා නාහිමිපාණෝ

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක පදවියෙන් පිදුම් ලබන

කඳන්ගොඩ සද්ධානන්ද මහා නාහිමිපාණෝ

බළන්ගොඩ - කිරිඳිගල ඓතිහාසික ශ්‍රී ශෛලතලාරාම මහා විහාරය (කන්දෙ පන්සල), කුරුවිට - එක්නැළිගොඩ ශ්‍රී වික්‍රමසිංහ අභයතිලකරත්නාරාම පුරාණ මහා විහාරය, කඳන්ගොඩ ශ්‍රී සුවිසුද්ධාරාමය යන විහාරත්‍රයාධිපති, ශාස්ත්‍රවේදී ගෞරව, පශ්චාත් උපාධි, අධ්‍යාපන ඩිප්ලෝමා, පිරිවෙන් සහ රජයේ පාඨශාලා සම්මානිත ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය, පණ්ඩිත, මහෝපාධ්‍යාය කඳන්ගොඩ සද්ධානන්ද මාහිමිපාණන් වහන්සේට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක පදවිය හා සමඟ “අරියවංශපාල ගණාචරිය ප්‍රවචන විශාරද ශ්‍රී සුමනසාර” යන ගෞරව සම්මාන උපාධි සන්නස්පත්‍ර පුද කිරීමේ උතුම් පුණ්‍ය මහෝත්සවය පසුගිය ඔක්තෝබර් 07 වැනි දින උත්කර්ෂවත් ව බළන්ගොඩ දී පැවැත්වුණි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක මහෝපාධ්‍යාය, දර්ශනපති, කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එක්නැළිගොඩ විහාර පාර්ශ්වයේ “ධම්මජ්ජෝතිනී” කාරක සංඝ සභාව මධ්‍යයේ පැවිදි උතුමන් සහ උත්තම දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මැතිඳුන් ප්‍රධාන ගිහි ප්‍රභූන්ගේ සහභාගිත්වයෙන් බළන්ගොඩ - කිරිඳගල ඓතිහාසික ශ්‍රී ශෛලතලාරාම මහා විහාරස්ථානයේ දී මෙකී උතුම් පුණ්‍ය මහෝත්සවය සිදු කෙරිණි.

ශතාධික මහ සඟරුවන් විෂයයෙහි අෂ්ඨ පරිෂ්කාර සෙසු පිරිකර සහිත, සඟසතු මහා දානමය පින්කමක් සිදුකිරීම ද මෙදිනට සිදු කෙරිණි.

කඳන්ගොඩ සද්ධානන්ද මාහිමිපාණන් වහන්සේගේ මේ දක්වා ජීවන ගමන් මඟ පිළිබඳ ව විමසා බලන විට ඒ තුළින් සමාජයට ගත හැකි මහඟු ආදර්ශ, වටිනාකම් රාශියකි.

සබරගමු පළාතේ රත්නපුර දිසාවේ කුරුවිට කඳන්ගොඩ ග්‍රාමයේ “මිරිස්වත්ත” නිවසේ දී බළන්ගොඩ මුහන්දිරම්ලාගේ අප්පුහාමි සහ ජයලත් මුදියන්සේලාගේ රම්මැණිකේ යන දෙපළට දාව 1950 මැයි මස 03 වන දින ජන්ම ලාභය ලැබූ පින්වත් කුමරාට බලන්ගොඩ මුහන්දිරම්ලාගේ කරුණාසිංහ යන නම ලැබීය.

ගිහි කල ප්‍රාථමික අධ්‍යාපනය කුරුවිට කඳන්ගොඩ ශ්‍රී රණසිංහාරාම විහාරස්ථ ර/බුද්ධ ජයන්ති ප්‍රාථමික විදුහලෙන් 1955 සිට 1962 දක්වා ලබා ඇත. කුඩා කල සිට ම භික්ෂූන් වහන්සේ දැකීමටත්, ආගමික වත්පිළිවෙතෙහි යෙදීමටත් මහත් උනන්දුවක් දැක්වූ මෙම පින්වත් කුමරා සිය මෑණියන් හා අසල්වාසීන් සමඟ ගමේ විහාරස්ථානය වූ ශ්‍රී සුවිශුද්ධාරාමයට වස් කාලය තුළ දිනපතා යෑම ඉතා ආසාවෙන් සිදු කර ඇත.

සිය මව සමඟ විහාරස්ථානයට නිතර පැමිණෙන මෙම පින්වත් දරුවා පිළිබඳ විශේෂ අවධානයකින් බලා සිටි කඳන්ගොඩ ශ්‍රී සුවිශුද්ධාරාමාධිපති කොටාමුල්ලේ සද්ධාතිස්ස නාහිමියෝ දිනක් මේ කුමරාගේ නිවෙසට වැඩම කර කරුණාසිංහ දරුවා ශාසනයට පූජා කරන ලෙස මවුපියන්ගෙන් ඉල්ලීමක් කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස ආගමික පරිසරයට බලවත් සේ ඇලුම් කළ කරුණාසිංහ කුල කුමරුවා 1962 අපේ‍්‍රල් මස 28 වන දින කුරුවිට එක්නැළිගොඩ වික්‍රමසිංහ අභයතිලකරත්නාරාම (කටුතියඹරාවේ පන්සල) විහාරස්ථානයේ විහාරාධිපති සීතාවක සුමනසාර හිමියන් වෙත භාර දී ඇත. උන්වහන්සේගේ සෙවණේ පැවිදි බිමට පත්වන කුල කුමරකු විසින් සම්පූර්ණ කළ යුතු මූලික බණ දහම් ඉතා කෙටි කලක් තුළ අවසන් කර ඇත.

ඉතා දක්ෂ ලෙස වනපොත් කරමින් වත්පිළිවෙතෙහි අනලස්ව කටයුතු කළ මේ පින්වත් කුමරා 1962 ජුනි මස 04 වන දින කොටාමුල්ලේ සද්ධාතිස්ස නාහිමිගේ ශිෂ්‍යවරයකු ලෙස බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මාහිමියන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් කඳන්ගොඩ සද්ධානන්ද හිමි නමින් උතුම් වූ ප්‍රව්‍රජා භූමියට පත් විය.

පැවිදි භූමියට පත්ව වසර 02ක් වැනි කෙටි කාලයක් තුළ දී කුඩා සාමණේර ස්වාමීන් වහන්සේ නමක් විසින් උගත යුතු සියලු බණ දහම් සීතාවක සුමනසාර නාහිමියන්ගේ සෙවණෙහි මැනවින් හදාරා ඉන් අනතුරුව 1964 සිට 1969 දක්වා කාලය තුළ කොටාමුල්ලේ රතනජෝති නාහිිමියන් යටතේ අධ්‍යාපනය ලැබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වී ඇත. තවදුරටත් උසස් අධ්‍යාපන හැදෑරීමට කැමැත්තක් දැක්වූ අප කතානායකයාණෝ එක්නැළිගොඩ, අභයතිලකරත්නාරාමය, බලන්ගොඩ, තුඹගොඩ ශ්‍රී සාංඝික මහා සුධර්මාරාමය යන උභය විහාරාධිපති ගඟුල්විටියේ සුමංගල මහ නාහිමියන්ට සැල කළහ.

කුඩා සාමණේර ස්වාමීන් වහන්සේගේ අධ්‍යාපනය පිළිබඳ දැඩි උනන්දුවක් දැක්වූ ගඟුල්විටියේ ශී‍්‍ර සුමංගල මහා නාහිමියන් එම ඉල්ලීමට එකඟ ව එවකට ප්‍රසිද්ධ පානදුර ශ්‍රී සද්ධර්මාකර පිරිවෙන වෙත වැඩම කරවා රාජකීය පණ්ඩිත පින්වත්තේ දේවානන්ද මාහිමියන් වෙත භාර දෙන ලදි. එම පිරුවනින් 1973 වර්ෂයේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට පෙනී සිට ඇත. ඉන් ඉක්බිති ව තුඹගොඩ ශ්‍රී සාංඝික මහා සුධර්මාරාම විහාරස්ථානයට වැඩම කොට 1973 සිට 1976 දක්වා ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම විභාග සඳහා බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙනෙහි ඉගෙනුම ලබා ඇත. ඉන් අනතුරුව 1976 සිට 1981 දක්වා කොළඹ මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයට ඇතුළත් වී ප්‍රාචීන අවසාන විභාගයට සූදානම් වන අතරතුර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් “ශාස්ත්‍රවේදී උපාධිය” ලබා ගෙන ඇත.

1971 ජුනි 05 දින අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් හා ගඟුල්විටිටේ ශ්‍රී සුමංගල මහා නාහිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් තුඹගොඩ ශ්‍රී සාංඝික මහා සුධර්මාරාම විහාරස්ථ බද්ධ සීමා මාලකයේ දී උතුම් වූ අධිශීලය සංඛ්‍යාත උපසම්පදා භූමියට පත්විය.

උපාධිය සම්පූර්ණ වූ පසු කොළඹ දෙමටගොඩ සිරි විසුද්ධාරාම මූලික පිරිවෙනට ඇතුළත් වී එහි ආචාර්යවරයකු වශයෙන් කටයුතු කර ඇත. පිරිවෙන් අධ්‍යාපන සේවයට සමුදී 1984 වර්ෂයේ උපාධිධාරි උප ගුරුවරයකු වශයෙන් දුෂ්කර ගම්මානයක් වූ අම්පාර සුහදගම විදුහලේ මාස 06ක් පමණ අති දුෂ්කර සේවයෙහි යෙදී ඇත. දැඩි දුෂ්කරතාවයෙන් යුත් එම විදුහලට සමු දී අම්පාර වීරගොඩ විද්‍යාලයට 1985 ජනවාරි මස ස්ථාන මාරුවක් ලැබුණි. ඉන්පසු 1989 වර්ෂය දක්වා එහි සේවය කර ඇත. වසර 05ක දුෂ්කර සේවය නිම කිරීමෙන් අනතුරුව අප නාහිමියන් 2010 වර්ෂයේ විශ්‍රාම යන තෙක් ම දක්ෂ ගුරුවරයකු වශයෙන් ර/බළ/ විද්‍යාලෝක විද්‍යාලයෙහි (කනිෂ්ඨ විද්‍යාලය) සේවය කර තිබේ.

අම්පාර ප්‍රදේශයේ අධ්‍යාපන සේවාව සිදු කරමින් සිටින අතරතුර ගඟුල්විටියේ ශ්‍රී සුමංගල මහ නාහිමියන්ගේ අනුශාසනා, ආශීර්වාදය ලබා ගනිමින් 1988 මැයි මස 26 වැනි දින ආරම්භ කරන්නට යෙදුන බළන්ගොඩ කිරිඳිගල ශ්‍රී ශෛලතලාරාම මහ පුදබිම නිර්මාණය කරමින් සිදුකළ ශාසනික මෙහෙවර සියලු ජනී ජනයාගේ ප්‍රශංසාත්මක පූජෝපහාරය අප මහ නාහිමියන්ට හිමි වන කරුණකි.

අතිදුෂ්කර වූ, අනේක විධ දුක් ගැහැට විඳිමින් මුඩු බිමක් ව පැවැති කිරිඳිගල කඳු බිම වැඩබිමක් කරමින් පූජනීය මහා පුදබිමක් කර සසුනට පුද දුන් මේ මහා යතිවරයාණන් වහන්සේට අපි ගෞරව බුහුමන් පුද කරමු.

අව් – වැසි, සුළං මැසි මදුරු ගිරිදුර්ග මෙන් ම පානීය ජල බිඳුවක පහසක් හෝ නොමැති අනේක බාධක, දුක් ගැහැට බාධක හමුවේ බළන්ගොඩ - කිරිඳිගල ඓතිහාසික ශ්‍රී ශෛලතලාරාම මහා විහාරස්ථානයේ ( කන්දෙ පන්සලේ) මහා කළුගල් ශිඛරය මෙන් අභියෝග ජය ගැනීමට නොසැලී සිටීමට මෙන් ම, නොනැවතී පෙරට යාමට ලද ශක්තිය සියල්ලන් මවිත කරවන සුලු ය.

විශ්මිත මහා බුදුරුව, ආකාශ චෛත්‍යය, අද්විතීය විසල් බෝධිඝරය, අර්ධ භූගත ධර්ම මන්දිරය, කැටයම් - සිතුවම් උද්දීපන ත්‍රිමාණ කලා කෘති,

පුෂ්පාරාම - ඵලාරාමයන්ගෙන් හෙබි ගෙඋයන්, ඔසු උයන්, පොකුණූ නෙත් සිත් එකවර පැහැර වශීකෘත කර දැහැන්ගත කරවන්නේ ම ය.

ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ වැනි මහා සත්පුරුෂ උත්තමයන්ගේ අනල්ප වූ ද, උදාර වූ ද, මාර්ගෝපදේශයන්, සේවාවන් වඩ වඩාත් මුළු මහත් ජාතියට ම දායාද කිරීමට හැකි වාසනාවට උරුමකම් තෙරුවන් සරණින් ලැබ, නිදුක් නීරෝගි ව චිරාත් කාලයක් මෙවන් උදාර ජාතික, ආගමික, ශාසනික, අධ්‍යාපනික සහ සමාජයීය සේවාවෙහි යෙදෙන්ට හැකි වේවා'යි මෙත්සිත් පෙරදැරි ව ඉමහත් ගරු බහුමානයෙන් යුතුව ශුභාශිංසනය කරම්හ.