දුසිරිතෙන් දුරුවෙමු
අප මේ සංසාරයේ සැරිසරා ආ ගමන් මඟ ගැන දන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ පමණයි.
සත්ත්වයා සුගති දුගති ලෝකවල සැරිසරන ආකාරයත්, කර්ම විපාකවලට බඳුන්වන ආකාරයත්, තම
තමන් වෙතින් සිදු වූ වැරැදි නිසා දුක් විපාකවලට පත්වන ආකාරයත් ධර්මයේ සඳහන් වෙනවා.
අප කළ කී දේ, සිතු දේ, නිසාම අප බොහෝ විට විඳවනවා. කර්මය කියන කඩ ඇණයෙන් බැඳී
අවිද්‍යාව, තණ්හාව සමඟ පැටලී යන සංසාර ගමන ගැන බුදුරජාණන් වහන්සේ සම්බුදු නුවණින්
දැකලයි මේ දේ අපට කියා දෙන්නේ.
එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාළා කයින් වචනයෙන් මෙන්ම සිතිනුත් මේ දීර්ඝ ගමනේ දී
අපිට බොහෝ අඩුපාඩු අතපසුවීම්, දුශ්චරිත සිදුවන බව.
සතුන් මැරීම, අන්සතු දේ සොරකම් කිරීම, වැරැදි කාම සේවනයේ යෙදීම කයින් සිදුවන
දුශ්චරිත යි. කෙනෙක් බොරු කියනවානම්, තමන්ටත් අනුන්ටත් යහපත නො වන හිස් වචන කියනවා
නම් සමගිය නැතිවෙන, බිඳවන කේළාම් කියනවා නම් තව කෙනකුගේ සිතේ සැනසීම, ශාන්තිය, සතුට
නැතිවන නපුරු වචන කියනවා නම් ඒ වචනයෙන් වන දුෂ්චරිතයි.
ඒ වගේම කෙනෙක් අනුන්ගේ දේට ආශා කරමින් ඒ දේ තමාගේ කර ගැනීමට කැමැත්තක් ඇතිකර ගෙන ඒ
කැමැත්තට යට වී වාසය කරනවා නම්, තරහ සිතින් වාසය කරනවා නම්, ඒ මනසින් සිදුවන
දුෂ්චරිතය යි.
මේ සියලු කරුණු ගොනුකර භාග්‍යවතුන් වහන්සේ කාය, වචී, මනෝ දුෂ්චරිත ලෙස නම් කළා.
කෙනෙක් මේ දුෂ්චරිත දැන හෝ නොදැන සිදු කරනවා නම් ලැබෙන්නේ දුක් විපාක පමණයි. අපගේ
ශාස්තෘන් වහන්සේ චුතපපාත ඥානයෙන් දුටුවා සුචරිතය හා දුෂ්චරිතය කරන සත්ත්වයාගේ උපත
පිළිබඳව. මේ සත්ත්වයා සුගතියෙන් දුගතියටත්, දුගතියෙන් සුගතියටත් අනේකප්‍රකාර හැල
හැප්පීම්වලට මුහුණ දෙමින් දුක, සැප අතර දෝලනය වෙමින් ජීවිත ගත කරන ආකාරය සම්බුදු
නුවණින් අවබෝධ කර ගත්තා. සුචරිත දේ සසරේ සැපය පිණිසත්, දුෂ්චරිතවත් දේ සසරේ දුක
පිණිසත් හේතු වෙනවා.
භාග්‍යවතුන් වහන්සේ වදාළා කයින් සිදුවන වැරැදි නිවැරැදි කර ගන්නට තිබෙන්නේ කය සංවර
කර ගැනීමෙන්. කියා වචනයෙන් සිදුවන වැරැදි වචනය නිවැරැදි කර ගැනීමෙන් සහ මනසින්
සිදුවන වැරැදි ප්‍රඥාවෙන් දැක ප්‍රහාණය කළ යුතු බව උන්වහන්සේ වදාළා. මනසින් තමා අපි
ඊර්ෂ්‍යා කරන්නේ. ක්‍රෝධ කරන්නේ. එකටෙක කරන්නේ. අන් අයගේ සතුටට කැමැති නො වන්නේ. මේ
සියල්ලම සිතේ ඇතිවන දුෂ්චරිත. මේවා දුරුකළ යුත්තේ ප්‍රඥාවෙන්ම යි. භාග්‍යවතුන්
වහන්සේ දෙවියන්ටත්, මිනිසුන්ටත් කියා දුන් සීලය එක යි. සියලුදෙනා නිවන් මගේ ගමන් කළ
යුත්තේ ඒකායන මාර්ගය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළයි.
අප දන්නවා සුගති දුගති ලෝකවලට මාරු වෙවී සසරට වැටුණු සත්ත්වයා බොහෝ දුර ගමනක් යනවා.
සියලුම දෙනා මහ ගෙදර කරගෙන සිටින්නේ සතර අපාය යි. සසරට වැටුණු සත්ත්වයාගේ මූලික
ස්වභාවය වන්නේ වරදට නැමුණු බවයි. සසරේ පුරුදු ලෙස නැවත නැවත එකම වරද වෙන්න පුළුවන්.
සසරේ දෝෂයක් නිසා හෝ අසත්පුරුෂයාගේ ඇසුර නිසා බොහෝම ගුණ යහපත්, අවංක, අහිංසක ව
ජීවත් වූ උදවියට සසර ගමන වරදිනවා. සත්පුරුෂ ඇසුර නිසා බොහෝවිට බොහෝ දෙනා සසර ගමනේ
නිවරැදි වෙනවා. තමාගේ සිතට එකඟ නැති දේ කරන්නට සිදුවන්නේ සසරේ පුරුදු නිසා. අපගේ
ශාස්තෘන් වහන්සේගේ ධර්මය පරිපූර්ණ අයට යි. පරිපූර්ණත්වය උදෙසා කැමැති අයටයි. වරදක්
කළ කෙනකුට නිවැරැදි වෙන්නට මේ දහමේ අවස්ථාව තිබෙනවා. වීර්යය, සිහිය, ප්‍රඥාව
උපදවාගත් කෙනාට වරදින් නැඟී සිටින්නට පුළුවන්.
කෙනකු වරද වරද ලෙස දැන එයින් නැඟී සිටින්නට වෙර දරද්දී සමාජය ඊට එරෙහිව නැඟී
සිටින්නට පුළුවන්. ඒ වගේම සිත ඇතුළේ ඉපදෙන කෙලෙස්, නො පෙනන ලෝකයේ පීඩා ආර්ථික
ප්‍රශ්න මේ ආදී බොහෝ කරුණු නිසා නැවත හැරෙන්නට ඔහුට ලොකු ශක්තියක්, වීර්යයක් අවශ්‍ය
වෙනවා. තුනුරුවන කෙරෙහි ශ්‍රද්ධාව බලවත් කෙනෙක් වෙන්නත් ඕනෑ. මේ බුද්ධ ශාසනයේ
වරදින් මිදුණ බොහෝ දෙනා අපට මුණගැසෙනවා. වරදින් අත් මිදෙනවා කියන්නේ කෙතරම්
ශ්‍රේෂ්ඨ දෙයක් ද?
මේ වගේ යුගයට පංචසීලය හෝ කඩ නො කොට ආරක්ෂා කිරීමට බලවත් වීර්යයන් අවශ්‍ය වෙනවා.
වරදින් නැඟී සිටීමටත්, බලවත් වීර්යය අවශ්‍ය වෙනවා. එනිසා තුනුරුවනට දිවි පුදා සිත,
කය, වචනය ආරක්ෂා කර ගන්නට අදිටන් කර ගනිමු.
නයනා නිල්මිණී |