පුනර්භවය
තේරුම් ගත යුත්තේ කෙසේද?
අතීතයේ මිළිඳු කියලා රජ කෙනෙක් හිටියා. එම රජතුමා සහ නාගසේන කියන හාමුදුරුවෝ අතර
සංවාදයක් ඇතිවෙනවා. එම අවස්ථාවේ දී මිළිඳු රජ්ජුරුවෝ නාගසේන හාමුදුරුවන්ගෙන් අහනවා
ඊළඟ භවයට ගමන් කරන්නේ මේ ආත්මය ද කියලා.
භන්තේ නාගසේන යෝ උප්පජ්ජති
සෝ ඒවං සො උදසු අඤ්ඤොති
යමෙක් උපදී ද... ඒ ඔහුම ද නැත්නම් වෙනත් කෙනෙක් ද? එහිදී නාගසේන හාමුරුදුවෝ දීර්ඝ
උත්තරයක් දීලා අවසානයේ දී මෙහෙම කියනවා.
මහාරාජ ධම්මසන්තති සන්දභති
අඤ්ඤො උප්පජ්ජති, අඤ්ඤො නිරුජ්ඣති අපුබ්බං
අචරිමං විය සන්දහති, තෙන සචසො නච අඤ්ඤො
මහාරජ, ධර්මයයි පවතින්නේ. වෙන කෙනෙක් උපදිනවා. වෙන කෙනෙක් විනාශ වෙනවා. පෙර නොවූ
විරූ අපූර්ව දෙයක් සිදුවෙනවා. පසුව යළි පුනර්භවය ලබන්නේ මරණයට පත්වූ පුද්ගලයාත්
නොවේ. හැබැයි වෙනත් අයෙකුත් නොවේ. මෙතැන තමයි තේරුම් ගැනීමේ අපහසුතාව තියෙන්නේ.
පුනරුප්පත්තිය කියන වචනය හැදිලා තියෙන්නෙ පුන+උප්්පත්තිය කියන වචනය දෙක එක්වීමෙන්
උප්පත්ති කියන වචනය හැදිලා තියෙන්නේ. පද ධාතුවෙන්. පද ධාතුවේ අදහස ගමන් කිරීමයි. ඒ
අදහසින් එන්නේ කර්තෘ වාචක පදයක්. ගමන් කිරීමට නම් පුද්ගලයෙක් සිටියි යුතුයි. ඒ
නිසයි පුනරුප්පතිය සංකල්පය ආත්මවාදයක් වෙන්නේ. තවදුරටත් කියනවා නම්, එය ගූඪ
ආත්මවාදයක්, විඥාන වාදයක් ලෙස හැඳින්වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ
පුනර්භවයයි. මෙතැනයි අප ලිහාගත යුතු ගැටලුව තියෙන්නේ.
පුනරුප්පත්තිය සංකල්පයෙන් මිදී පුනර්භවය තේරුම් ගත යුත්තේ කෙසේද?
බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දැන් අපි කරන ක්‍රියාව අනුව ඊළඟ උප්පත්තියක් ඇතිවන
බවයි. අපි ක්ෂණයක් තමයි ජීවත්වෙන්නේ. කාලයක් වශයෙන් ගතහොත් පවතින්නේ වර්තමාන කාලය
පමණයි.
අතීතය ගැන ශෝක වීමටවත්, අනාගතය ගැන සිහින මැවීමටවත් සිදුවෙන්නක් නොවන බවත්
සිදුවන්නේ වර්තමානයේ ජීවත්වීම පමණක් බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ.
ඇත්තෙන්ම ජීවත් වෙනවා යනුවෙන් අදහස් කරනුයේ මිය ගිය අතීතය හෝ උපදින්න තිබෙන අනාගතය
නොවෙයි. සැබෑ තත්ත්වය යනු දැන් පවත්නා තත්ත්වයයි. එනම් වර්තමානයයි. වර්තමානයෙන්
තමයි අතීතයට යන අනාගතයට යා හැක්කේ.
අපි හැම අවස්ථාවක ම ජීවත් විය යුත්තේ වර්තමානයේ යි. නමුත් අපි හැම අවස්ථාවක ම
වර්තමානයේ ජීවත් වන්නේ නැහැ. අපි පාරට ගිහිල්ලා බස් නැවතුම් පොළේ ඉන්නවා කියලා
හිතමුකෝ. ඒ වෙලාවේ එතැන සිටින කාගෙන් හෝ අපි අහනවා අහවල් බස් එක තියෙනවද කියලා.
එවිට එතැන සිටි කෙනෙක් කියන්න පුළුවන්. ඒ බස් එක ගියානේ කියලා. එක්කෝ අපි
ජීවත්වෙන්නේ අතීතයේ නැත්නම් අනාගතයේ. එහෙත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සැබෑ ලෙස
ජීවත් විය යුත්තේ වර්තමානයේ කියලයි. වර්තමානය යනු මම හෝ ඔබ හෝ වෙන කවුරු හෝ මේ
මොහොතේ දී ගන්නා තීන්දුවයි. වර්තමානයේ ගන්නා තීන්දුව හොඳ නම් අපට යහපත් ප්‍රතිඵලයක්
ලැබෙයි. පුනර්භවය පිළිබඳ මුල් අදහස එනම් යමක් සෑම මොහොතක ම ඇතිවෙමින් නැතිවෙමින්
පවතින ස්වභාවය සහ නැවත යමක් හට ගැනීම මේ මොහොතේත් එනම් වර්තමාන කාලයේත් සිදුවිය
හැකියි. ඒ අනුව බලන කළ පුනර්භවය යන්න මේ මොහොතේදීත් සිදුවෙමින් පවතී. යම් පුද්ගලයකු
මිය ගිය පසු නැවත පුනර්භවයක් ලැබීම යන සංකීර්ණ ක්‍රියාවලියට සාපේක්ෂ ව අප මේ කියන
කාරණය ප්‍රත්‍යක්ෂ කර ගැනීම පහසු යැයි සිතේ. ඒ නිසා පවෙන් මිදී හැම මොහොතක ම
නිවැරැදිව ජීවත්වීම තමයි අප කළ යුත්තේ. ඉතාමත් දියුණු තත්ත්වයකට ඥාන ශක්තිය
මෙහෙයවීමට බැරි අයකුට වුව ද වර්තමානය හා පුනර්භවය අතර ඇති මෙම සංකල්පය තේරුම් ගැනීම
අපහසු නැහැ. ඒ නිසා හැම මොහොතේ දීම නිවැරැදිව, යහපත් ව, පවෙන් මිදී ජීවත්වීමටයි අප
උත්සාහ කළ යුත්තේ.
බුදු දහමේ ඉගැන්වෙන අපණ්ණක පටිපදාව එනම්, පරලොවක් ඇතත් නැතත් යහපත් ව ජීවත්වන
පුද්ගලයාට අවැඩක් සිදුනොවන බව පිළිගෙන පවින් වැළකීම වඩා යහපත්.
ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
කළොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
නැතත් එ පරලොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව්කළ හට වෙයි විපත
සුභාෂිතයේ මේ දක්වා ඇත්තේ ඉතා ගැඹුරු ධර්ම සංකල්පයක් ඉතාමත් සරලවයි. පුනර්භවය
විශ්වාසය නොකරන පුද්ගලයකුට පිළිපදින්න පුළුවන් නොවරදින මාර්ගය මෙයයි. පරලොව ඇතත්
නැතත් මේ මොහොතේ නිවැරැදි ව ජීවත්වීමටයි අදිටන් කර ගත යුත්තේ. එහෙත් වැරැදිලාවත්
පරලොවක් තිබුණොත් පරලොවක් නැතැයි කියා පව් කරන්නට ඵල විපාක විඳින්න සිදුවෙනවා.
පුද්ගලයන් වැරැදිවලට වඩාත් පෙලැඹී සිටින්නේ පරලොවක් විශ්වාස නොකිරීම නිසයි. එලෙස
පරලොවක් පිළිබඳ විශ්වාස නොකරන අයට මෙය සරලව තේරුම් ගැනීම සඳහා උදාහරණයක් ලෙස
මත්වතුර බොන පුද්ගලයකුගේ ක්‍රියා කලාපය විමසා බලන්න.
අපේ මිනිස්සු සිතේ සතුටටත් මත් වතුර බොනවා. එසේම දුකටත් මත් වතුර බොනවා. නමුත් හොඳ
කල්පනාවෙන් සිටි පුද්ගලයා මත්වතුර බී මත්වූවාට පසුව තමන් කියන්නේ කරන්නේ මොකක්ද
කියා දන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු තම බිරිඳ සමඟ රණ්ඩු සරුවල් කරන්න
පුළුවන්. දරුවන් සමඟ රන්ඩු සරුවල් කරන්න පුළුවන්.
මත්වතුර බීමට පටන්ගන්නා විට ඇති වූ සිතිවිලිත්, මත්වතුර බීවායින් පසුව හටගත්
සිතිවිලිත් වෙනස් වූයේ ඇයි? මත්වතුර බීමේ ප්‍රවිෂ්ටයත් වැරැදි සිතිවිල්ලක්. ඒ නිසා
ඉන් උපදිනා සිතිවිලිත් වැරැදියි. ඉන් හටගන්නා ප්‍රවිෂ්ටයත් වැරැදියි. මෙයත්
පුනර්භවයක්. ඉන් අදහස් වන්නේ නැහැ භවය ගමන් කරනවා කියලා. මේ ආත්මයේ දී ම එය අප
ගොඩනඟා ගන්නවා. නැතිනම් හටගන්නවා. මෙයයි අප තේරුම් ගත යුත්තේ.
නරක සිතිවිලිවලින් ම පුද්ගලයා මරණයට පත් වුවහොත් ඔහු උපදින්නේ නරක ස්ථානයකයි.
මෙහිදී තේරුම් ගත යුත්තේ මෙයයි. මෙම නරක සිතිවිලි ඇතිවීම වළක්වා ගත හැකි නම්, එහි
ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවන ශ්‍රද්ධාව ඔහු සුගතිගාමී පුනර්භවයකට හේතු වෙනවා. කර්ම
නිමිති නිසා හටගත් ගති නිමිති ඔහුගේ පරලොව ජීවිතය යහපත් කරනවා.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිනි.
හේමමාලා රන්දුනු |