Print this Article


උතුම් නිවන් මඟ අවබෝධය සඳහා

උතුම් නිවන් මඟ අවබෝධය සඳහා

නමො තස්ස භගවතො
අරහතො සම්මා සම්බුද්ධස්ස

දෙවෙමෙ භික්ඛවෙ අන්තා
පබ්බජිතෙන න සෙවිතබ්බා
යොචායං කාමෙසු
කාමසුඛල්ලිකානුයොගො
හීනො ගම්මො
පොථුජ්ජනිකො අනරියො,
අනත්ථසංහිතො, යොචායං
අත්තකිලමථානුයොගො දුක්ඛො
අනරියො අනත්ථසංහිතො
එතෙතෙ භික්ඛවෙ උභො
අන්තෙ අනුපගම්ම මජ්ක්‍ධිමා පටිපදා
තථාගතෙන අභිසම්බුද්ධා
චක්ඛුකරණී, ඤාණකරණී, උපසමාය
අභිඤ්ඤාය සම්බෝධාය,
නිබ්බාණාය සංවත්තති.

සුගත තථාගත අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඇසළ පුර පසළොස්වක පෝ දිනක දී ගගන තලයේ පුන්සඳ බබළද්දී බරණැස ඉසිපතන මිගදාය වන උයනේ දී පස්වග මහණුන් වහන්සේ උදෙසා උතුම් දම්සක් පැවතුම් සූත්‍රයෙන් ධර්මය දේශනා කළ සේක.

“මහණෙනි,

පැවිද්දා විසින් මෙම අන්ත දෙක සේවනය නොකළ යුතු ය. හීන වූ, ග්‍රාම්‍ය වූ, පුහුදුන්, අනාර්ය වූ, අනර්ථකර වූ, යම් ඒ කාම සුඛල්ලිකානුයෝගයක් වේ ද දුක් වූ, අනාර්ය වූ, අනර්ථකාරි වූ, යම් අත්තකිලමථානුයෝගයක් වේ ද මෙසේ මෙම අන්ත දෙකට ම නෙපැමිණ තථාගතයන් වහන්සේ විසින් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කොට සම්මා සම්බෝධිය අවබෝධ කරන ලදී.

ඒ මේ මධ්‍යම ප්‍රතිපදාව ප්‍රඥා ඇස ඇති කරන්නේ ය. චතුරාර්ය සත්‍ය ධර්මය දැනීමේ ආර්ය ඥානය ලබා දෙන්නේ ය. කෙලෙස් සමනය කරන්නේ ය. සම්මා සම්බෝධිය අවබෝධ කරවන්නේ ය. නිවන පසක් කර දෙන්නේ ය.

පින්වත්නි,

මෙම දම්සක් පැවතුම් සූත්‍රයෙන් දැක්වෙන ප්‍රධාන කරුණු වන්නේ අන්ත දෙක, මධ්‍යම ප්‍රතිපදාව හා ද්වාදසාකාර තිපරිවට්ට චතුරාර්ය සත්‍ය ධර්මයයි.

අඤ්ඤා කොණ්ඩඤ්ඤ හිමි ප්‍රථමයෙන් ධර්මය අවබෝධ කිරීම හා සද්ධර්මාලෝකය දස දහසක් ලෝකවල පැතිරීමයි.

සත්ව පරම්පරාව මිහිමත බිහිවන්නේ කෙසේ හෝ කාම සම්පත් භුක්ති විඳිමින් ජීවත්වීමට ය. එහෙත් සත්වයාට වන්නා වූ අනිවාර්ය ජාති, ජරා, ව්‍යාධී, මරණ ප්‍රධාන කර ගත් මහා දුක් රාශියකට භාජන වන වග පසුවට ප්‍රත්‍යක්ෂ වන්නේ ය.

සත්වයාට වන්නා වූ මේ මහා දුක් දොම්නස් සමනය කිරීම පිළිබඳ ප්‍රත්‍යක්ෂ දැනීමක් ලබා ගන්නා බෝධිසත්වයන් වහන්සේ කරුණාවෙන් සිහිල් ව ප්‍රඥාවෙන් ප්‍රභාවත් ව කල්ප ලක්ෂ ගණන් දානාදී පෙරුම් පුරමින්, විවරණ ලබමින් සෙසු සත්වයන් සමඟ එහෙත් ගුණ නැණින් සුවිශේෂ ව සසර සැරිසරති. එහෙත් සෙසු සත්වයන් පංච කාම සම්පතේ ම ඇලී ගැලී කාමසුඛල්ලිකානුයෝගයේ අන්තයට වැටී කෙළවර අති භයානක දුක් වේදනාවන්ට භාජනය වන්නේ ය.

අප සිදුහත් බෝසතාණෝ සසර දී පුරුදු පුහුණූ කළ නෙක්ඛම්ම පාරමිතා බලමහිමයෙන් ගිහි ජීවිතයෙන් අභිනිෂ්ක්‍රමණය කොට, පැවිදි ව අත්තකිලමතානුයෝගී ව මෙලොව මනුෂ්‍යයකු වශයෙන් දුක වේදනා විඳිමින්, උග්‍ර තපස් රකිමින්, අත්තකිලමථානුයෝගී ව යළි බුද්ධත්වය ලබා ගැනීමේ පරම අභිලාෂයෙන් ම පෙරුම්දම් පිරීමේ පුණ්‍යානුභාවයෙන් තම ජීවිතයෙන් ම පසක් කළ අන්ත දෙක ම අත්හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළහ.

සතානුසාරී විඤ්ඤාණං, අහොසි එසොචමග්ගො බොධායාති

බෝධිසත්වයන් වහන්සේට අතීත සිහිවටනයක් අනුව ගිය සිහිකල්පනාවක් පහළ විය. ඒ අනුව ආනාපාන සති භාවනාවෙන් ධ්‍යාන මාර්ග උපදවා, පිළිවෙළින් ත්‍රිවිද්‍යා ඥානය උපදවා ලොව්තුරා බුද්ධත්වයට පත්වී වදාළ සේක.

මෙම මධ්‍යම ප්‍රතිපදාව අවිද්‍යාන්ධකාරයෙන් ආවරණය වූ නිසා අවිද්‍යාදී හේතූන් විනාශ කළ විට විද්‍යා ඤාණය හෙවත් චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ ඤාණය පහළ වූ වග දම්සක් පැවතුම් සූත්‍රයෙන් විස්තර වන්නේ ය.

එවං තිපරිවට්ටං ද්වාදසාකාරං ඤාණදස්සනං උදපාදි.
යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරොධ ධම්මං ති.

මෙසේ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග යන චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඤාණය, කෘත්‍ය ඤාණය, කෘත ඤාණය යන ත්‍රිවිධාකාරයෙන් ප්‍රත්‍යක්ෂ කර ගෙන ලොව්තුරා බුද්ධත්වයට පැමිණි සේක.

අවිද්‍යාදී හේතුන් නැති කිරීම, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම, ලොව්තුරා බුද්ධත්වයට පැමිණීම යන අසිරිමත් සිදුවීම් එකවිට සිදුවූයේ අතීතයේ සිදු කළ පාරමිතා ගුණ බල මහිමයෙනි.

සුඛාන්ත, දුක්ඛාන්ත යන දෙක ම ඇති වන්නේ මිථ්‍යා සංකල්ප නිසා ම ය. ශරීරයට සැප වැඩි වන විට එය තහවුරු කර ගැනීමේ අභිලාෂයෙන් ආත්මවාදී, නිර්මාණවාදී හැඟීම පිහිට කර ගන්නේ ය. එමෙන් ම අවිද්‍යාව නිසා අනර්ථකාමී, පහත් අජ වෘත, ගෝ වෘත ආදී පිළිවෙත් අනුගමනය කිරීමෙන් දෙලොව ම පිරිහෙන්නේ ය.

මධ්‍යම ප්‍රතිපදාව පුද්ගලයාගේ ගුණ නැණ වැඩීමට, ශුභවාදී ආකල්ප ඇතිවීමට, නිර්මාණ කුසලතාවයට, දෙලොව යහපතට, චතුරාර්ය සත්‍ය අවබෝධයට හේතුවාසනා වන්නේ ය.

සම්මා දිට්ඨියෙන් ආරම්භ වන මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය එයින් සම්මා සංකල්පයට ද, යළි සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග පිළිවෙළින් එකිනෙකට අනුබද්ධ ව පවතින්නේ ය.

මෙම උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ත්‍රිවිධ ශික්ෂාවට ඇතුළත් වන අතර, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංශ තුනෙන් අධිශීල ශික්ෂාව ද, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි අධිසමාධි ශික්ෂාව ද, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන අංග දෙකින් අධිප්‍රඥා ශික්ෂාව ද සම්පූර්ණ වන්නේ ය.

සීලයෙන් ඉන්ද්‍රිය සංවරය ද, සමාධියෙන් සිතේ එකඟතාව ද, ප්‍රඥාවෙන් සියලු ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධය ද සිදුවන්නේ ය.

එ දවස බරණැස ඉසිපතන මිගදාය උයනේ දී අප බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ ඒ උතුම් දම්සක් පැවතුම් සූත්‍ර ධර්මය පරිශීලනය කිරීමෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට උතුම් නිවනින් සැනසෙන්නට ඔබ සැමට ධෛර්ය වාසනා බල මහිමය ලැබේවා.