Print this Article


උතුම් නිවනින් නිවී සැනසෙන පිළිවෙත් පුහුණු කරමු

උතුම් නිවනින් නිවී සැනසෙන පිළිවෙත් පුහුණු කරමු

ලොව බුදුරජාණන් වහන්සේ නමක් පහළවීමට පෙර සිට ම මිනිසාට තිබූ දැඩි අවශ්‍යතාවක් වූයේ, තමාට මුහුණපෑමට සිදුවන අවාසිදායක තත්ත්වයන් හැකිතාක් අවම කර, කයටත් මනසටත් සුවයක්, වින්දනයක් සහිත සැපවත් ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය මාර්ගය සොයා ගැනීම යි.

විවිධාකාර ක්‍රම ක්‍රියාත්මක කරමින්, අත්හදා බලමින්, සැමදා සතුටින්, සහනයෙන්, වාසය කළ හැකි මඟක් සොයා ගෙන ගිය අතීත මිනිසා, ජීවිතයේ සැප අඩු වීමෙහි දෝෂය නොයෙක් සාධකවලට පැවරූහ.

විද්‍යාත්මක ඤාණය මුහුකුරා ගොස් නොතිබීම, විවිධ කටයුතු සඳහා නවීන තාක්ෂණය භාවිත නොකිරීම, නව තාක්ෂණික ක්‍රම ඉදිරිපත් වීමේ ප්‍රවණතාව අවමවීම ආදී සාධක මිනිසාගේ දුක් වැඩි වීමට හේතූන් ලෙස අතීතයේ සිට මේ දක්වා ම විද්වතුන් විසින් හඳුන්වා දී ඇත.

සාමාන්‍ය මනුෂ්‍යයකු හට කිසි ලෙසකින්වත් අනාවරණය කළ නොහැකි ලොව සත්‍ය ක්‍රියාකාරිත්වය හෙළි කරන සුවිශේෂී දර්ශනයක් වන බුදුදහම, ඉහත ආකාරයේ විද්‍යාත්මක හෝ තාක්ෂණික හෝ දියුණුවක් පිළිබඳ ව දක්වන මතය කුමක් ද?

බුදුරජාණන් වහන්සේ නමක් එවැනි විද්‍යාත්මක දියුණුවක් අවශ්‍ය යැයි එය විශේෂයෙන් පසසන්නේ ද නැත. එසේම, විද්‍යාත්මක දියුණුව හානිකර යැයි එය ප්‍රතික්ෂේප කරන්නේ ද නැත. උන්වහන්සේ එම පිළිතුර ලබා දෙන්නේ බුදුගුණය අවබෝධ කර ගත්, බුද්ධ වචනයෙහි සත්‍යවාදිත්වය අවබෝධ කර ගත්, ධර්මය දැන ගැනීමේ අවශ්‍යතාවය පවතින අයකුට පමණි.

අප ගෞතම බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයෙහි පමණක් ම සිටි, එම පිළිතුර දැන ගැනීමේ අවශ්‍යතාවයෙන් පිපාසිත වූ, පුණ්‍යවන්ත බුද්ධ ශ්‍රාවක පිරිස අප්‍රමාණ වූ අතර, ඔවුහු එම පිළිතුර මහත් ගෞරවයෙන් පිළිගෙන, නිර්වාණාවබෝධය සඳහා කළ යුතු පිළිවෙත් කොටස සම්පූර්ණ කර, උතුම් මාර්ගඵලයන් සාක්ෂාත් කර ගත්හ.

එසේ ම, මෙම පිළිතුර පිළිගැනීමට අකැමැති වූ, බුද්ධ වචනය පිළිගැනීමට අකැමැති වූ, පෙර ආත්මභාවයන්හි දී ධර්මය ප්‍රගුණ කර නොසිටි බැවින් ම ධර්ම ඤාණය මුහුකුරා ගොස් නොතිබූ පිරිසක් ද විය. ඔවුන් වෙත එළඹ ධර්මය දේශනා කළහොත් බුද්ධ වචනයට දෝෂාරෝපණය කර, එය ප්‍රතික්ෂේප කර, මහා පාපයක් සිදු කර ගන්නා බව තේරුම්ගත් බුදුරජාණන් වහන්සේ, අප්‍රමාණ අනුකම්පාව පෙරදැරිව ම, ඔවුන් එම පාපයට හසුනොවීම පිණිස, “කවර හෝ කලෙක මොවුහු සම්බුද්ධ දේශිතය අවබෝධ කර ගනිති”යි ධර්ම සංවේගය පහළ කර, ඔවුනට ධර්මය දේශනා කිරීමෙන් වැළකී සිටියහ.

සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ චරිතය පිළිබඳ ව නුවණින් විමසා දැනගත යුතු ය. බුදුරජාණන් වහන්සේ නමකගේ ක්‍රියාකලාපය කෙසේද? උන්වහන්සේ ධර්මය අවබෝධ කර ගනුයේ කුමන පදනමක් මත පිහිටමින් ද? වෙනත් කිසිවකුටත් අවබෝධ කර ගත නොහැකි ධර්මයක් බුදුරජාණන් වහන්සේ නමකට පමණක් අවබෝධ කර ගත හැකි වන්නේ කෙසේද? යනාදී නොයෙක් සැක සහිතභාවයන් පළමු ව විසඳාගත යුතු ය. ශ්‍රද්ධාවෙන් හා විමසුම් නුවණින්, ත්‍රිපිටකය පරිශීලනයෙන් ම බුද්ධ චරිතය පිළිබඳ බොහෝ කරුණු දැන ගැනීමට හැකි ය. එලෙස, ඔබ, බුදුරජාණන් වහන්සේ නමකගේ වගකීම් සහගත ස්වභාවය අවබෝධ කර නොගන්නා තෙක්, උන්වහන්සේ විසින් දේශනා කරනු ලබන ධර්මය ද පිළිගැනීමට පසුබට වන්නේ ය.

කොපමණ කලක් ගතකර වුව ද, බුදුරජාණන් වහන්සේ නමකගේත්, බුද්ධ දේශිතයේත් සත්‍යවාදි බව අවබෝධ කරගත් අයකුට ඉහත පිළිතුර ලබාදීම සුදුසු ය. එසේ නම්, මිනිස් සංහතියේ දුක නැති කිරීමට’ය කියා කලින් කලට නව ක්‍රමවේද ඉදිරිපත් වීම පිළිබඳ ව උන්වහන්සේ ධර්මයට අනුකූල ව සපයන පිළිතුර වන්නේ, එම සියලු ක්‍රම මඟින් එක් ආකාරයක දුක් සමූහයක් නැති වී වෙනත් ආකාරයක දුක් සමූහයක් නිර්මාණය වනු මිස, සාමාන්‍ය ලෝකයා බලාපොරොත්තු වන අයුරින්, පැවති දුක් සම්පූර්ණයෙන් අහෝසිවී යාමක් සිදු නොවන බවයි.

එසේ නම්, නව විද්‍යාත්මක නිමැවුම්වලින් ඵලක් නොමැති ද? එය එසේ නොවේ. නව දැනුම, ක්‍රම ශිල්ප සොයා ගැනීම අතීතයේ සිට ම මිනිසා විසින් සිදු කළ දෙයකි. එය ලෝක ස්වභාවය යි. එහි වරදක් හෝ ධර්මයට පටහැනි වීමක් නැත.

බුදුරජාණන් වහන්සේ “ලෞකික දියුණුව“ ප්‍රතික්ෂේප නොකරන නමුත්, ඒ පිළිබඳ ව එතරම් වර්ණනා කිරීමක් නො කරනුයේ, “ලෞකික දියුණුවකට වඩා මිනිසාගේ ලෝකෝත්තර දියුණුවෙහි වටිනාකම දන්නා හෙයිනි. දෙතිස් කතාවන්හි දී “දියුණුව“ පිළිබඳ කතාවන්ගෙන් වළකින ලෙස උන්වහන්සේ උපදෙස් දී ඇත්තේ නිර්වාණගාමී ප්‍රතිපදාවට යොමු කිරීම පිණිස මිස, පුද්ගලයාගේ ලෞකික දියුණුව පිළිකුල් කරන නිසා නොවේ. බෝධිසත්ත්වයන් වහන්සේ නමක් අප්‍රමාණ කාලයක් මුළුල්ලෙහි, ජීවිතය ම වුව ද පුදා, පාරමී ධර්ම ප්‍රගුණ කර සම්මා සම්බුද්ධත්වයට පත්වනුයේ, වෙනත් කිසිවකුට අවබෝධ කර ගත නොහැකි ධර්මතාවක් වන, ලොව සියල්ලෙහි ඇති දුක් සහිත ස්වභාවය පෙන්වා දීමට මිස, ඕනෑම අයකුට පහසුවෙන් සොයාගත හැකි ලෞකික දියුණුවට මඟ කියාදීමක් පිණිස නොවේ. කරුණක් පැමිණි විටදී ලෞකික දියුණුවට අවශ්‍ය උපදේශ සපයන නමුත්, උන්වහන්සේගේ මූලික අරමුණ එය නොවේ. එබැවින් මහා කරුණාවක් ඇති, සියල්ලන්ගේ ම ධාර්මික සැපතට කැමැති වන බුදුරජාණන් වහන්සේ, පුද්ගලයකු ධර්මානුකූල ව අත්කර ගන්නා ලෞකික දියුණුව අනුමත කරන නමුත්, සියලු දුක් නිමා කිරීමට මිනිසා යොමු කිරීම පිණිස, ලෞකික දියුණුවට වඩා ලෝකොත්තර දියුණුව ම උසස් යැයි වදාරන සේක.

කෙසේවුවත්, ලබාගත් භවයක දී තමා වැඩි වශයෙන් උත්සාහවත් වනුයේ කුමන ආකාරයේ දියුණුවක් පිණිස ද යන්න ඔබේ තීරණයකි. ධර්මාවබෝධය සඳහා පමණක් ම තම කාලය නොයෙදුව ද, “තවදුරටත් සසරට ඇලීමෙන් ඵලක් නැතැ’යි යන්න අවබෝධ කර ගන්නා තෙක් කාලය, නවීන හෝ සාම්ප්‍රදායික බව විවේචනය කරමින් නොසිට, අවශ්‍යතාවයට ගැළපෙන සුදුසු ක්‍රම අනුගමනය කරමින්, තම කය හා මනස අනවශ්‍ය පීඩාවන්ට පත් නොකර, උපද්‍රවවලින් මිදෙමින්, කුසල් දහම්වල ද අත්නොහැර යෙදෙමින්, අර්ථවත් ව ගත කළ යුතු ය. සසරෙහි සත්‍ය ස්වභාවය අවබෝධ කරගත් දිනෙක, ඔබ ලෞකික දියුණුවෙහි සුවය තාවකාලික බව නුවණින් අවබෝධ කර, නිර්වාණාවබෝධය සඳහා කළ යුතු පිළිවෙත් පුහුණු කර, සදාකාලික සුවයෙන් ම සැනසෙනු ඇත.