Print this Article


දුකෙන් බියෙන් තොර ජීවිතයකට ප්‍රතිපත්තිගරුක බව

දුකෙන් බියෙන් තොර ජීවිතයකට ප්‍රතිපත්තිගරුක බව

විනයානුකූල ව මෙන් ම ධර්මානුකූලවත්, ප්‍රතිපත්ති ගරුකවත් වාසය කිරීමට සුදුසු කාලය පින්බර වස්සාන සමයයි. විශේෂයෙන් ම, භික්ෂූන් වහන්සේ වෙහෙර විහාරස්ථානවල වස් තුන් මස තුළ වස් වසන අතර, ගිහි පින්වතුන් චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස යන සිව්පසයෙන් උන්වහන්සේට උපස්ථාන කරයි.

භික්ෂූන් වහන්සේලාගෙන් ගිහි බෞද්ධයින් බලාපොරොත්තු වන්නේ, ආගමික සහනශීලීතාවය යි. භික්ෂූන් වහන්සේ බෞද්ධයිනට අර්ථයෙන්, ධර්මයෙන් සංග්‍රහ කරනු ඇත. බෞද්ධ පින්වතුන් අවුරුද්දේ අනිත් කාලවලට වඩා ප්‍රතිපත්ති ගරුක ව දැහැමි චර්යා රටාවක් හුරුපුරුදු කර ගනිමින් ත්‍රිවිධද්වාරයෙන් ම කුසල් රැස්කර ගනී. බුදුරජාණන් වහන්සේ වස් සමාදානය සම්බන්ධ ව දේශනා කළ ආකාරය සොයා බැලීම ඉතා වැදගත් වේ.

වස් සමාදන්වීම දෙයාකාරයකින් සිදු වේ. එනම්, පෙරවස් හා පසුවස් යනුවෙනි. මෙයින් වඩා වැදගත් වන්නේ පෙර වස් සමාදන් වීමයි. ඒ අනුව, ඇසළ පොහෝ දින පෙරවස් ද, නිකිණි පොහෝ දින පසු වස් ද සමාදන් වීම සිදු වේ. වස් සමාදන් වී මාස තුනකට පසුව වස් පවාරණය සිදු කොට අවසානයට කඨින පින්කම සිදු කොට වස් කටයුතු අවසන් කරති. පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේට කඨින චීවරය ලබා ගැනීමේ වරප්‍රසාදය ඇති අතර පසුවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේට කඨින චීවරයක් ලබා ගැනීමේ වරප්‍රසාදය නොලැබෙනු ඇත.

වස් කාලය පිළිබඳ ගිහි බෞද්ධයින්ට ඇති අවබෝධය තවත් පුළුල් කිරීම් වස් කරුණු කිහිපයක් ඉදිරිපත් කිරීම වැදගත් යැයි සිතමි.

ඒ අනුව විමසා බැලීමේ දී හැම අවුරුද්දක ම මාස හතර බැගින් ඍතු තුනකට බෙදා වෙන් කොට ඇත. එනම්, හේමන්ත, ගිම්හාන, වස්සාන යනුවෙනි. සිද්ධාර්ථ කුමාරයාට ද රම්‍ය සුරම්‍ය සුභ නමින් මාළිගා තුනක් ඉදි වූයේ ද එම සෘතුවලට අනුව ය. හේමන්ත සෘතුවේ අධික ශීතලක් ද, ගිම්හාන සෘතුවේ අධික උණුසුමක් ද, වස්සාන සෘතුවේ අධික වර්ෂාවක් ද පවතිනු ඇත. කුරුලු සිවුපා සතුන්ගේ පවා සිරිත වන්නේ, වස්සාන ඍතුවේ එක් තැනක වාසය කිරීමයි. බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමෙන් පසුව වුව ද, භික්ෂූන් වහන්සේ වස්සාන ඍතුවේ එක් තැනක වාසය කිරීමක් නොකරන ලදී. කොතැනක හෝ ලැබුණු තැනක වාසය කිරීම සිරිතක් කොට ගෙන තිබුණි. භික්ෂූන් වහන්සේ වැස්සට තෙමෙමින් සංචාරයේ

යෙදීම ගිහි පින්වතුන්ගේ අප්‍රසාදයට හේතුවක් විය. මේ හේතුවත් සමඟ වැසි සමය තුළ එක් තැනක වාසය කරන ලෙස බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ. ඒ සම්බන්ධ කරුණු බොහොමයක් චුලවග්ග පාලියේ වස්සූපනායිකක්ඛන්ධකයේ සඳහන් වී ඇත. ඒ අනුව විමසා බැලීමේ දී,” අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං”යනුවෙන් වස්සාන සෘතුවෙහි වස් එළඹෙන්නට අනුදනිමි’යි වදාළහ.

එක තැනක මාස කිහිපයක් වාසය කිරීම, මහණදම් පිරීමට සුදුසු ම අවස්ථාවක් ලෙස සලකා ඊට අදාළ විනය ප්‍රතිපත්තිවලට අනුව කටයුතු කරන ලෙසට අනුදැන වදාළහ. උපසපන් සියලු ම භික්ෂූන් එය සිරිතක් කොටගෙන වස් සමාදන් වීම සිදු කළහ. වස් කාලය තුළ සංචාරයේ යෙදීමේ සිරිතක් නැත. එහෙත්, ඉතාමත් අත්‍යවශ්‍ය ම ගමන් බිමන් සිදු කළ හැකි ය. දින හතකට පෙර පැමිණීමේ බලාපොරොත්තුවෙන් වස් විසූ ස්ථානයෙන් බැහැර වීමේ හැකියාව පවතී. හත්වැනි දිනය ගෙවෙන්නට පොරාතුව කෙසේ හෝ තමන් වස් විසූ ස්ථානයට පැමිණිය යුතු ය. මේ ක්‍රමය ධර්මය තුළ උගන්වන්නේ ”සත්තාහකරණය”යනුවෙනි. එයින් පැහැදිලි වන්නේ, දින හතක් පමණක් ආරාමයෙන් බැහැර ව විසිය හැකි බවයි. දින හතකට වඩා වැඩියෙන් බැහැර ව වැඩසිටීම වස් ජේදනයට හේතුවක් වනු ඇත. වස් විසූ ස්ථානයෙන් බැහැර ව ආගමික කටයුත්තක් වැනි වැදගත් දේකට සම්බන්ධ වන විට එදින ම ආපසු පැමිණීමට වග බලා ගත යුතු ය. එය හැඳින්වෙන්නේ ”සතිකරණය”නමිනි. සති යන්නෙන් පැහැදිලි වන්නේ සිහිය බව අවබෝධ කර ගත යුතු ය. සත්තාහකරණයෙන් වස් විසූ ස්ථානයෙන් බැහැර යා හැකි, භික්ෂුණී, සික්ඛාමාතා, සාමණේර, සාමණෙරි මවුපියන්, උපාසක, උපාසිකාවන් ආරාධනාවක් කළ කල්හිත් ඔවුනොවුන් ගිලන් වූ කල්හිත්, යටත් පිරිසගෙන් පණිවිඩයක් ලැබුූ කල්හිත් පමණි. එසේ නොමැති ව ස්වයං තීරණයක් අනුව පන්සලෙන් පිටවීමට හැකියාවක් නැත. වස් විසූ භික්ෂූන් වහන්සේ නමකගේ වස් කැඩී යාමට නොයෙක් හේතු මතු වේ. සිවුපා සතුන්, සර්පයින්, සොරුන්, අමනුෂ්‍යයින් හිරිහැර බාධා කරන විට ද ගින්නෙන් හෝ ජලයෙන් හෝ ගමට හෝ සෙනසුනට හෝ හානි පැමිණි විට ද සමාදන් වූ වස් බිඳ දැමිය හැකි ය. පිණ්ඩපාතය නොලැබීම, දායකයින්ගේ නොසැලකිල්ල, වෙනත් වැරැදි ආදිය නිසා ද වස් බිඳහෙළිය හැකි ය. එහි වරදක් නොමැති බව චුල්ලවග්ග පාලියේ වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කොට ඇත.

වස් විසිය යුතු තැන් මෙන් ම වස් නොවිසිය යුතු තැන් ද බුදු හිමි පෙන්වා වදාළහ. ඒ අතර, බොහෝ දුරට වස් විසීම සඳහා සුදුසු තැන් වශයෙන් තෝරා ගනු ලබන්නේ පන්සලක්, ආරාමයක් ආදී පහසු ස්ථානයන් ය. එසේ නැති ව ගොපල්ලන් හා සාර්ථවාහකයන් වසන තැන් මෙන් ම නැවක ද වස් විසීමට අනුදැන වදාරා ඇති අතර, ඔවුන් යන එන තැන්වලට වස් විසූ හික්ෂූන් වහන්ස්ට ද යා හැකි බව දක්වා ඇත. සාර්ථවාහකයන් යනුවෙන් පැහැදිලි කොට ඇත්තේ, ගැල් වලින් ගමන් ගන්නා වෙළෙන්දන් ය. ගස් බෙන, ගස් අතු බෙදුනු තැන්, එළිමහන්, වහලක් දොරක් නැති තාප්පයකින් වට වූ තැන්, විශාල කුඩ, විශාල හැලි ආදි ස්ථානයන් තුළ සිටීමට හැකියාවක් තිබුණ ද වස් විසීම නුසුදුසු බව දේශනා කළහ.

වස් කාලය පින් කාලය වශයෙන් ද හැඳීන්වෙන බැවින්, එම කාලය තුළ පැවිදි කරවීම් හා උපසම්පදා කරවීම් සිදුකිරීම ද සුදුසු බව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ. වස් විසීම බුද්ධ චරිතයත් සමඟ සංසන්දනය කර බැලීමෙන් පෙනී යන්නේ පළමුවෙන් ම එය සිදු කර ඇත්තේ මංගල ධර්ම දේශනාව සිදු කිරීමෙන් අනතුරු ව බවයි. වෙසක් පොහෝ දින සම්මා සම්බුදු බව ලබා මාස දෙකකට පසුව බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරන ලදී. ඊට පසුදා උන්වහන්සේ බරණැස් නුවර ඉසිපතනාරාමයේ මිගදාය නම් වූ ස්ථානයේ වස් විසීම සිදු කළහ.

අවුරුදු 35 දී සම්මා සම්බුදු පදවි ලැබූ උන්වහන්සේ පිරිනිවන් පෑවේ අවුරුදු අසූවේ දී ය. ඒ අතර කාලය අවුරුදු හතළිස් පහකි. එම කාලය හඳුන්වන්නේ පන්සාලිස් වසක් යනුවෙනි. මේ කාලය තුළ විසිපස්වසරක් ම වස් විසුවේ සැවැත් නුවර ය. බුදුරජාණන් වහන්සේ පහළ වූ යුගය තුළ සැවැත් නුවර කෝටි තිහක් වැනි ජනගහනයක් සිටීමත් එහි දිගු කාලයක් වස් විසීමට හේතුවක් විය.

බුදුරජාණන් වහන්සේ තරම් ශීලය ආරක්ෂා කළ උත්තමයෙක් මේ ලෝක ධාතුව තුළ තවත් දක්නට නොලැබේ. උන්වහන්සේගේ චරිතය තුළින් පැහැදිලි වන්නේ, සෑම ආත්ම භාවයක දී ම දිවි දෙවැනි කොට ශීලය පළමු තැන්හිලා තබා සීලය ආරක්ෂා කළ බවයි. එයට හොඳම නිදසුනක් ලෙස බෝසතාණන් වහන්සේ තිරිසන් භවයක නාග රාජයෙක් ව ඉපිද සිල් ආරක්ෂා කළ කතා පුවත ඉතා වැදගත් ය. බෝසතාණන් වහන්සේ භූරිදත්ත නම් නාග රාජයෙක් ව එක් ආත්මයක ඉපදී, සීලය ආරක්ෂා කරමින් කල් ගෙවන ලදී. දිනක් නා රජු ළඟට පැමිණි අහිගුන්ඨිකයින් පිරිසක් නා රජු විශාල ලීයකට තබා බැඳ, ශරීරය ද විද, ඒ තුළින් ලණු රැහැන් වැල් දමා තදට වෙළන ලදී.

එහිදී, නා රජු කල්පනා කළේ මේ සියලු මිනිසුන් විෂ දූමයකින් වනසාලන්නට හැකියාව ඇතිමුත්, එසේ නොකොට සමාදන් වූ ශීලය ආරක්ෂා කිරීම වැදගත් බවයි. තමන්ගේ ජීවිතයට වඩා ශීලය ආරක්ෂා කිරීම උතුම් බව දැන අන් ජීවිතවලට හානියක් නොකොට සීලය ආරක්ෂා කළ අයුරු එම කතා පුවතින් පැහැදිලි වේ.

ඉහත කරුණුවලට අනුව පැහැදිලි වන්නේ, වස් කාලය තුළ ශීලය ප්‍රමුඛස්ථානයෙහි තබා කටයුතු කළ යුතු බව ය. පැවිදි පක්ෂය මෙන් ම ගිහි පක්ෂය විසින් ද පංචසීල ප්‍රතිපත්තීන්හි පිහිටා වස් කාලය තුළ තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් කුසල කර්ම ද සිදු කරමින් ජීවිතය පවත්වා ගෙන යාම ඉතා වැදගත් වේ.

තම තමන් තුළ තිබෙන පවතින අඩුපාඩු සකස් කර ගනිමින් ආධ්‍යාත්මික දියුණුව උදෙසා යහපත් කාර්යයන්වල නියැළිය යුතු ය. එය කායික, මානසික දෙඅංශය ම සුවපත් කර ගැනීමට හේතුවක් වනු ඇත. සිත, කය, වචනය සංවර වූ කල, මුළු මහත් සමාජ තලයම ක්‍රියා කරන්නේ යහපත් පුද්ගලයින් වශයෙනි. ඒ අනුව චර්යාමය වෙනසක් ඇතිවීමත්, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර, පළිගැනීම් ආදි නපුරු සිතිවිලි නැතිවීමත් ඒ වෙනුවට, කරුණාව, දයාව, මෛත්‍රිය, අවිහිංසාව වැනි උතුම් මානුෂික ගුණාංග මතුවීමත්, එතුළින් සියල්ලෝ ම දුකෙන් බියෙන්තොර ජීවිතයකට අවතීර්ණ වීමත් සිදු වන්නේ ය.

සෑම දෙනාගේ ම ලෞකික සැපත ඒ අයුරින් සිදුවෙන කල්හි ලෝකෝත්තර සුවය උදෙසා ද එය පිටුවහලක් වනු ඇත. ඒ අනුව උදා වූ වස් කාලය අපතේ නොයවා යහපත් දෙයක් උදෙසා ම තම ජීවිතය යොමු කර වීමට උත්සාහ කරමු.