Print this Article


 සසුනඹරට මිණිපහනක් වූබෝපිටියේ ධම්මිස්සර නාහිමියෝ

 සසුනඹරට මිණිපහනක් වූබෝපිටියේ ධම්මිස්සර නාහිමියෝ

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර සඟ පරපුරෙන් පැවත එන, ශාසනය සෝබමාන කළ දිවයිනේ බස්නාහිර පළාත කේන්ද්‍ර‍්‍ර කොට ගනිමින් විහාරස්ථාන 33ක ආදී කතෘන් වහන්සේගේ ආරම්භය සනිටුහන් කරන්නේ වාද්දුවේ ශ්‍රී ධම්මානන්ද නාහිමිපාණන් විසිනි.

මේ මහා යතිවරයාණන් වහන්සේගෙන් ඇරඹි වාද්දුව මහා සඟ පරපුරේ දීප්තිමත් යතිවරයාණන් වහන්සේ නමක් ලෙසින් වාද්දුව, මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරය, වාද්දුව ශ්‍රී සමුද්‍රාරාමය සහ රද්දෙගොඩ ශ්‍රී සුධර්මාරාමය ඇතුළු පංච මහා විහාරාධිපති කළුතර මහ දිශාවේ ප්‍රධාන සංඝනායක අපගේ ගුරුදේව උත්තම සද්ධර්ම කීර්ති ශ්‍රී වාගීෂ්වර ධම්මානන්ද බෝපිටියේ ධම්මිස්සර නාහිමියන්ගේ 78 වැනි ජන්ම දිනය වෙනුවෙන් මේ ලිපිය සැකසිණි.

කුරුවිට විදානලාගේ සුදේරිස් අප්පුහාමි සහ කේ.ඩී. රොසලින් නෝනා මාතාව මව්පියන් ය.

ගමේ පාසලේ සිප් සතර හැදෑරූ සම කාලීනයන් සමඟ කෙළි දෙලෙන් වැඩුණු මේ දරුවා තුළ අන් අය තුළ නොවූ සුවිශේෂි ශික්ෂාකාමීත්වයක් හා මනා ප්‍රතාපයක් වැඩෙමින් දිදුලන්නට විය. එහි ප්‍රතිඵලය වූයේ ක්‍රි.ව. 1961 වසරේ දී මේ කුඩා දරුවා සසුන්ගත වීම ය. එසේ සසුන්ගත මේ හිමියෝ වාද්දුව, මොල්ලිගොඩ දෙගම්බද විහාරයට සම්බන්ධ වී එහි වැඩ විසූ මහා තෙරුන්ගෙන් ධර්ම ඥානය හා සඟ විනය හොඳින් පුරුදු පුහුණු කළහ. මතුගම නාරවිල අභයරාජ පිරිවෙනත් පානදුර පින්වත්තේ සද්ධර්මාලංකාර පිරිවෙනත් මේ පින්බර හිමිනමට ධර්ම ඥානය හා සඟ විනය හැදෑරීමට මහා තෝතැන්නක් බඳු විය.

බෝපිටියේ ධම්මිස්සර නමින් පැවිදි බිමට පත් නා හිමියන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට මංපෙත් විවර කළේ පානදුර පින්වත්තේ සද්ධර්මාලංකාර පිරිවෙනයි. එසේ ඇරඹූ දිවි ගමන තුළින් අද අපේ ධම්මිස්සර නායක හාමුදුරුවෝ සසුන් කෙත බබළන මහා මිණිපහනක් බවට පත්ව සිටිති.

අප නායක හාමුදුරුවන් වහන්සේ අතින් සිදුවන සහ සිදුවෙමින් පවතින ආගමික, ශාසනික, සාමාජයීය, අධ්‍යාපනික සේවාව නිසා ම අප ගුරු හාමුදුරුවන් වහන්සේ කළුතර දිශාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ සේක.

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ විහාරස්ථානයක විහාරාධිපති ඇතුළු පංච මහා විහාරාධීෂ්වර ධුරය හොබවමින් සිදු කරන ශාසනික, සාමාජයීය, සංස්කෘතික මෙහෙවරට අමතර ව ජාතික, අධ්‍යාපනික, ආගමික කාර්යයන්වල දී මෙන් ම ප්‍රදේශයේ අවමංගල්‍යාධාර, තරුණ, වැඩිහිටි සමිතිවල අනුශාසකත්වය සහ නායකයත්වය හොබවමින් සමාජයීය මෙහෙවරක් ඉටුකරන අප ගුරු හාමුදුරුවන් වහන්සේ දෙස් විදෙස් ධර්ම ප්‍රචාර කටයුතුවල ද නිරත වීම ශාසනාලයෙන් අගය කළ යුතු කරුණකි.

සිරි මහ මිහිඳු පිරිවෙන ආරම්භ කරමින් පැවිදි ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේ සිය නමක් ඉක්මවමින් ශාසනික කටයුතුවලට යොමු කළ උන්වහන්සේ දරුවන් යහමඟට ගැනීම සඳහා දහම් පාසල් අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට ද කටයුතු කිරීම ගිහි පැවිදි කාගෙත් අවධානයට යොමුවුණු තවත් කරුණකි.

අප නාහිමියන්ගේ ගුරුහරුකම් අවවාද අනුශාසනාවලින් පෝෂණය වුණු බොහෝ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ දිවයිනේ මෙන්ම විදේශයන්හි ද වැඩ වසමින් සිය ගුරු දේවයන්ගේ අභිලාශයන් මුදුන් පත් කරමින් ශාසනික කටයුතුවල නියැළී සිටීම ඉතාම පැසසුම් කටයුතු ය.

ඒ අතරින් වාද්දුව සිරි මහා මිහිඳු පරිවෙණාධිපති අගලවත්තේ අරියවස්සන හිමි, වත්තේගම චන්දිම හිමි, මොරමල් පොකුණේ ධම්මාලංකාර හිමි, ගම්මන විජිතධම්ම හිමි සහ කතරගම රතනවංශ හිමියන් තම කාර්යශීලිභාවය හා බහුශ්‍රැත බව තුළින් ශාසනය බබළවන්නේ අප ගුරු හාමුදුරුවන්ගේ ධෛර්ය සම්පන්නභාවය වීරවන්ත බව, නොපසුබට උත්සාහය ආදි වශයෙන් මනාව පෝෂණය වූ පුරුෂාර්ථයන්ගේ ප්‍රතිඵලයක් වශයෙනි.

කියන දේ කරන්නටත්, කරන දේ කියන්නටත් කිසි විටෙක නොපසුබට වූ අපේ ගුරු හාමුදුරුවන් වහන්සේ අති දක්ෂ කළමනාකරුවෙකි. එම අතීත පුරුෂාර්ථය මනාව පිළිබිඹු කරමින් සිය ගුරුදේවයන් වහන්සේගේ ආශීර්වාද මැද තමන්ට පැවරුණු විහාරාධීෂ්වර ධුර තුළින් අති අංග සම්පූර්ණ විහාරස්ථානයන් ලෙස තමන්ගේ පාලන තන්ත්‍රය තුළින් පෙර නොවූ ස්වර්ණමය යුගයක් ඒ පංච මහා විහාරස්ථානයන්ට ලබා දී ඇත.

බුදුදහම ආරක්ෂා කරමින්, සඟ සසුන පවත්වා ගෙන යාම සඳහා අප ගුරු දේව උත්තමයාණන් වහන්සේ සිදු කරන ජාතික, ශාසනික, අධ්‍යාපනික, සංස්කෘතික මෙහෙවර සහ කැපකිරීම කර ගෙන යාමට ධෛර්යය, ශක්තිය, වාසනාව අවකාශය තුළින් නිදුක් සුවය, නිරෝගිභාවය, දීර්ඝායුෂ සම්පත්තිය බුද්ධාභිරත්නත්‍රයේ ආනුභාවය ලැබේවායි! ප්‍රාර්ථනා කරමි.