Print this Article


සම්බුදු සසුනේ චිරස්ථිතිය හා කාන්තා පැවිද්ද

සම්බුදු සසුනේ චිරස්ථිතිය හා කාන්තා පැවිද්ද

ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වන්දනා කොට අවසර ලබා ගෙන ප්‍රජාපතී ගෞතමිය ඇතුළු පිරිස වෙත පැමිණියේ ය. බුදුරජාණන් වහන්සේ විසින් පැවසු මේ ගරුධර්ම අට ඔවුන් හට පවසා සිටියේ ය. අනතුරුව උන්වහන්සේ මෙසේ පැවසූහ. “ගෞතමියනි, ඔබ මේ අෂ්ට ගරුධර්මයන් පිළිගන්නේ නම්, එය ම ඔබ හට උපසම්පදාව වන්නේ ය.”

එසමයෙහි තිලෝගුරු අපගේ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුර වූ නිග්‍රෝධාරාම අසපුවෙහි වැඩ වසනා සේක. එහි පැමිණි මහා ප්‍රජාපතී ගෝතමී බිසව් තොමෝ අප සම්මා සම්බුදු රජාණන්හට වන්දනා කොට එකත් පසෙකට වූවා ය. එකත් පසෙක සිටි බිසව් තොමෝ බුදුරජාණන් වහන්සේට මෙසේ පවසා සිටියා ය.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, තථාගතයන් වහන්සේ විසින් පනවා වදාළ උතුම් ධර්ම විනය ඇති බුදු සසුන තුළ කාන්තාවන් හටත් අනගාරික පැවිදි උපසම්පදාව ලැබෙන්නේ නම් මැනවි.”

බුදුරජාණන් වහන්සේ ප්‍රජාපතී ගෞතමී බිසවුන් හට මෙසේ පිළිවදන් දුන් සේක. “නැත ගෞතමිය, තථාගත බුදු සසුන තුළ කාන්තාවන් හට ගිහි ගෙය අතහැර පැවිදි උපසම්පදාව ලැබීම ගැන ඔබ හට රුචි නොවේවා.”

මහා ප්‍රජාපතී ගෞතමී බිසවුන් විසින් තුන් වරක් ම බුදු සසුනේ කාන්තාවන් හට පැවිදි උපසම්පදාව ඉල්ලා සිටිමුත් භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ අවස්ථා තුනේ දී ම එය ප්‍රතික්ෂේප කළ සේක.

එවිට මහා ප්‍රජාපතී ගෞතමියගේ සිතේ ‘අහෝ! භාග්‍යවතුන් වහන්සේ විසින් මේ බුදු සසුනේ කාන්තාවන් හට පැවිදි උපසම්පදා වීම ප්‍රතික්ෂේප කරනු ලැබූ සේකැයි මහත් දුකක් හට ගත්තේ ය. දොම්නසක් හට ගත්තේ ය. කඳුළු පිරි මුහුණින් බුදුරජාණන් වහන්සේට හඬ හඬා වන්දනා කළ ඇය භාග්‍යවතුන් වහන්සේ ප්‍රදක්ෂිණා කොට නිග්‍රෝධාරාමයෙන් නික්ම ගියා ය.

අනතුරුව අපගේ ශාස්තෘන් වහන්සේ කිඹුල්වතෙහි කැමතිතාක් කල් වැඩ වාසය කොට විශාලා මහනුවර බලා වැඩම කළ සේක. පිළිවෙළින් චාරිකාවේ වැඩි බුදුරජාණන් වහන්සේ කූටාගාර ශාලාවෙහි වැඩ වසනා සේක.

එකල්හි මහා ප්‍රජාපතී ගෞතමී බිසව් තොමෝ බුදු සසුනේ පැවිදි බව අපේක්ෂාවෙන් සිටි තවත් ශාක්‍ය බිසෝවරු පන්සියයක් සමඟ දිගු හිසකෙස් කපා දමා හිස මුඩු කර ගත්හ. වර්ණවත් සළුපිළි උනා දමා කාසාය වස්ත්‍ර හැඳ ගත්හ. සියලු දෙනා එක්ව භාග්‍යවතුන් වහන්සේගෙන් උතුම් පැවිදි බව අයදින අදහසින් නිග්‍රෝධාරාමය වෙත පැමිණියහ. ඒ භාග්‍යවතාණෝ විශාලාවෙන් නික්ම යොදුන් ගණනාවක් දුරින් පිහිටි කිඹුල්වතට වැඩම කොට තිබේ. ගෞතමී තොමෝ තම උත්සාහය අතහැරියේ නැත. ඒ මොහොතෙහි ම යොදුන් පනස් එකක් පමණ දුරින් පිහිටි කිඹුල්වත්පුරය කරා පන්සියයක් දෙනාම ගමන් ඇරඹූහ.

හරිහමන් ආහාරයක් කුසට නැතත්, බීමට පැන් පොදක් නිසි ලෙස නොලැබුණත්, දෙපා කකියමින්, ගමන් වෙහෙස කොතෙකුත් දැනුනත්, මේ කාන්තාවෝ සම්බුදු පියාණන් සොයා මේ ඇවිද යන්නේ දුර්ලභ බුදු සසුනේ ලොව්තුරු දිවියක් පතා ගෙන ය. නොබෝ දිනකින් ම කිඹුල්වතට සපැමිණි මේ පිරිස කූටාගාර ශාලාවට ඇතුළුවන දොරටුව අභියස එක්රැස් වූහ. බොහෝ දිගු ගමනක් පා වෙහෙසූ නිසා දෙපා ඉදිමී ගොස් ය. ඇතැමුන්ගේ දෙපා පැළී ගොසිනි. දුහුවිලි වැකුණු කයත්, වස්ත්‍රත් දුර්වර්ණ වී තිබේ. ‘එහෙත් පෙර සේ ම ඒ සම්බුදුරජාණෝ අපගේ පැවිද්ද ප්‍රතික්ෂේප කරාවිවත් ද’ යි සිතෙත් ම ගෞතමිය හට වාවා ගත නොහැකි විය.

කඳුළු පිරි දොම්නස් සහගත මුහුණින් දොරටුව අසල සිටින මහා ප්‍රජාපතී ගෞතමී බිසව ඇතුළු පිරිස ආනන්ද තෙරුන් වහන්සේගේ නෙතු ගැටුනේ මේ මොහොතේ දී ය. උන්වහන්සේ ඒ පිරිස දෙසට සමීප වෙත් ම ඔවුන්ගේ ඉදිමී පැළී ගිය දෙපා, දුහුවිලි වැකුණු සිරුරු දැක මහත් සංවේගයෙන් යුතු ව මෙසේ විමසන්නට වූ සේක.

“පින්වත් ගෞතමියනි, මේ කිම? ඔබලා සියලු දෙන අතිශයින් ම වෙහෙසී, කුමන කරුණක් නිසා මෙසේ දොම්නස් ව සිටිත්ද?”

ආනන්දයන් වහන්සේට වන්දනා කළ ගෞතමී බිසව “ආනන්දයන් වහන්ස, එය එසේමයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මේ බුදුසසුනේ කාන්තාවන් හට පැවිදි උපසම්පදාව ලබා නොදීම ගැන අපි මහත් සේ දොම්නස් ව පසුවන්නෙමු. ඒ භාග්‍යවතුන් වහන්සේ සොයා විශාලාවේ සිට මෙතෙක් දුර පා ගමනින් ම පැමිණියෙමු” යි පිළිතුරු දුන්නා ය. ආනන්ද තෙරුන් වහන්සේ මොහොතක් නිහඬ ව සිට මෙසේ පැවසූ හ.

“එසේ නම් පින්වත් ගෞතමියනි, මොහොතක් ඉවසනු මැනවි. මා විසින් භාග්‍යවතුන් වහන්සේගෙන් කාන්තාවන් හට බුදුසසුනේ පැවිදි උපසම්පදාව අයැද සිටින්නම්, මා පැමිණෙන තෙක් මෙහි රැඳෙනු මැනවි”

අනතුරුව ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමුවට වැඩම කොට වන්දනා කොට එකත්පසෙක වැඩ සිටියහ. එකත්පසෙක හුන් ආනන්දයන් වහන්සේ

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, මහා ප්‍රජාපතී ගෞතමී බිසව ඇතුළු පන්සියයක් පමණ දෙනා විශාලාවේ සිට මෙහි පා ගමනින් ම පැමිණ තථාගතයන් වහන්සේ වෙතින් කාන්තාවන් හට පැවිදි උපසම්පදාව ලබා නොදුන් සේකැයි හඬමින් දොරටුව අසල පසුවෙති. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් කාන්තාවන් හටත් මේ ධර්ම විනය තුළ අනගාරික පැවිදි උපසම්පදාව අනුදැන වදාරන්නේ නම් මැනවි.”

“කම් නැත ආනන්දයෙනි, තථාගතයන්ගේ ධර්ම විනය තුළ කාන්තාවන්ගේ අනගාරික පැවිදි උපසම්පදාව ගැන ඔබ හට රුචි නොවේවා!

බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මේ අයුරින් ආනන්ද තෙරුන් වහන්සේ විසිනුත් තුන් වරක් ම ඉල්ලා සිටිය ද භාග්‍යවතුන් වහන්සේ පෙර සේ ම ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ සේක.

එවිට ආනන්ද තෙරුන් වහන්සේට මෙබඳු සිතක් ඇතිවිය. “භාග්‍යවතුන් වහන්සේ විසින් කාන්තාවන්ගේ පැවිදි බව තෙවරක් ම ප්‍රතික්ෂේප කළ සේක. එසේ නම් මා විසින් මේ ගැන වෙනත් අයුරකින් භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටිය යුතු ය.’ යළිත් ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසන්නට විය.

“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ගිහිගෙය හැරදමා මේ බුදුු සසුනේ පැවිදි උපසම්පදාව ලබා කාන්තාවක් හට මාර්ගඵල සාක්ෂාත් කිරීම සිදු විය නොහැකි ද?

සිදුවිය හැකිය ආනන්දය, ගිහිගෙය හැරදමා මේ බුදුසසුනේ පැවිදි උපසම්පදාව ලැබූ කාන්තාවක් සේවාන්ඵලය ද සාක්ෂාත් කරන්නී ය. සකෘදාගාමීඵලය ද සාක්ෂාත් කරන්නී ය. අනාගාමීඵලය ද සාක්ෂාත් කරන්නී ය. අරහත්වය ද සාක්ෂාත් කරන්නී ය යන කරුණ සිදුවිය හැක්කේ ම ය.” මහා කාරුණිකයාණෝ පිළිතුර දුන් සේක.

එවිට ආනන්ද තෙරුන් බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ අයැද සිටියහ. “ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ගිහිගෙය හැර දමා මේ බුදු සසුනේ පැවිදි උපසම්පදාව ලැබූ කාන්තාවක් සෝවාන්ඵලය ද සාක්ෂාත් කරන්නී ය. සකෘදාගාමීඵලය ද සාක්ෂාත් කරන්නී ය. අනාගාමීඵලය ද සාක්ෂාත් කරන්නී ය. අරහත්වය ද සාක්ෂාත් කරන්නී ය. යන කරුණ සිදුවිය හැකි දෙයක් ම නම් කාන්තාවන් හට මේ බුදු සසුනේ පැවිදි උපසම්පදාව අනුදැන වදාරන සේක්වා! ස්වාමීනි මහා ප්‍රජාපතී ගෞතමී බිසව් තොමෝ භාග්‍යවතුන් වහන්සේට බොහෝ උපකාර කරන ලදහ. භාග්‍යවතුන් වහන්සේගේ සුළු මෑණියෝ ය. කුඩා කල කවා පොවා නහවා ඇති දැඩි කරන ලද්දී ය. පෝෂණය කරන ලද්දී ය. මෑණියන් මිය ගිය කල්හි කිරි පොවන ලද්දී ය. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන් හට මේ බුදු සසුනේ අනගාරික පැවිදි උපසම්පදාව අනුදැන වාදරන සේක්වා!

“යහපති ආනන්දයෙනි, මහා ප්‍රජාපතී ගෞතමිය විසින් මේ අෂ්ට ගරු ධර්ම පිළිගන්නී නම් එයම ඇයගේ උපසම්පදාව වන්නේ ය.” පැවසූ බුදුරජාණන් වහන්සේ ඒ ගරු ධර්ම අට ආනන්ද තෙරුන් හට පැවසූ සේක. ඒ මෙසේ ය.

උපසම්පදාවෙන් සියවසක් ගෙවූ භික්ෂුණිය විසිනුත් එදින ම උපසම්පදා වූ භික්ෂුවට වන්දනා කිරීම්, දැක හුනස්නෙන් නැඟිටීම්, ඇඳිලි බැඳ වැඳීම්, යහපත් වත් කිරීම් කළ යුත්තී ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

භික්ෂුණිය විසින් අවවාද දෙන භික්ෂුවක් නැති ආවාසයෙහි වස් නොඑළඹිය යුත්තී ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

භික්ෂුණිය අඩමසක් පාසා භික්ෂු සංඝයා වෙතින් ධර්මයන් දෙකක් ලැබිය යුත්තී ය. එනම් පොහොය කිරීම ගැන ඇසීමත්, අවවාද ලැබීමට එළඹීමත් ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නො ඉක්මවිය යුත්තී ය.

වස් වැසූ භික්ෂුණිය විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි තම පිරිසුදු බව ගැන තුන් තැනකින් පැවරිය යුත්තී ය. දැකීමෙන්, ඇසීමෙන්, සැක කිරීමෙන් ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මිය යුත්තීය.

බරපතළ ඇවතකට පත් භික්ෂුණීය විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි පක්ෂ මානත් පිරිය යුත්තීය. මේ ධර්මයත් සත්කාර කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නො ඉක්මවිය යුත්තී ය.

දෙවසරක් සය ධර්මයක හික්මුණු ශික්ෂා ඇති සික්ඛමානාව විසින් භික්ෂු, භික්ෂුණී උභය සංඝයා කෙරෙහි උපසම්පදාව සෙවිය යුත්තී ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නො ඉක්මවිය යුත්තී ය.

භික්ෂුණිය විසින් කවර හෝ කරුණක් වෙනුවෙන් භික්ෂුවකට ආක්‍රෝශ නොකළ යුතු ය. පරිභව නොකළ යුතු ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නො ඉක්මවිය යුත්තීය.

ආනන්දයෙනි, අද සිට භික්ෂුණීන් හට භික්ෂූන් කෙරෙහි අවවාද අනුශාසනා දීම ආදිය වැසුණේ ය. භික්ෂූන් හට භික්ෂුණීන් කෙරෙහි අවවාද අනුශාසනා දීම ආදිය නොවැසුණේ ය. මේ ධර්මයත් සත්කාර කොට, ගරු කොට, බුහුමන් කොට, පුදා දිවි ඇති තෙක් නොඉක්මවිය යුත්තී ය.

බුදුරජාණන් වහන්සේ මේ ගරු ධර්ම අට ආනන්ද තෙරුන් හට පවසා මෙසේ වදාළ සේක.

“ආනන්දය, ප්‍රජාපතී ගෞතමිය විසින් මේ ගරු ධර්ම අට පිළිගනු ලබන්නී නම් එය ම ඇයගේ උපසම්පදාව වන්නේ ය”

ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේ වන්දනා කොට අවසර ලබා ගෙන ප්‍රජාපතී ගෞතමිය ඇතුළු පිරිස වෙත පැමිණියේ ය. බුදුරජාණන් වහන්සේ විසින් පැවසු මේ ගරුධර්ම අට ඔවුන් හට පවසා සිටියේ ය. අනතුරුව උන්වහන්සේ මෙසේ පැවසූහ. “ගෞතමියනි, ඔබ මේ අෂ්ට ගරුධර්මයන් පිළිගන්නේ නම්, එය ම ඔබ හට උපසම්පදාව වන්නේ ය.”

ඉක්බිති පී‍්‍රතියෙන් පිනාගිය ප්‍රජාපතී ගෞතමී බිසව් තොමෝ ආනන්ද තෙරුන් හට මෙලෙස පිළිවදන් දුන්නා ය.

“ස්වාමීනි, ආනන්දයන් වහන්ස, අලංකාර ව සැරසෙනු කැමැති තරුණ ගැහැනු දරුවෙක් හෝ පිරිමි දරුවෙක් හොඳින් හිස සෝදා නෑමෙන් අනතුරුව, සමන්මල් හෝ දෑසමන් මල් දාමයක් ගෙන ශරීරයේ උත්තම අංගය වන හිසේ පැළඳ ගන්නාක් සේ මම ද මේ සම්බුදු රජාණන් විසින් දේශිත උතුම් ගරු ධර්මයන් පිළිගන්නෙමි”

ඒත් සමඟ ම එය මහා ප්‍රජාපතී ගෞතමිය ගේ පැවිද්දත්, උපසම්පදාවත් විය.

ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ සුළු මෑණියන් වූ මහා ප්‍රජාපතී ගෞතමී තොමෝ අෂ්ට ගරුධර්ම පිළිගෙන උපසම්පදාව ලැබුවා” යැයි දන්වා සිටියහ. මහා කාරුණික සම්මා සම්බුදු රජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා ඒ මොහොතේ මෙසේ පැවසූ සේක.

“ආනන්දයෙනි, කාන්තාව ගිහිගෙයින් නික්ම තථාගත ධර්ම විනය තුළ පැවිදි උපසම්පදාව නොලද්දී නම් මේ බුදු සසුන චිරාත් කල් පවතින්නේ ය. එනමුත් ආනන්දයෙනි, කාන්තාව ගිහිගෙයින් නික්ම තථාගත ධර්ම විනය තුළ පැවිදි උපසම්පදාව ලැබූ නිසා මේ සසුනේ චිර පැවැත්ම පිරිහී ගියේ ය. දැන් මෙතැන් සිට පන්සිය වසරක් ම ශාසනයේ පැවැත්ම වන්නේ ය.

ආනන්දයෙනි, ස්ත්‍රීන් බොහෝ ඇති, පුුරුෂයන් අල්ප වූ නිවසක් ඇතුළේ පහන් දල්වාගෙන රාත්‍රියේ සොරකම් කරන සොරු විසින් පහසුවෙන් ම ආක්‍රමණය කරන්නේ යම් සේ ද ස්ත්‍රියක් විසින් අනගාරික පැවිද්ද ලැබූ සසුන පිරිහී යන්නේ ය.

ආනන්දයෙනි, හැල් වී කෙතක සේතට්ඨිකා නම් රෝග විශේෂය හට ගැනීමෙන් ඒ හැල් වී කෙත වැනසී යන්නේ යම් සේ ද, උක් වත්තක මංජේට්ඨිකා නම් රෝග විශේෂය හට ගැනීමෙන් ඒ උක් වගාව වැනසී යන්නේ යම් සේ ද ස්ත්‍රියක් විසින් අනගාරික පැවිද්ද ලැබූ සසුන පිරිහී යන්නේ ය.

එනමුත් ආනන්දයෙනි, පුරුෂයෙක් විසින් දිය පිරි තටාකයක ජලය පිටතට නොයෑම පිණිස කල් ඇතුව ම නියර බදින්නේ යම් සේ ද මා විසින් ශාසනයේ රැකවරණය පිණිස කල් ඇතුව ම අෂ්ට ගරු ධර්මයෝ පණවන ලද්දේ ය.”

මෙසේ ගෞතම සම්බුදු සසුනේ කාන්තාවන් හට පැවිදි උපසම්පදාව ලැබී භික්ෂුණී සංඝයා ආරම්භ වූයේ වස්සාන සමයේ උදාවන උතුම් වූ බිනර පුන් පොහෝ දිනයේ දි ය. අපගේ ශාස්තෘන් වහන්සේ විසින් අෂ්ට ගරුධර්ම සහිත ව ලබා දුන් පැවිදි උපසම්පදාව නිසා ගෞතම බුදු සසුනේ සිව් වනක් පිරිස ම සෝභමාන කරවන භික්ෂුණී මහා ප්‍රජාපතී ගෞතමී රහත් මෙහෙණින් වහන්සේ, ඛේමා මහ රහත් මෙහෙණින් වහන්සේ, උප්පලවණ්ණා රහත් මෙහෙණින් වහන්සේ, අම්බපාලී රහත් මෙහෙණින් වහන්සේ, යශෝධරා රහත් මෙහෙණින් වහන්සේ, පටාචාරා රහත් මෙහෙණින් වහන්සේ ආදි රහත් මෙහෙණින් වහන්සේ ඇතුළු බොහෝ භික්ෂුණින් වහන්සේ බිහි වූ සේක.

එමෙන් ම බොහෝ කුල කාන්තාවෝ බුදු සසුහෙි පැවිදි ව අවංක ව පිළිවෙත් පුරා මගඵල නිවන් සාක්ෂාත් කළහ. එම භික්ෂුණීන් වහන්සේ අතර විශේෂ කුසලතාවලින් සමන්විත වූ භික්ෂුණීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙතින් අග තනතුරු ද ලදහ. අපගේ ශ්‍රී ලංකාද්වීපයට, භාග්‍යවතුන් වහන්සේට සම්මා සම්බුද්ධත්වයට පත්වීම පිණිස සෙවණ සැලසූ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවක් වැඩමවන ලද්දේ ද එම භික්ෂුණී පරපුරෙන් පැවත ආ සංඝමිත්තා මහරහතන් මෙහෙණින් වහන්සේ විසිනි.

අපගේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ ව්‍යක්ත වූ, විනීත වූ, විශාරද වූ, බහුශ්‍රැත වූ, ධර්මධර වූ, ධර්මයට අනුව ම දිවි ගෙවනා භික්ෂුවක් වේවා, භික්ෂුණියක් වේවා, උපාසකයකු වේවා, උපාසිකාවක් වේවා ඔවුන් සංඝයා වහන්සේ සෝභමාන කරනා බවයි.

පෙහෙවස් සමාදන් ව උතුම් සිල්පදයන් තුළ හික්මෙමින්, ධර්ම ශ්‍රවණය කරමින්, ඒ ධර්මයට අනුව දිවි ගත කරමින් බුදුරදුන්ගේ ශ්‍රාවක පිරිස සෝභමාන කරන්නට අපිත් උත්සාහ ගනිමු.