Print this Article


අදීන දේශයක උදාරත්වයට ප්‍රායෝගික බුදු දහම

අදීන දේශයක උදාරත්වයට ප්‍රායෝගික බුදු දහම

ලංකාවේ අපට ඉතාමත් වටිනා සම්පත් වේ නම් ඒ අතර සම්බුදු දහම ප්‍රමුඛතාවක් ගනී.

විවිධ වටිනාකම් නිසා අපේ රට පිළිබඳ ලෝකයේ බොහෝ දෙනාගේ අවධානය සහ ආදරය, ගෞරවය ලැබුණ ද අප නොදැනුවත් ව ම විශාල ප්‍රපාතයකට ගමන් කොට ඇති බව පැහැදිලි ය.

රටේ ආර්ථික ප්‍රශ්නය සමාජීය ප්‍රශ්නයක් බවට පත් වී ඇත. අපේ ගම් ගෙවල්වල බොහෝ දෙනාට යහපත්, ලස්සන සමාජ ජීවිතයක් අහිමි වී ඇත. අවිවේකය නිසා පීඩා විඳීමත්, ඒ තුළින් ඇතිවන බාධාවන් නිසා ආගම, සංස්කෘතිය, මිනිස් ගුණදම් යනාදී බොහෝ දේ අමතක කර දමන තැනට රටවැසියා පත්වීම පිළිබඳ පුදුම විය යුතු නැත. යම්කිසි සමාජයක ආර්ථික අස්ථාවර භාවයක් වේ නම්, ඒ තැන සමාජ හෝ සංස්කෘතික හෝ ආගමික හෝ දියුණුවක් බලාපොරොත්තු විය නොහැක.

අද ලංකාවේ බුදු දහම භාවිත වන්නේ බොහෝ විට ආගමික අර්ථයකිනි. එනම් තමන්ට විසඳාගත නොහැකි අද්භූත දෙයක් පිළිබඳ ඇති බයක් නිසා හෝ සැකයක් නිසා හෝ එයින් බේරීම සඳහා උපකාරයක් වශයෙනි. එසේත් නැතිනම් සුබ අවස්ථාවක ආශිර්වාද ලබා ගැනීම සඳහායි. එසේත් නැතිනම් කනගාටුදායක අවස්ථාවක මනස සුවපත් කර ගැනීම සඳහායි. එය ආගමික බුදු දහම පමණි.

දැනට ලංකාවේ බුදු දහම භාවිත කරන අනෙක් අංශය වන්නේ දාර්ශනික අංශයයි. විශ්ව විද්‍යාල ආදියෙහි හෝ විවිධ අධ්‍යාපනික ක්ෂේත්‍රවල හෝ පිරිස් බුදු දහමේ එන සංකල්ප විවිධ දර්ශනවාද හා සසඳමින් කරනු ලබන අධ්‍යයනයන් මේ අර්ථයෙන් අපට ගත හැකියි. මෙය ද ඉතාමත් විශාල ප්‍රමාණයෙන් දැනට ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිදුවෙමින් පවතී.

දැනට ලංකාවේ බුදු දහම භාවිත වන අනෙක් ක්‍රමවේදය වන්නේ ප්‍රදර්ශනාත්මක බුදු දහමයි. සමහරු බුදුදහම ආභරණයක් ලෙස ගෙන තමාගේ වැරැදි අඩුපාඩු වසා ගැනීමට හෝ තමා විසින් කරන ලද වැරැදි පිළිබඳ ව ඇතිවී තිබෙන හෘදසාක්ෂියේ වරද සාධාරණීකරණය කර ගැනීම සඳහා බුදුදහමට සමීප ව කටයුතු කරන බව හුවා දැක්වීම මෙ මඟින් අදහස් කෙරේ. මේ ක්‍රමයට තමන්ගේ ධනය, බලය හෝ කීර්තිය හෝ ආරක්ෂා කර ගැනීමට පසුගිය කාලයේ බොහෝ දෙනා උත්සාහ කළ බව පෙනෙන්නට තිබුණි. ඒ අයුරින් සමහර පිරිස් බුදු දහම අවභාවිත කරමින්, බුදු දහම රැකීමට යැයි පවසමින් බුදු දහම හෝ බුද්ධ ශාසනය අපයෝජනය කරනු ද දකින්නට ලැබුණි. එය ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි.

දැනට ලංකාව වැටී තිබෙන කඩාවැටුණු තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා බුදු දහමින් ලැබිය හැකි ආලෝකය කුමක් ද? බුදු දහම එතැන දී භාවිත විය යුත්තේ කෙසේ ද? යන කරුණ අපි තරමක් ගැඹුරින් සාකච්ඡා කළ යුතු ය.

මෙහිදී අප අවධානය යොමු කළ යුත්තේ ඇතැම්විට මේ වනවිට අප අමතක කොට ඇති ප්‍රායෝගික බුදු දහම භාවිත කොට සමාජ ගැටලුවලට විසඳුම් සොයා ගැනීම පිළිබඳවයි. එනම් බුදු දහමේ ඉගැන්වෙන සමාජ, දේශපාලන සහ ආර්ථික දර්ශනය වැඩි වැඩියෙන් ප්‍රායෝගික තලයට ගෙන ඒමයි.

බෞද්ධ සමාජයට නායකත්වය දෙන භික්‍ෂූන් වහන්සේට මෙහි දී සුවිශේෂී වගකීමක් පැවරේ. දේශපාලකයාට දසරාජ ධර්මයට අනුව, සක්විති වත්වලට අනුව ධර්මිෂ්ට පාලනයක් ගෙන යා යුතු බවට අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කිරීම උන්වහන්සේගේ වගකීමයි.

මීට පෙර බොහෝ විට එවැනි දෙයක් සිදු නො වූ අතර, මීට පෙර සිදුවූයේ දේශපාලකයාට හිතවත් භික්ෂූන් වහන්සේ පිරිසක් එකතු කර ගනිමින් තමාගේ දේශපාලන බලය තහවුරු කර ගැනීමට උන්වහන්සේගේ රැකවරණය ලබා ගැනීමයි. තවදුරටත් එලෙස ම සිදු වුවහොත් රටේ දියුණුවට පළමු බාධාව එමඟින් පැමිණේ.

බොහෝ විට ඉතිහාසය පුරා ආගම මඟින් දේශපාලකයාගේ අඩුපාඩු වසා පිරිසුදු චරිතයක් බවට මවාපෑම දක්නට තිබුණ ද, බුදුදහම වැනි ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක් තුළින් එවැනි දේකට ඉඩක් නොමැත. බෞද්ධ ඉගැන්වීම් යොදා ගනිමින් රාජ්‍ය පාලකයා නිවැරැදි මඟට ගැනීමේ වගකීම රටේ භික්ෂූන් වහන්සේගේ උරමත පැවරී ඇත.

බුදුදහම හා සම්බන්ධ ව විශාල පර්යේෂණ රාශියක් සිදු කරන විශ්ව විද්‍යාල පද්ධතියේ භවතුන්ට ද තමන්ගේ කාර්යභාරය තරමක් වෙනස් දිශානතියකට යොමු කිරීමට කාලය එළැඹ තිබේ. එනම් ශාස්ත්‍රීය පර්යේෂණ මට්ටමින් තවත් ඉදිරියට යමින් ප්‍රායෝගික පර්යේෂණ මට්ටම පුළුල් කරමින්, ගම්බිම් මට්ටමේ හෝ වෙනත් ඕනෑම සමාජ තත්ත්වයක හෝ සංස්ථාවක හෝ තිබෙන ප්‍රායෝගික ගැටලු හඳුනාගෙන, එම ගැටලු සඳහා බුදු දහමින් දිය හැකි විසඳුම් පිළිබඳ ව සාකච්ඡා කිරීමත්, එම විසඳුම් ප්‍රායෝගික ව බිම් මට්ටමෙහි භාවිතයට ගෙන ඒම පිළිබඳවත් පර්යේෂණ සිදු කිරීමට කාලය එළැඹ තිබේ.

ඊළඟට සුවිශේෂී ම කාර්යභාරය පැවරෙන්නේ බෞද්ධ ප්‍රජාවටයි. බෞද්ධ ප්‍රජාව යන්නෙන් සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව ම සැලකිය හැකි ය. බෞද්ධකම යනු සිංහල හෝ වෙනත් එක් ජන වර්ගයකට පමණක් අයිති දෙයක් නොවේ. එය මුළු මහත් ලෝකවාසීන්ට ම ලැබුණු දායාදයකි. කිසිදු ආගමික හෝ ජාතික හෝ වාර්ගික හෝ භේදයකින් තොරව බුදුදහමේ ඉගැන්වෙන ප්‍රතිපත්ති පිළිපැදිය හැක.

බුදු දහම විශ්වීය දහමක් බැවින්, බෞද්ධ ප්‍රජාව යන අදහසින් මෙහි දී බුද්ධ ධර්මය දත් සමස්ත ශ්‍රී ලාංකිකයා ම සැලකේ. මෙහිදී තවදුරටත් දේශපාලකයා, රාජ්‍ය නිලධාරියා, ආගමික පූජකවරයා, ව්‍යාපාරිකයා, පාරිභෝගිකයා, මගියා, සේවකයා, ගොවියා, කම්කරුවා, වෛද්‍යවරයා හෝ වෙනත් වෘත්තිකයින් යනාදී නොයෙක් නොයෙක් අංශයෙන් සමාජයේ විවිධ අංශ නියෝජනය කරන සියලු ම ජන කොට්ඨාසයන් ප්‍රජාව හැටියට හඳුනාගත හැකි ය. තවදුරටත් පැහැදිලි කර ගත හොත් සිංහල, දෙමළ, මුස්ලිම් යනාදී ජනවර්ග හෝ බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි, කතෝලික යනාදී ආගමික බෙදීම් හෝ නොමැති ව සමස්ත ශ්‍රී ලාංකිකයා ම මේ මොහොතේ ශ්‍රී ලාංකිකයින් ලෙස බෞද්ධ සාරධර්මය චරිතායනය කර ගනිමින් ලංකාවේ පුනරුදයට දායක වීම වැදගත් වේ.

මෙතෙක් අප වැරැදියට තබාගත් ප්‍රධාන බාධකය ඉවත් කළ යුතු ය. එනම් ආගම, ජාතිය, කුලය, වෘත්තිය, ධනවත්කම සහ දුප්පත්කම, උගත්කම සහ නූගත්කම, ඇති බව සහ නැති බව යනාදී විවිධ මානයන් ඔස්සේ ශ්‍රී ලාංකිකයා තුළ මුල්බැසගත් බෙදීම පැත්තකින් තැබිය යුතු ය. හැම දෙනා ම එක්සත් ව, එක්සිත් ව භේද රහිත ව එකතු විය යුතු ය. එවිට අපට ඉතා ඉක්මනින් ම ලස්සන රටක් සහ ලස්සන ජීවිතයක් උදාකර ගත හැකි වනු ඇත.

යම්කිසි රටක පාලකයා නිවැරැදි ව, ධර්මානුකූල ව රට පාලනය කරයි නම්, එම ධර්මානුකූල නිවැරැදි බව සහ අවංක බව රාජ්‍ය නිලධාරියාගේ සිට සාමාන්‍ය ගම්වැසියා දක්වා ම ගලා යයි.

රට වැසියන් ලෙස අප සියලු දෙනාට ම අද වගකීමක් පැවරී ඇත. එනම් පාලකයා, රාජ්‍ය නිලධාරියා සහ රටවැසියා යනාදී මේ සැම දෙනා ම බුදු දහමේ එන ආචාරධර්ම ප්‍රායෝගික තලයට ගෙන ඒමට කටයුතු කිරීමයි. එම වගකීම් විවිධ ආකාරයෙන් අපේ උර මත පැවරී තිබේ. පාලකයා තම වගකීම බොදු සාරධර්මවලට අනුව නිවැරැදි ව ඉටුකිරීමත්, රාජ්‍ය නිලධාරියා තම කාර්යභාරය බොදු සාරධර්මවලට අනුව නිවැරැදි ව ඉටුකිරීමත්, රටවැසියා බොදු සාරධර්මවලට අනුව නිවැරැදිව කටයුතු කිරීමත් මේ මොහොතේ පැවරී ඇති ප්‍රධානතම වගකීමයි.

මෙතෙක් කල් අප බුදු දහම ආභරණයක් හෝ ප්‍රදර්ශන භාණ්ඩයක් හෝ පර්යේෂණ උපකරණයක් හෝ ලෙස තබා ගත්තා නම් එය නිමා කිරීමට කාලය එළඹ තිබේ. බුදුදහමේ ඉගැන්වෙන දානය, ප්‍රියවචනය, අර්ථචරියාව, සමානාත්මතාව, ඍජු බව අවංක බව යනාදී නොයෙක් නොයෙක් වටිනා සාරධර්ම රැස අපේ ජීවිතවලට එකතු කර ගනිමින් අපේ දියුණුවට, රටේ දියුණුූවට සැම දෙනාගේ දායකත්වය ලබා දෙමු.