Print this Article


උගත් පාඩම්

උගත් පාඩම්

එක්තරා ධනවත් මිනිසකුට පුතුන් දෙදෙනකු විය. මිය යාමට පෙර ඔහු සිය පුතුන් දෙදෙනා ළඟට කඳවා වැඩිමහල් පුතාට සිය සියලු ධනයත්, තමා වඩාත් ඇලුම් කළ බාල පුතුට මුද්දකුත් තෑගි කළේ ය. ඉන් සුළු මොහොතකට පසු පියා මිය ගියේ ය.

එබැවින් මෙම වෙනසට හේතුව කුමක්දැයි අසන්නට දරුවනට ඉඩක් නොලැබුණි. බාල පුතා තාත්තා තමන්ට මෙලෙස වෙනස් අයුරකට සලකන්නට විශේෂ හේතුවක් තිබිය හැකි බව තදින් ම විශ්වාස කළේ ය. ඔහු තමාට ලැබුන මුද්ද හොඳින් පිරික්සා බැලුවේ ය. එවිට එහි යමක් සටහන් ව තිබෙන බව දැක ගත හැකි විය. එලෙස සටහන් ව තිබුණේ

“මෙයත් වෙනස් වෙයි” යන වදන ය.

තාත්තාට සිය සමස්ත ධනයට ම වඩා මෙම වැකිය වටිනා බව ඔහු ඉක්මනින් ම හඳුනා ගත්තේ ය. ඒ මොහොතේ පටන් ඔහු සෑම විටක ම මෙම වැකිය මුමුනන්නටත්, ඒ අනුව නිරන්තර සිතන්නත් පුරුදු විය. නරකක් සිදුවන විටත්, හොඳක් සිදුවන විටත් ඔහුගේ මුවින් පිටවුනේත්, සිහියට ආවෙත් “මෙයත් වෙනස් වෙයි” යන්නයි. මෙහි ප්‍රතිපලයක් ලෙස වැඩ කටයුතු හරියන විට, ලාභ ලබන විට, කිත් පැසසුම් ලබන විට, සැප සම්පත් ලැබෙන විට මෙම මන්ත්‍රය ජප කිරීම නිසා ඔහු එයින් දරා ගත නොහැකි ලෙසට උද්දාමයට පත් නොවුණි.

නමුත් ඔහුට ඉන් වඩාත් ම ප්‍රයෝජනය ලැබුනේ කටයුතු හරි නොයන විටයි. පාඩු වෙයි කියා සිතන්නට පුළුවන් වීමෙන් එම ගැටලුකාරි තත්ව හමුවේ දැඩි කම්පාවට පත් නොවී ඉක්මනින් කළ යුතු දේ කරන්නට ඔහුට හැකි විය.

මෙය කෙතරම් ප්‍රබල පනිවුඩයක් ද? අප දැරිය නොහැකි ලෙස ආඩම්බර වන්නේත්, දැඩි ව කම්පාවට පත්වන්නේත් තිබෙන තත්ත්වය ද එලෙස ම පවතියි කියා සිතන නිසා නොවේද?

මේ කතාව මගේ ජීවිතයේ පරිවර්තනයක් කරන්නට සමත් වුණි. බොහෝ විට අයහපත, කරදර හමුවේ, “මෙයත් වෙනස් වෙයි” කියා සිතූ සෑම විටෙක ම එම තත්ත්වයට මුහුණ දෙන්නට අවශ්‍ය නුවණ සහ දිරිය ලබා ගන්නට මේ අදහස බොහෝ උපකාරි විය.

සතුරන් නැතිකම

ආඝාත පටිවිනය සූත්‍රය ඇසුරෙන් හොරණ වජිරඥාන නායක හාමුදුරුවන් කළ දෙසුමකිනුයි මෙම පාඩම මම ඉගෙන ගත්තේ. ඉතා තරුණ වයසේ දී මෙම කරුණ ඉගෙන ගන්නට ලැබීම මහත් ම වාසනාවකි. එයින් කියවුනේ ඉතාමත් පිපාසිත ව වතුර නැති දුෂ්කර මඟක යන මිනිසෙක් ගව කුරයක් නිසා පොළොවේ ඇතිවන ඉතා කුඩා වලක තිබෙන වතුර පොදක් ප්‍රවේශමෙන් අරගෙන තම පිපාසාව සන්සිඳුවා ගන්නා ලෙසට, තමන්ට අයහපත කරන තැනැත්තා තුළ වුවත් තිබෙන කුඩා ම හොඳක් දකින්නට පුළුවන් වුනොත් එයින් තම හිතේ ඇතිවන තරහ සමනය කර ගන්නට පුළුවන් වන බවයි.

මෙය මම බොහෝ විට අත්හදා බලා ඇත්තෙමි. එය මුලින් අපහසු වුවත් යළි යළිත් උත්සාහ කිරීම නිසා එය මා සිතන පිළිවෙළ සෑහෙන ලෙස වෙනස් කිරීමට සමත් විය.

අයහපත කරන තැනැත්තා සමඟ ඇති ඇසුර නවත්වන නමුත්, කරන ලද අයහපත ගැන සිතමින් තරහ වැඩි කර ගැනීම නතර කළ විට හිතට දැනෙන්නේ සැහැල්ලු බවකි. මගේ තරහකාරයන් කියා ලැයිස්තුවක් නැති වීම ම පුදුම සතුටකි.

මෝඩයෙක් නොවෙයි නම් තවමත් දොස් කියයි ද?

මේ කතාව මට කිව්වේ කොළොන්නාවේ පැත්තේ මා දන්නා හඳුනන හේරත් මාමා ය. දිනෙක ඔහු හම්බන්තොට සිට කොළඹට එන අතරතුර නොසැලකිලිමත් ලෙස ඔහු පැමිණි වාහනය පසු කළ බස් රථයක් නිසා ඔහුගේ වාහනය මඩවලින් නැහැවිණි. වාහනය පැදවූ රියදුරු පේමදාසට මේ නිසා හොඳට ම කේන්ති ගියේ ය. ඔහුට පිටුපස අසුනේ සිටින්නේ දිසාපතිතුමා යන්නවත් අමතක විය. එක දිගට ම අර බස් රියදුරා ට නොයෙක් නොසරුප් වදන් කියමින් දෙස් දෙවොල් කියන්නට විය. කිහිප වතාවක් ම "ඒ බස්එක එලෙව්වේ මොන මෝඩයෙක් ද දන්නේ නැහැ” යනුවෙන් ඔහු අතින් කියැවිණි.

කිසිත් නොකියා සිටි හේරත් මාමා

“මෝඩයෙක් නොවෙයි නම් තවමත් දොස් කියයිද? නේද පේ‍්‍රමදාස” යනුවෙන් පවසා ඇත. එතැන් පටන් කොළඹට එන තුරු රියදුරු පේ‍්‍රමදාස කිසිවක් කතා කර නැත.

සුළු සිදුවීමකි. එහෙත් මෙයින් ඉගෙන ගත හැකි දේ බොහෝ ය.