Print this Article


හෘදය සාක්ෂියට වංචනිකයකු නොවන්න

හෘදය සාක්ෂියට වංචනිකයකු නොවන්න

අද වෙනදාටත් වඩා අවංක බව ගැන කතා කරන කාලයක් වෙලා තියෙනවා. ඒකට හේතුවක් තමා අපේ රටේ නායකයන් මේ දක්වා ගෙන ගිය ව්‍යාජ කතා, සිතිවිලි හා ක්‍රියාකාරකම්. මේ අවංක බව කියන්නේ තමන්ගේ හෘදය සාක්ෂියට එකඟ ව ක්‍රියා කිරීම යි. තම හදවතින් තමන් කරන, කියන, සිතන දේ වැරැදි බව දැන ගෙන ම මුදල්, තනතුරු, ලාභ ප්‍රයෝජනවලට ගිජු ව ක්‍රියා කිරීම අවංකකමට ප්‍රතිවිරුද්ධ වැඩපිළිවෙළයි.

ධම්මපදයෙහි ම එනවා මෙහෙම ගාථාවක අවසාන කොටසක්. අත්තානං දමයන්ති පණ්ඩිතා කියලා. මෙයින් කියැවෙන්නේ නුවණැති උදවිය ආත්මය දමනය කර ගන්නවා. එය උපමා මඟින් පෙන්වා දෙනවා. ගොවිතැනෙහි යෙදී ඉන්න උදවියට අවශ්‍ය කරන ජලය ලබා ගැනීමේ දී අවශ්‍ය වගාබිමට ක්‍රමානුකුල ව ඇළ වේලි සකස් කර ගෙන, ඇදකුද ඇති තැන් නිවැරැදි ව සකස් කර අවශ්‍ය තැනට දුර තිබෙන ජලය ගෙන යනවා.

ඒ වගේම තමා ලී වඩුවෝ. ඇදකුද තිබෙන විවිධ මාදිලියේ දැව තමන්ට අවශ්‍ය විදියට කපලා, කොටලා, යතු ගාලා, ඇද ඇරලා, අවශ්‍ය භාණ්ඩය නිර්මාණය කරලා, වෙළඳපොළට යවලා, මිල කරලා ලොකු ආදායමක් ලබා ගෙන ජීවිතය සැපවත් කර ගන්නවා. ඒ වගේ ම තමා නුවණ තියෙන උදවිය. මේ ඇදකුදවලින් (කෙලෙස්වලින්) පිරිලා තියෙන සිතේ අහිතකර කෙලෙස් යටපත් කර, මනාව සකස් කරගෙන විවිධ ජයග්‍රහණ උදා කර ගන්නවා. විභාගවලින් සමත් වෙනවා. ශිෂ්‍යත්ව ලබා විදෙස්ගත වෙලා තවත් ඉගෙනගෙන උසස් තත්ත්වයන්ට පත් වෙනවා. විවිධ නිර්මාණ කරලා, ලොවක් මවිත කරලා ලෝකයේ කීර්තිමත් වෙනවා. ඉතින් මේ සියල්ල ම සිතේ ජයග්‍රහණ කියලා කියන්නට පුළුවන්.

බුදුහාමුදුරුවෝ මේ සිත කියලා ධර්මයෙහි හඳුන්වා ඇත්තේ අත්ත හෙවත් ආත්මය යි. ඉතින් මේ ආත්මය නිවැරැදි කර ගැනීමේ දී වඩාත් වැදගත් වන්නේ තමන්ගේ උදාර අරමුණට යාමට තිබෙන බාධක ඉවත් කර ගැනීමේ අවශ්‍යතාවයි. මේ කියන ආත්මය දමනය කර ගන්නවා කියන එකේ අදහස ඉහළ ම පෞරුෂයක් ගොඩනඟා ගන්නවා කියන එක යි. එවැනි පෞරුෂයක් ගොඩනඟා ගත් උත්තමයා තමා අපේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ චරිතයෙහි අභ්‍යන්තර හා බාහිර වශයෙන් පැතිකඩ දෙකක් පැවතියේ නැහැ. එයට ප්‍රධාන හේතුව තමා කෙලෙස් සපුරා ක්ෂය කිරිම. ඉතින් බෞද්ධ අපි ඒ තත්ත්වයට පත්වෙලා නොසිටියත් බෞද්ධයා යන්නෙන් අර්ථවත් කරන්නේ කෙලෙස් සහිත බවෙන් දුරු වෙන්නට උත්සාහවත් වෙන පුද්ගලයා කියන එකයි.

බෞද්ධ අපි ගිහි ජීවිත ගත කළත්, පැවිදි ජීවිත ගත කළත්, මේ කියන අවංක බව පුරුදු පුහුණු කර ගැනීම අත්‍යවශ්‍යයි. එය අතිශය දුෂ්කර වන්නේ මේ කෙලෙස් හැම විට ම ඒ කාර්යය සඵල කර ගැනුමට බාධා වන නිසයි.

දසධම්ම සූත්‍රය දේශනා කර තිබෙන්නේ භික්ෂූන් වහන්සේගේ මනා පැවැත්ම උදෙසා යි. එසේ වුණත් ගිහි බෞද්ධයාට ද ඒ අර්ථය ම වැදගත් වෙනවා. මෙම සූත්‍රයේ කරුණු 10ක් කියැවෙනවා. එහි දී කියැවෙන සතරවැනි කරුණ තමා තමන්ගේ පැවැත්ම තුළින් ඇති වූ සිතිවිලි ධාරාවන් දිහා බලන කොට ඒ ලාමක පහත් සිතිවිලි හෝ රහසේ සිදු කළ ක්‍රියාකාරකම් තමන්ට ම යම් වෙලාවක උපවාද, දෝෂාරෝපණ කරනවා නම්, ඒ දෙබිඩි පැවැත්මෙන් තමා වෙන් වී ඇතුළ, පිටත දෙක ම පිරිසුදු තත්ත්වයෙන් පවත්වා ගැනීමට ක්‍රියා කළ යුතු බව. මේ කරුණ බුදුරජාණන් වහන්සේ විසින් පුද්ගල පෞරුෂය නිවැරැදි කර ගැනුමට දේශනා කළ කරණීයමෙත්ත සූත්‍රයෙන් ද පැහැදිලි ව පෙන්වා දෙනවා.

එයින් කියැවෙන්නේ සැබෑ බෞද්ධ පෞරුෂයක් ගොඩනඟා ගෙන, තමන්ගේ ඉලක්කය සපුරා ගැනීමට ක්‍රියා කරන තැනැත්තා හැම විට ම ව්‍යාජ ගති නැති, කපටි මායා ගති නැති, තමන්ට ම තමන් විවෘත සිතක් ඇති ව ජීවිතය ගොඩනඟා ගත යුතු බව වගේ ම තම දිවි පැවැත්ම ඇතිතාක් එම පෞරුෂ ලක්ෂණය දියුණු කර ගත යුතු බවයි.

මේ කරුණ උජු හා සූජු යන වචන දෙකෙන් පෙන්වා දෙනවා.

මේ හැම විස්තරයකින් ම පෙන්වා දී ඇති කරුණ වන්නේ සාර්ථක ජීවිතයක් ගත කරන්නට නම් පුද්ගලයා අවංක විය යුතු බවයි. ඇත්තෙන් ම රටක් වුව ද, ජාතියක් වුව ද අගාධයට යන්නේ මේ වංක ගති ඇති ව, කපටි මායා වචනවලින් අනිත් අය සතුටු කරමින්, අවංක බවෙන් දුරස්ථ වීම නිස යි.

සැබැවින් ම අංග සම්පුර්ණ, සෘජු, වඩාත් සෘජු අයෙක් වන්නේ කෙලෙස් සපුරා බැහැර කළ තත්වයක් උඩ ය. එහෙත් ඊට මෙහා එහි සාර්ථක පියවරකට පත්වීම තුළින් වඩාත් සාර්ථක නායකත්වයක් ඇති ව පුද්ගලයාට ක්‍රියා කළ හැකි ය.

ඡන්ද, දෝෂ, භය, මෝහ යන සතර අගතියට පත් නො වී මධ්‍යස්ථ මත ඇති නායකයා හැම විට ම ලොව දිනන බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා.

දසරාජ ධර්මය අපේ බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා දී ඇති බෞද්ධ රාජ්‍ය පාලනය පිළිබඳ විශිෂ්ට ඉගැන්වීමක් වෙනවා. එම කරුණු 10 අතර ඉගැන්වෙන එක කරුණක් තමා අජ්ජවං යන්නෙන් පෙන්වා දෙනු ලැබ තිබෙන්නේ. එයින් කියැවෙන්නේ හැම විට ම රාජ්‍ය නායකයා තම හෘදය සාක්ෂියට වංචනිකයෙක් නොවිය යුතු බවයි. එහෙම නැති නම් මුලින් කී දසධම්ම සූත්‍රයෙන් පෙන්වා දී අති පරිදි තමන්ගේ ආත්මය(සිත) තමන්ට නොවළහා චෝදනා නොකරන තත්ත්වයක පැවතිය යුතු බවයි. තමන් අනුන්ට පෙන්වන පැවැත්ම ම තමන්ගේ ආධ්‍යාත්මය තුළ පැවතිය යුතු ය, කියන මේ උදාර සංකල්පනාවයි මෙයින් ප්‍රකාශ වන්නේ.