Print this Article


රැස්කරන තරමට අත්නොවිඳින මිහිර

රැස්කරන තරමට අත්නොවිඳින මිහිර

අහිංසක ජීවිත තමන් සතු කර ගැනීමට දෙව්දත් කුමරුන් කටයුතු කරද්දී සිදුහත් කුමරු එයට එරෙහි විය. උයනේ දී සිදුවන්නේ ද එයම ය. තමන් විදින ලද හංසයා තමාට ලබා දෙන ලෙස දෙව්දත් කුමරු ආයාචනා කරන අයුරු කවියා සිත්ගන්නා ලෙස කවියට නඟා ඇත.

මා හොඳ අයියා මට හිමි තිළිණය

කිසි වරදක් නෑ. මා වෙත ම දෙන්නකො

තමාට ඒ මාංසය පිළිබඳ කොතරම් තෘෂ්ණාවක් ඇද්ද යන වග දෙව්දත් කුමරුගේ ඉහත වචන තුළින් මනාව ඔප්පු වේ. එසේ ආයාචනා සිදු කරද්දී සිදුහත් කුමරු පෙන්වා දෙනුයේ ජීවත්වීම සියලු සත්ත්වයින්ට පොදු වූවකි. මගේ දයා කරුණාවට සීමාවක් නැත. ඔබ නැවත නැවත මෙසේ ඉල්ලා සිටින්නේ නම් නුවණ ඇතියන් වෙත ඉදිරිපත් කොට නිගමනයකට එළඹෙන ලෙසයි. රජසබය තුළදී ද සියලු දෙනාගේ නිගමනය වූයේ හංසයාගේ අයිතිය සිදුහත් කුමරුට ලැබිය යුතු බවයි.

ඒ නිසා මේ හසා

සිදුහතුන් වෙත දිය යුතු

මෙහි ප්‍රතිඵලය වූයේ සුවය ලද හංසයා නැවත තම සමූහයට එක්වීමයි. බෝසතුන්ගේ කුලුණු ගුණය වඩාත් පැහැදිලි වන අවස්ථාවක් ලෙස කවියා ඉතා සංයමයෙන් එය වර්ණනයට ලක්කර ඇත. බෝසතුන්ගේ මේ භවයේ මෛත්‍රිය ඉතා නිවැරැදි ව ආරම්භ වන අවස්ථාව ලෙස මේ අවස්ථාව ආනල්ඩ් සූරීන් සඳහන් කරයි.

ගිහිගෙය පිළිබඳ, රාජ්‍යත්වය සතුකර ගැනීම සම්බන්ධ ව බෝසතාණන් වහන්සේට අදහසක් නොතිබුණි. පිය රජුට නිරන්තරව ම අවශ්‍ය වූයේ කුමරු ගිහි ගෙය තුළ රඳවා ගැනීමට ය. ඒ වෙනුවෙන් එතුමා බොහෝ දෑ සිදු කළ බව බෞද්ධ ලෝකයාට රහසක් නොවේ. එහෙත් බටහිර ලෝකයට ඇතැම්විට එය රහසකි. ආනල්ඩ් සූරීන් තම සුගම භාෂාව භාවිත කොට සමස්ත ලෝකයට ම එම අවබෝධය ලබා දීමට මෙම කෘතිය තුළ දී උත්සාහ කරයි.

දර සෑයෙන් මගේ ගිනි දලු නික්මෙන දා
මාගේ රජය ඔබ සතු වන රජය සදා
කවා පොවා හැම වැසි ගත සිතද සොදා
අටු කොටු සමඟ පුරවන සැටි සිතන් නදා

සුද්ධෝදන රජු කුමරු අමතා පැහැදිලි කරන්නේ මා මියගිය පසු මේ රජය කුමරුට භාර වන බවත්, එහෙයින් කුමරු නිරන්තර ව කල්පනා කළ යුතු වන්නේ රට ස්වයංපෝෂිත කොට ජනතාවගේ සිත දිනා ගැනීමට ය. රජෙක් ලෙස ඒ හැඟීම මහත් උත්කෘෂ්ට බවත් ය. එහෙත් ගිහිගෙයට ඇලුම් නොකරන බෝසතුන්ට එය වචන මාත්‍රයක් පමණි.

අවට පරිසරය නරඹද්දි මහත් චමත්කාරයක් ඇතිවන බව කවියා දීර්ඝ ව වර්ණනයට ලක් කෙරේ. ඒ අතර කුමරු දකිනුයේ ගොවියන් තම ජීවන අරගලය සිදු කරන ආකාරය යි. ආස්වාදයට එහා ගිය ආදීනවයන් සෑම ක්‍රියාවක දී ම කුමරුට අවබෝධ විය. බොහෝ මිනිසුන් ආස්වාදජනක ලෙස දුටු සියලු දෑ තුළ කුමරු යථාර්ථය අත්විඳී ය. ඒ බව පරිසර වර්ණනයේ අවසානය තුළ කවියා මෙසේ සටහන් කරයි.

එහෙත් වඩා පිරික්සුමින්
නුවණ මෙහෙය එ තුමාණන්
මෙලෝ දිවිය සෙව්වන්දිය
මලෙහි කටු ද දුටුවා ම ය

මල්වල ලස්සන දන්නා බොහෝ දෙනෙක් නොදන්නා මලේ කටුවල ඇති කටුක බව බෝසතාණන් වහන්සේ මනාව තේරුම් ගත්හ. ඇළ දොළ ගංගාවේ, ලස්සන කූඩළු පඳුරු තුළ ඇති සුන්දරත්වය, සියොත් කැලගේ මියුරු නද, මී මැසි කුරුමිණි සත්ව හැසිරීම, මලින් බර අතු පතර මොනර නැටුම් මේ සියල්ල ඇහැ රවටන දෑ ලෙස එතුමා තේරුම් ගත් බව ඉහත කවි පෙළේ අවසන කවියෙන් ඔප්පු කෙරේ. සම්මුතික ලෝකය තුළ එවැනි දෑ තිබේ. එය බැහැර කළ යුත්තක් ද නොවේ. එහෙත් යථාර්ථය එතරම් ම සුබ නොවන බව රාජකීයයෙක් වූ කුමරු මනාව තේරුම් ගනී.

එකිනෙකාගේ පැවැත්ම වෙනුවෙන් මේ සමස්තය නිර්මාණය වී ඇති අයුරු වඩා හොඳින් සිදුහත් කුමරු අවබෝධ කොට ගන්නේ ද ස්වභාවික ලස්සන යැයි සම්මත පරිසරය තුළින් ම ය. එහි උච්චතම අවස්ථාවක් කවියා ඉදිරිපත් කරයි. ඒ තුළින් පෙනෙන්නේ අප දකින දෘෂ්ටිකෝණය මත අවබෝධය හෝ අනවබෝධය නිර්මාණය වන බවයි.

ගිල ගත් කුඩා කුහුඹුවන්
කටුසුන් ද ගොයි අද
ගැරඬින් කෙරේ ගොදුරු වී
උකුසන් සියල්ලන්
ඩැහැ ගත් විලස බලවතා
දුබල, පෙළූ බැව්
දුටු කුමරුවන් දුක් සුසුම්
හෙළුවා එ තැන්හී

ඉතා පුංචි සතුන් ගැරඬින් හා කටුස්සන්ගේ ගොදුරු බවට පත්වේ. එසේම ගැරඬින්, කටුස්සන් උකුස්සන්ගේ ගොදුරු බවට පත්වේ. මෙලෙසින් සෑම විටම ප්‍රබලයා, දුබලයා පෙළෙන අයුරු කුමරු සියැසින් දකී. මේ ක්‍රියාවලිය දකින කුමරු එයින් බලවත් ලෙස දුකට, වේදනාවට පත්වේ. සසර බිය තව තව අවබෝධ වීමට පටන් ගනී.

තව ද තවත් සතකු සොයාගත් ආහාරයක් වෙනත් සතෙකු ඩැහැ ගනී. කොවුලන් හා කාක්කන් අතර වරෙක ගැටුම් ඇති වේ. තවත් විටෙක කාක්කන්, උකුස්සන්ට කොටමින් පීඩාවට පත් කරයි. මෙය කුමරුට මහත් ශෝකයට හේතුවකි. එකිනෙකා ආහාර සහ වෙනත් අවශ්‍යතා සඳහා තවකකු ඝාතනය කෙරේ. මේ සියල්ල තුළ කුමරු සසර ගැන මහත් සේ තැති ගනී.

යමෙක් මැරූ අන් එකා තවෙකෙක් මරයි ඒ
වුව ඒ එකා ද මැරේ පසු යම් සැණෙක්හී
සැම දෑ පවත්නේ අහෝ මරණින් ලබා හිම්
බව දත් සුසුම් කුමරුවන් නෙළුවා එතැන්හී

සිදුහත් කුමරුගේ ඒ හැඟීම් කවියා ඉතා හැඟුම්බර ව කවියට නැඟීමට කටයුතු කර තිබේ. එතෙක් මරණයට පත්කර ජීවත්වීමට සූදානම් වුව ද, ඔහු ද තවකකු නිසා විනාශයට පත්වේ.

හැම වෙලාවක ම පවත්නේ ඒ ස්වභාවය පමණි. සදාකාලික වූවකු හඳුනාගත නොහැකි ය. සැනසීමක් ඇත්තේ නැත. පවත්නේ දුකක් පමණි. ඒ ස්වභාවය පුංචි සතාගේ පටන් මිනිසා දක්වා පොදු ය.

තම වගට ම අයත් මරු වෙත අදින
පණුවා පටන් මිනිසා තෙක් පණ රඳන

තම කුස පුරවා ගැනීමට වෙහෙසෙන ගොවියා ඒ මත අනේකවිධ වේදනාවන්ට ගොදුරු වේ. ඒ මත හරකබාන පීඩාවට පත්වේ. සමස්තය මත පවත්නේ කෙළවරක් නොමැති දුක් ගොඩකි. ජීවිතය මිහිරි සැපවත් එකක් බවට පත් කර ගැනීමට යාම තුළ සිදු වන්නේ බොහෝ පිරිසකට අමිහිරි අත්දැකීම් සමූහයක් උරුම වීම ය. එවන් ලෝකයක් සැපවත් ලෙස ගැනීමට කුමරු අතිශයින් ම මැළිවේ. ඔහු පිය රජුගෙන් මේ උභතෝකෝටිකය පිළිබඳ ප්‍රශ්න කිරීමට පෙළඹේ. කුමාර අවධියේ දී ම එසේ සිතීම අනාගත අවබෝධය කොතරම් ද යන්න අදහසක් ලබා දෙන්නාක් මෙනි.

මාගේ මවුපියන්
මා බිහි කළ මිහිරි ලොව
මේ වන්නේ ද? එ තු මෝ
තමන්ගෙන් ම අසා ගතු

තමන්ගේ මවුපියන් කියන ආකාරයට තමන් බිහිකළ මිහිරි සැපවත් ලෝකය මෙය දැයි කුමරු තමන්ගෙන් ම ප්‍රශ්න කෙරේ. එසේ ප්‍රශ්න කෙරෙනුයේ තම දෘෂ්ටියට අනුව එවන් මිහිරක් තමන් අත්නොවිඳින නිසාවෙනි. මේ ලෝකය එතරම් මිහිරි නොවීමට හේතු කුමරු ම හේතු සාධක ගෙනහැර පායි.

ගොවියාගේ අහර
ඔහුම හෙළන ඩහදියෙන්
කොතරම් ලුණු රස වෙයි ද
ඩහදිය ඒ මත වැගිරී
කොතරම් අමාරු ද
ගවයන්ගේ මෙහෙය අර

ගොවියාගේ ආහාරය ඔහු හෙළන ඩහදියේ ප්‍රමාණයට රසවත් ද? එසේම ඩහදිය ඒ මත වැගිරීමට කෙතරම් අමාරු අපහසු ද? යන්න කුමරු ප්‍රශ්න කරයි. එහිදී ගවයන්ගේ මෙහෙවර කිසිදු මිල මුදලකට ලඝු කළ නොහැකි ය.

මෙතරම් කටුක ක්‍රියාවලියක් තුළ ජීවිතය මිහිරි වන්නේ කෙසේ දැයි කුමරුගේ සිත කුමරුගෙන් ම ප්‍රශ්න කරන ආකාරය කවියා ආසියාවේ ආලෝකය නමැති කෘතියේ දී බෞද්ධ අබෞද්ධ ලෝකයට අවධාරණය කරයි.