Print this Article


සියපත් සුවඳ දීප ව්‍යාප්ත රචනා තරගයෙන්: දියුණූවේ දොරටුව තමන් අභියස යි

දැයේ දූ දරුවන්ගේ යහපත් ආකල්ප, ගුණධර්ම හා ලේඛන කුසලතා ඔප් නංවනු පිණිස බුදුසරණ පුවත්පත හා බුදුසරණ ඩිජිටල් අංශය සංවිධානය කළ සියපත් සුවඳ දීප ව්‍යාප්ත රචනා තරගයට දූ දරුවන් විශාල ප්‍රමාණයක් රචනා එවා තිබුණි. ඒ අතරින් තෝරාගත් රචනා බුදුසරණ අන්තර්ජාල කලාපයන්හි මෙලෙස පළ කෙරේ

****

දියුණූවේ දොරටුව තමන් අභියස යි

“උට්ඨානවතෝ සතිමතෝ
සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්මජීවිනෝ
අප්පමත්තස්ස යසෝහි වඩ්ඪති”

(අප්පමාද වග්ගය - ධම්මපදය)

ඉහත ධම්මපද ගාථාවේ අර්ථයට අනුව “නැඟී සිටින වීර්යයෙන්, තමා ගැන තමාට ම දැනෙන සිහිය ඇති, විමසා බලා නිදොස් දෙයම කරන, තැන්පත්, දැහැමි දිවි පැවතුම් ඇති, පමා නොවන පුද්ගලයාගේ කීර්තිය මනාව වැඩේ.” ඒ අනුව අප්‍රමාදි බව හෙවත් ප්‍රමාද නොවීම මෙලොව මෙන් ම පරලොව දියුණුවට ද බලපායි. ඕනෑම කටයුත්තක් ප්‍රමාද වී කරන විට එහි ප්‍රයෝජන මනා සේ ලබා ගැනීමට නොහැකි ය. අප පාසලට, පන්තියට දහම් පාසලට ප්‍රමාද වී යාමෙන් ඒ කටයුතු නිසි පරිදි කර ගැනීමට හැකි වන්නේ නැත. එමෙන් ම දඬුවම් ද හිමි වේ. කුඩා කල සිට ම අප්‍රමාදී ව කටයුතු කිරීම ඉතාමත් වටින්නේ එහෙයිනි.

අම්මා උදෑසන ම අවදි වී ආහාරපාන පිස දී, පාසල් යෑමට අප ව සූදානම් කරන බැවින් ප්‍රමාද නොවී අපි පාසලට යන්නෙමු. ඒ අම්මාගේ අප්‍රමාදි කඩිසර බව නිසාවෙනි. මනුෂ්‍යයෙක් අප්‍රමාදී ව කටයුතු කිරීම ආරම්භ කළ යුත්තේ උදෑසන අවදි වීමෙනි. දවල් කාලය වනතුරු නිදියනවිට උදෑසන කිරීමට තිබෙන කිසිදු කටයුත්තක් සිදු කිරීමට නොහැකි වූ විට දවසේ සියලු කටයුතු ප්‍රමාද වෙයි. එමඟින් සිත් පීඩා මෙන් ම අමනාපකම් පවා ඇති වේ.

දරුවන් සහ වැඩිහිටියන් භේදයකින් තොරව සියලු දෙනා ම අප්‍රමාදී ව කටයුතු කිරීම ඉතාමත් ම වැදගත් වේ.

මෙලොව වශයෙන් පමණක් නොව පරලොව දියුණුව පිණිස ද අප්‍රමාදී ව කටයුතු කළ යුතු ය. සමහර වැඩිහිටියන් වයසට යාමෙන් පසු පින්දහම් කිරීමට සිතා සිටිති. තරුණ කාලයේ කිසිදු පිනක් දහමක් නොකරන ඇතැම් වැඩිහිටි අය පින්කම් කිරීමට නොහැකි ව මිය පරලොව යති. පොහෝ දිනයට පන්සලේ බොහෝ ලෙස සිටින්නේ ඉතාම මහලු වැඩිහිටි අයයි. ඔවුන්ට සිල් සමාදන් වී පැය දෙක තුනක් හෝ පහසුවෙන් හිඳගෙන සිටීමටවත් සවිශක්තිය නොමැත. කුඩා දරුවන් සහ තරුණ පිරිස සිටින්නේ ඉතා අතළොස්සකි. ඔවුන් මහලු වූ පසු පින්කම් කිරීමට සිතාගෙන එලෙස සිටිනවා විය හැකි ය.

අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙස ද සෙට මරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරු ඇප වන්නේ
කුමට ද කුසලට කම්මැළි වන්නේ

ඉහත සඳහන් කරුණු සියල්ලට ම අනුව අප්‍රමාදී ව කටයුතු කිරීම මෙලොව ජීවිතයේ දී කටයුතු සාර්ථක කර ගැනීමට, අනතුරුවලින් බේරීමට, තරග විභාග සමත්වීමට මෙන් ම නීරෝගි වීමට ද හේතු වේ.

බුදුරජාණන් වහන්සේ් පුද්ගල දියුණුව උදෙසා ඉතා වැදගත් කරුණක් ලෙස අප්‍රමාදී බව වදාළහ. එමෙන් ම මෙලොව පමණක් නොව පරලොව හිතසුව, දියුණුව පිණිසත් අප්‍රමාදී ව කටයුතු කරමින් ගත, සිත පිරිපුන්, සවිමත් කාලයේ කුසල් රැස් කිරීමෙන් අපට දෙලොව දියුණුව සලසා ගත හැකි ය.