Print this Article


සියපත් සුවඳ දීප ව්‍යාප්ත රචනා තරගයෙන් : සොරාගත නොහැකි අමිල ආභරණය

දැයේ දූ දරුවන්ගේ යහපත් ආකල්ප, ගුණධර්ම හා ලේඛන කුසලතා ඔප් නංවනු පිණිස බුදුසරණ පුවත්පත හා බුදුසරණ ඩිජිටල් අංශය සංවිධානය කළ සියපත් සුවඳ දීප ව්‍යාප්ත රචනා තරගයට දූ දරුවන් විශාල ප්‍රමාණයක් රචනා එවා තිබුණි. ඒ අතරින් තෝරාගත් රචනා බුදුසරණ අන්තර්ජාල කලාපයන්හි මෙලෙස පළ කෙරේ

****

සොරාගත නොහැකි අමිල ආභරණය

කීකරු හොඳ ළමයගේ කවුරුත් පවසති අගේ, ළමයකුට තිබිය හැකි, මිල කළ නොහැකි, කිසිවකුට සොරාගත නොහැකි, නොපෙනෙන බලවේගවලට යටත් කර ගත නොහැකි හොඳම සහ ලස්සන ම ආභරණය කීකරුකම යි.

අකීකරු ළමයි අනූ නවයක් අතරින් එක් කීකරු ළමයකු ඉතා පැහැදිලි ව හඳුනාගත හැකි ය. ඊට හේතුව කීකරු ළමයා බබළන දියමන්තියක් වැනි ය. අකීකරු ළමයා නිතර ම සමාජයේ පිරිහීමට ලක් වේ. අකීකරු ළමයා තම නිවසේ දී මුලින් ම පිරිහීමට ලක් වේ. පසුව මුළු සමාජයෙන් ම පිරිහීමට ලක් වේ.

කීකරුකම නමැති ආභරණය බැබළීමට හේතු තිබේ. වචනයෙන් පි‍්‍රයවීම, ඇඳුම් පැලඳුම්වලින් පි‍්‍රයවීම, කරුණාව, මෛත්‍රිය, අවිහිංසාව, නිහතමානී බව ආදිය ඒ අතර ප්‍රධාන වේ. මේ සියල්ල ම එකතු වූ විට විවිධ මැණික්වලින් සැරසූ අලංකාර ආභරණයක් ලෙසට කීකරුකම දිස් වෙයි.

කීකරුකම මනාව ප්‍රගුණ කර ගෙන සිටි පොඩි හාමුදුරුවන් වහන්සේ නමක් පිළිබඳ වටිනා කරුණු සඳහන් ව තිබේ.

උදෑසන අවදි වී වැලි දෝතක් අතට ගෙන අහසට විසි කර “මේ වැලි කැට තරමට මට අද දින අවවාද අනුශාසනා ලැබේවා.” කියා ප්‍රාර්ථනා කරන්නේ පුංචි අපි කවුරුත් ම දන්නා අපේ රාහුල පොඩි හාමුදුරුවෝ ය. කුඩා හිමි නමක් මේ ආකාරයට ප්‍රාර්ථනා කළේ නම් පුංචි අපිටත් මෙවැනි දේ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු. කීකරුකම නමැති වටිනා ආභරණය නිතර නිතර ඔපමට්ටම් වන්නේ මෙවැනි දේවලිනි. හිමි වී තිබෙන කීකරුකම නමැති ආභරණය අහිමිවීමට ඉඩ නො තබමු. එය රැක ගනිමු. අපෙන් පසුව එන ඉදිරි පරම්පරාවට එය පරම්පරාගත වටිනා දෑවැද්දක් කරමු.

අනාගත පුරවැසියා ගොඩනැඟිය යුත්තේ වර්තමානයේ ය. අන් කිසිවකු නොව එය පුංචි අප විසින් ම සිදු කළ යුතු ය. දැල් වූ එක් පහනකින් පහන් සියයකට එළිය ලබා දුන්න ද එහි එළිය අඩු නොවෙන්නා සේ කීකරු හොඳ දරුවකු අකීකරු නරක දරුවන් සියයකට හොඳ මඟ පෙන්වූවත් කීකරුකමේ අඩුවක් සිදුවන්නේ නැත.

දෙමාපියන්ට කීකරු වෙමු. සතුටු සිතින් ජීවත් වෙන්නට පුරුදු වෙමු. මුදල් වැය නොකර නොමිලේ ලැබෙන ආභරණයට ආදරය කරමු. එහි දිස්නය සැම නෙතකට ම පෙනෙන්නට ඉඩ සලසමු. එය ඉපදෙන මතු භවයෙක අපි සිදුකළ පිනක් බව වැටහේවි.