Print this Article


නැණ ගුණ දම් ඇති දරුවන් ගුණ යහපත් මවුපියන්ට යි

නැණ ගුණ දම් ඇති දරුවන් ගුණ යහපත් මවුපියන්ට යි

තුන් ලෝතලයක් ආලෝකවත් කළ අප ශාන්ති නායක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මෙලොව ජීවිතයත්, පරලොව ජීවිතයත් ගත කරන ආකාරය, ළමා ජීවිතය, තරුණ අවධිය, මහලු අවධිය මේ තුන් කාලය ගත කළ යුත්තේ කෙසේද? යන වග මහා මංගල සූත්‍ර තුළින් අපහට පැහැදිලි කරනවා.

බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන විට භාරතයේ ආගම් හැට හතරක් පැවතුණා. ප්‍රධාන ආගම් හයක්. ෂට් ශාස්තෘන් වහන්සේ වැඩ සිටියා. අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කළේ හේතුඵල වාදය (හේතු පටිච්ච සම්භූථං හේතු භංගා නිරුජ්ජති) හේතුවක පලයක් ඇතිවීම, පැවැත්ම, විනාශ වීම මෙම පටිච්ච සමුප්පාදය දේශනා කළ බුදුරජාණන් වහන්සේ තරම්, අම්මා පිළිබඳ, තාත්තා පිළිබඳ, කතා කළ, අගය කළ වර්ණනා කළ ශාස්තෘන් වහන්සේ නමක් මේ ලෝ තලයට පහළ වුණේ නැහැ. දෙමව්පියන් දරුවන්ට කාරණා පහකින් සංග්‍රහ කරනවා. ‘කල්‍යාණෙ නිවේසෙන්ති, තම දුවා දරුවන් යහපතෙහි යොදවයි. “පාපා නිවාරෙන්ති, පාපයෙන් මුදවා ගනියි. “සිප්පං සික්ඛාපෙන්ති, උගත්කම ලබා දෙයි. ‘පතිරූපෙන දාරෙන සංයෝජෙන්ති, සුදුසු කාල සීමාවේ දී, අවාහ විවාහ කර දෙයි. ‘සමයේ දායජ්ජං නීයාදෙන්තී, සුදුසු කාලයේ දී තමා සතු දේපළ වස්තුව පවරා දෙයි. මේ ආකාරයට යුතුකම් ඉටුකරන අම්මාගෙයි, තාත්තාගෙයි හදවත් තුළ අහිංසක බලාපොරොත්තු පහක් රුවාගෙන සිටිනවා. තම දෑතින් මව්පියන්ට කෑම බීම සපයා දීම, තම දෑතින් මව්පියන්ට සැලකීම, මව්පියන්ගේ ගුණය රැකීම, මව්පියන් විසින් දුන් දෙය ආරක්ෂා කිරීම, මිය ගිය පසු ඔවුන්ට පින්දීම යන මේවායි.

‘ආපාදකා පෝසකා ඉමස්ස ලෝකස්ස දස්සේකාරා, අපේ මව්පියන් ලෙඩක් දුකක් අසනීපයක් සෑදුනොත් අසීමිත ආදරයකින් අප ව රැක බලා ගත්තා.

අප කුඩා කාලයේ අපේ මව්පියන් කොපමණ කුසගින්දර දරාගෙන ඉන්න ඇද්ද? ඒ වුණාට අපේ බඩගින්න ඔවුන්ට ඉවසන්න හැකියාවක් තිබුණේ නැහැ. දස මාසයක් වැනි කාලයක් මව්කුස තුළ හොවා මෙලොවට බිහි කළ පසුව ඒ විඳපු සියලු ම දුක් ගැහැට අමතක වී යනවා. තම දරුවා අසීමිත සෙනෙහසකින් ළමැදට තුරුලු කර ගන්නේ. එතකොට අම්මාගේ ශරීරය තුළ තිබෙන රක්ත වර්ණ වු ලේ ධාතුව ශ්වේත වර්ණ කිරි බවට පත් වෙනවා. තම ශරීරයේ ලේ කිරි බවට පත් කළ හැකි එකම විද්‍යාඥයා සෙනෙහෙබර අම්මා පමණක් නේද? අප රටේ රජකම් කළ පළමු අග්බෝ රජු දිනපතා ම උදේ පාන්දර අවදි වී තම දෑතින් වතුර හැළියක් උණු කර එය ඇල්මරා තම දෑතින් ඔත්පලව සිටින සෙනෙහෙබර අම්මා ඔසවා ගෙන තම දෑතින් මව නහවා පිරිසුදු කර යහන මත තැන්පත් කර, ආහාර තම දෑතින් කවා, සිරුරෙහි බේත් තෙල් ගල්වා, සියලු ම සැප පහසුකම් සපයා, තුන්වරක් පසඟ පිහිටුවා වන්දනා කර සිඹ වැළඳගෙන පියවර තුනක් පසුපසට පැමිණ අම්මාගෙන් නික්මෙන මහ රජතුමා නැවත අම්මාගේ මල මූත්‍ර සහිත රෙදි පිළි සෝදා පිරිසුදු කර එය වේළෙන්නට අව්වේ දමා රෙදි පිළි සෝදා ගත් වතුරෙන් හිස පලඳින ඔටුන්න සෝදා එය පැළඳ ගෙන තමයි සිංහාසනාරූඪ වෙන්නේ. එය දවසක් දෙකක් නොවෙයි. අම්මා මිය යනතුරු කළ ක්‍රියා දාමයක්.

රටේ පාලකයා අම්මාගේ ආශිර්වාදය ලබා ගත් අයුරු. ධර්මයේ සඳහන් වෙනවා. ‘බහුපකාරං භික්ඛවෙ මාතා පිතරො පුත්තානං අපාදකා පොසකා ඉමස්ස ලොකස්ස දස්සෙතාරො, එතැන දී පැහැදිලි කෙරෙනවා. මවුපියන් කියන්නේ දරුවන්ට බොහොම උපකාර කරන පිරිසක්. දරුවන්ගේ ජීවිතය ආරක්ෂා කරන පිරිසයි. ඒ වගේම දරුවන් පෝෂ්‍ය කරන්නේ මව්පියෝ. ඒත් එක්කම මේ ලෝකය දක්වන්නේ, මේ ලෝකය දරුවන්ට පෙන්වන්නේ මවුපියෝ. කාරණා ගණනාවකින් ම මවුපිය ගුණය එතැනින් පැහැදිලි වෙනවා. ‘ද්වින්නාහං භික්ඛවෙ න සුප්පතිකාරං වදාමි කතමේසං ද්වින්නං මාතුච්ච පිතුච්ච මහණෙනි මේ ලෝකයේ ඉන්නවා දෙන්නෙක්. කොච්චර උදව් කළත්, උපකාර කළත් ප්‍රමාණ කරන්න බැරි, කවුද ඒ දෙන්නා. මෑණියන් සහ පියාණන් කියන දෙන්නා.

පින්වතුනි, ගිහි ජීවිතය ගෙවන තැනැත්තන්ගේ ගෘහය ආලෝකවත් කරන්නත්, අඳුරු කරන්නත්, පුළුවන්කම තිබෙන්නේ භාර්යාව කියන තැනැත්තියටයි. යම් ස්වාමියෙක් තමන්ගේ භාර්යාවට ඒ අවශ්‍ය යුතුකම් ඉෂ්ට කරන ආකාරය ධර්මයේ සඳහන් වෙනවා. ඒ ඒ භාර්යාවන්ගේ චරිත ලක්ෂණ අනුව භාර්යාවෝ හත් ආකාරයට ඉන්න බව. වධක භාර්යාව, චෞර භාර්යාව, ස්වාමි භාර්යාව, මාතෘ භාර්යාව, භගිනි භාර්යාව, මිත්‍ර භාර්යාව, දාසි භාර්යාව, ලෙස සඳහන් කරපු හත්දෙනාගේ පැවතුම් අනුවයි ඒ නම් යෙදිලා තිබෙන්නේ. ස්වාමියා උපයන ධනය වංචාවෙන් සඟවා ගන්නවා නම් ඇය චෞර භාර්යාව, තම ස්වාමියාලවා ගෙදර දොරේ වැඩ ගන්නවා නම් ඇය ස්වාමි භාර්යාව, ස්වාමියාට කරදර ගෙන දෙනවා නම් දුෂ්ට කාන්තාවක් නම් ඇය වධක භාර්යාව මේ සඳහන් කළ අය හොඳ අය නොවෙයි.

මාතු භාර්යාව කටයුතු කරන්නේ අම්මා කෙනෙක් වගේ. සහෝදරියක් වගේ සලකන්නේ භගිනි භාර්යාව. තම ස්වාමියාට යෙහෙළියක් මිතුරියක් සේ සලකන්නේ මිත්‍ර භාර්යාවයි. ස්වාමියාට ක්‍රෝධ නොකරන, ඉවසිල්ලෙන් කටයුතු කරන දාසි භාර්යාව.

තමන්ගේ යුතුකම් ඉටු කරනවා නම් එතැන ගොඩනැඟෙන්නේ යහපත් ගෘහ ජීවිතයක්. මව්පියන්ට දාව ඉපදෙන දරුවන් කොටස් තුනයි. අතිජාත, අනුජාත හා අවජාත මව්පියන්ට වඩා ගුණයහපත් දරුවා අතිජාත, ගුණ යහපත් සමාන දරුවා අනුජාත, ගෙදරට ගමට පළාතට එපා වුන දරුවා අවජාතක. අඳුර මකා ආලෝකය කරා ගමන් කිරීමට ඔබත් අතිජාත දරුවෙක් වන්න අදිටන් කර ගන්න.