Print this Article


අහිංසක කුමරුගේ අප්‍රකට තොරතුරු

අහිංසක කුමරුගේ අප්‍රකට තොරතුරු

ලොව්තුරා බුදුපියාණන් වහන්සේ වැඩ වාසය කළ සමයේ ඉන්දියාවේ රජකම් කළ, බුදුන් වහන්සේ සමඟ සමීප හිතවත්කමකින් යුක්ත වූ කොසොල් මහ රජතුමා පිළිබඳ ව බෞද්ධ අපි බොහෝ කාරණා අසා ඇත්තෙමු.

දිනක් රජතුමා අලුයම් කාලයේ අවදි වූ විට තම මාළිගයේ තිබෙන සියලු ආයුධ දිලිසෙන බව දුටුවේ ය. එයට හේතුව කුමක්දැයි දැන ගැනීමට රජුට දැඩි අවශ්‍යතාවක් ඇති විය. නමුත් අලුයම් කාලය නිසා නිදි වර්ජිත ව රැය පහන් කළ රජතුමා උදේ තම මාලිගයට පැමිණි පුරෝහිත බ්‍රාහ්මණයකු වන “ගග්ග“ නම් පඬිවරයාට මේ ගැන දැන්වීය. ඔහු පැවසුවේ අද අලුයම් කාලයේ තම බිරිඳට දරුවකු ලැබුණ බවත්, ඉන්පසුව මෙම ආයුධ දිලිසීම සිදු වූ බවත් ය. දෙදෙනා අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදුවූ අතර, පුරෝහිතයා පැවසුවේ, දරුවාගේ උපන් වේලාව අනුව අනාගතයේ පල් හොරකු වීමට ඉඩකඩ ඇති බවයි. රජතුමා අනාගතයේ දී වෙන්නේ මොනවා දැයි අපි බලමු’යි කියා ඔහු අස්වසාලීය. මේ දරුවාගේ මව ‘මන්තානී” නම් වෙයි. දරුවා ප්‍රචණ්ඩ අයකු වන බැව් ප්‍රකාශ වීම නිසා ඊට විරුද්ධ අදහසක් ඇති ‘අහිංසක’ යැයි කියා නම තැබීය.

භාරතීය සමාජය තුළ ප්‍රභූ පවුලක දරුවෙක් ඉපදුණු විට ශාස්ත්‍ර දත් බමුණන් ගෙන්වා දරුවාගේ අනාගතය පිළිබඳ කරුණුූ විමසීම ප්‍රකට ව තිබු අදහසක් බව පෙනේ. සිදුහත් බෝධි සත්වයන් වහන්සේ උපන් අවස්ථාවේ දී ද මේ ගැන විමසා ඇති අතර, කොණ්ඩඤ්ඤ බමුණා පවසා ඇත්තේ මෙම කුමරු අනාගතයේ දී නිත්‍ය වශයෙන් ම බුදු වන බවයි. බිම්බිසාර රජතුමාගේ පුත්‍රයා වූ අජාසත් කුමරා ඉපදුණු අවස්ථාවේ ඔහු අනාගතයේ පිතෘ ඝාතකයකු වන බව පවසා ඇත. අද අප රටේ වුවත් දරුවෙක් උපදින විට ඡ්‍යොතිෂ්‍යවේදියකුට කියා උපන් වේලාව බලවා දරුවාගේ අනාගතය ගැන තොරතුරු අසන ක්‍රමයක් ඇති බව ද රහසක් නොවේ.

මෙම ‘අහිංසක’ ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීමට අවශ්‍ය කාලයේ දී දිසාපාමොක් ආචාරීන් වෙත යවා ශිල්ප ඉගැන්වීමට දෙමාපියෝ කටයුතු කළහ. සම වයසේ දරුවන් සමඟ කෙළි දෙළෙන් පසු වූ මෙම “අහිංසක” දරුවා මනා ලෙස ශිල්ප ශාස්ත්‍ර හදාරා ගුරුවරයාට ඉතා කුළුපග ශිෂ්‍යයකු ලෙස කටයුතු කිරීම සමහර සිසුන් නොඉවසූ බව පෙනේ. දිසාපාමොක් ආචාරීන් සෑම විටම අහිංසක මෙහි එන්න, අහිංසක මෙය ගන්න, අහිංසක අසවල් දේ රැගෙන එන්න කියමින් දාරක ස්නේහයෙන් කටයුතු කර ඇත. ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව මනා ලෙස පැවති බව පැහැදිලි ය.

අහිංසකගේ ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමේ තිබූ දක්ෂතාවත්, ගුරුවරයා සමඟ තිබූ ළෙන්ගතුකමත් නොඉවසූ සමහර මිතුරන් හොර රහසේ සාකච්ඡා කළේ මෙම ගුරු ගෝල සම්බන්ධතාව බිඳවන ක්‍රමයක් ගැන ය. අවසානයේ අහිංසක ගැන බොරුවට කේලම් කියා ගුරුවරයා බිඳවීමට ඔවුහු සාකච්ඡා කර ගත්හ. ඉන්පසු විටෙන් විට පිරිස් වශයෙන් පැමිණ ගුරුවරයා සමඟ කතාබහක් ඇති කර ගෙන කලින් සාකච්ඡා කර ගත් පරිදි අහිංසකගේ වැරැදි හුවා දක්වමින් කේලම් කීහ. මුල් අවස්ථාවේ ගුරුවරයා මෙය ගණන් ගත්තේ නැත. ඒ නිසා ශිෂ්‍ය පිරිස වඩාත් සැලසුම් සහගත ව දවසට කීප වරක් මේ ගැන පැවසීම නිසා අහිංසක පිළිබඳ ව යම් සැකයක්, කලකිරීමක් ගුරුවරයාට ඇති විය. දිසාපාමොක් ආචාර්යවරයාගේ බිරිඳ සමඟ නොමනා සම්බන්ධතාවක් ඇති යැයි පැවසීම නිසා ඔහුගේ සිත බලවත් වේදනාවට පත්වී කිසි වරදක් නොකළ අහිංසක කෙරෙහි වෛර සිතක් ඇති කර ගත්තේ ය.

අධ්‍යාපනය අවසන් කිරීමෙන් අනතුරුව ගුරුවරයාට සමුදී මව්පියන් වෙත යෑමට උත්සාහ කරන අවස්ථාවේ අහිංසක පැමිණ දෙපා නමදින විට ගුරු පඬුරු වශයෙන් දෙන්නේ මොනවාදැයි විමසීය.

“ඔබතුමා ඉල්ලන ඕනම දෙයක් දෙන්නම්” මාගේ පියා සතුව රන් කාසි ඕනෑ තරම් ඇති හෙයින් ඒවාද ලබා දිය හැකි බව අහිංසක පැවසීය. ගුරුවරයා පැවසුවේ

“මට ඒවා කිසිවක් එපා” නුඹගෙන් වෙනත් ගුරු පූජාවක් මම බලාපොරොත්තු වෙමි.”

“ආචාරිනී පවසන්න නොපමාව මා එය ඔබ වහන්සේට ලබා දෙමි.” අහිංසක කීවේ ය. එවිට ගුරුවරයා කීවේ අදහාගත නොහැකි ප්‍රකාශයකි. “ඇඟිලි දහසක මාලයක් මට ඕනෑ” අහිංසක විමතියට පත්ව “ආචාරිනී සත්‍යයක් ද ඔබ පවසන්නේ”

“ඔව් සත්‍යයක් තමා. මෙන්න කඩුව එය ගනු යැයි අහිංසකගේ අතට දුන්නේ ය. තුන්වරක් ම අහිසංක ඇසුවේ ආචාරිනී මෙය සත්‍යයක් ද යන්නයි. එවිට ආචාරීන් පැවසුවේ” ඇයි උඹේ කන ඇහෙන් නැද්ද මම කීවේ ඇත්තක් තමා. එක මිනිහෙක්ගෙන් එක ඇඟිල්ලක් විතරයි. ගුරුවරයා ගුගුලේ ය.

ඉහින් කනින් දහඩිය, වෙව්ලන දෑතින් යුතු ව කඩුව අතට ගත් අහිංසක පස්සෙන් පස්සට ගොස් ආපසු හැරී විදුලි වේගයෙන් දුවමින් අතුරුදහන් විය.

දක්ෂ දරුවෙක් පන්තියක ඉගෙන ගන්නා විට අනේක දරුවන් මුලින් කී දරුවාට කෙනෙහිලිකම් කරන බව බොහෝ අවස්ථාවල අප දැක ඇත්තෙමු. රූපවාහිනී තිරයේ දිගහැරෙන විවිධ නාට්‍යවල ද මෙම කරුණු පෙන්වාදීමට උත්සාහ ගත් අවස්ථා එමට ය. සමහරවිට දරුවන් එකමුතු ව සිටියටත් මව්පියන්ගේ කෙනෙහිලිකම් ද අපි දැක ඇත. ලොව්තුරු බුදුපියාණන් වහන්සේ ආජීව අෂ්ඨාංග සීලයේ දී “පිසුනාවාචා” නමින් සිල්පදයක් හඳුන්වාදෙමින් කේලම් කීමෙන් වැළකිය යුතු බවට දේශනා කොට ඇති අතර, අනුන් පවසන දේ නිසි විමසා බැලීමකින් තොරව පිළිනොගන්න යැයි කාලාම සූත්‍රයේ දී අවධාරණය කොට ඇත.

කඩුව අතට ගත් සැණින් මහා බලයක් අහිංසකගේ ඇඟට ආවේ ය. එය ඇතුන් හත්දෙනකුගේ ශක්තියකි. පෙර බවයක පසේ බුදුරජාණන් වහන්සේ නමක් සීත කාලයේ තද සීතලෙන් පීඩා විඳිනු දැකීමෙන් එක්තරා පුද්ගලයකු ගිනිගොඩක් ගසා එම සීත පහකර ගැනීම සඳහා උපකාර කළ කුසලයෙන් මෙම ශක්තිය අහිංසකට ඇති වී තිබේ.

ගුරුවරයාට අවශ්‍ය වූයේ අහිංසක මරා දැමීමට ය. මිනිසුන් මරා ඇඟිලි කැපීමට ගොස් මොහු කාගෙන් හෝ මැරුම් කනු ඇතැයි මොහු සිතුවේ ය. නමුත් කිසිවකුට අහිංසකට සම්මුඛ වීමට පැමිණීමට නොහැකි විය. ඇත්තු හත්දෙනෙක්ගේ ශක්තියෙන් යුතු කඩුපහරක් කාට නම් නැවැත්විය හැකි ද? වනයට පැමිණෙන සියලු මිනිසුන් මරා ඇඟිලි කැපීම ආරම්භ විය. මුල් අවස්ථාවේ එම ඇඟිලි ගස් බෙනවල තැබීය. පසුව බලන විට ඒවා නරක්වී තිබිණ. සතුන් විසින් කා දමා තිබිණි. මේ අන්දමින් ඇඟිලි දහස සම්පූර්ණ කිරීම සඳහා කී දෙනෙක් මරන්නට ඇත්ද? පසුව ඇඟිලි එක එක අමුණා මාලයක් සාදාගෙන කරේ දමා ගැනීම නිසා අංගුලිමාල යන නම පටබැඳිණි. මෙය කරේ මාල පොටක් දාගෙන ඉන්නවා වගේ නොවේ’ ඇඟිලි දාහක් එකින් එක ඇමිණූ විට කොයි තරම් විශාල මාලයක් දැයි අප කල්පනා කළ යුතු ය. දැන් වනයේ මිනිස් පුළුටක් පේන්න නැත. පක්ෂියෙක්වත් වනයට ඉහළින් පියාඹා යන්නේ නැති බව බොහෝ දෙනා කියති. යම් අයකු පිටුපස එළවාගෙන ගියහොත් ඉදිරියෙන් දුවන්නාට වඩා දෙගුණයක වේගයෙන් අංගුලිමාලට දිවිය හැක. ඔහුට මුණ ගැසුණු කිසිවකු ආපසු නොයයි.

අහිංසක පෙර ආත්මයක දී බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් ව සිට ඇත. එම රජු මස්වලට දැඩි ගිජුකමක් දැක්වුවෙකි. මස් නැති නම් ඔහු බත් නොකයි. ඉතින් කෙසේ හෝ මස් සපයා ගැනීම අරක්කැමියාගේ වගකීමයි. එක් දිනක් මස් සොයාගත නොහැකි විය. මස් නැති වුණොත් තම ජීවිතය ද අහිමි විය හැකියි. සොහොනට ගෙනත් දමා තිබු අලුත් මිනියක කලවා පෙදෙසින් කොටසක් කපා ගෙන ගොස් ව්‍යාංජනයක් සාදා රජුගෙ ආහාරයට තැබීය. රජු බත් කෑමට පෙර මස් කෑල්ලක් කටේ දමා කාරා කෙළ ගැසීය. “මොනවද මේ මස්?” යැයි මහ හඬින් විමසී ය. අරක්කැමියා බිය වී “ස්වාමීනි වෙනද මස් ම තමයි, හැදූ ක්‍රමය වෙනස්” යැයි කීය. රජු එය පිළිනොගත්තේ ය. නැවත නැවත විමසීය. අරක්කැමියා රජුගේ කනට මුව තියා’ “මිනී මස්” යැයි කීවේ ය. “හෙට ඉදන් ඒව ම හදපිය “රජුගේ පිළිතුර විය.

පළමු මස් කෑල්ල කටට ගත් අවස්ථාවේ රජුගේ රස නහර පිනා ගියේ ය. නමුත් ඒ බව ඒත්තු නොගැන්නූයේ ය. දැන් ඉතිං හැමදාම මිනී මස් අවශ්‍ය විය. සිරගෙවල්වල සිටි මිනිසුන් දිනපතා මැරී ය. සිර ගෙවල් හිස් වී ය. මඟ රැක සිට මිනිසුන් මරණ ලෙසට නියෝග ලැබුණි. එවිට මිනිසුන් අතුරුදහන් වු බවට පැමිණිලි ගලා එන්නට විය. නමුත් විසඳුමක් නොවීය. රජුගේ සෙන්පතියා වූයේ අපගේ බෝධිසත්වයන් වහන්සේ ය. ඔහු පිරිසක් යොදවා මුරකාවල් යොදවා ඝාතකයා අල්ලාගනු ලැබීය. අරක්කැමියා හසුවිය. රජුගේ උපදෙස් මත මේ ආකාරයෙන් මිනිසුන් මැරූ බව කියා සිටියේ ය. ඔය මිනි මස් කන වැඩේ නවත්වන ලෙසට සේනාපතියා රජුට දැන්වූවේ ය. රජ කැමැති නොවූවේ ය. අන්තිමේ දි රජු රජකම අත්හළේ ය. මිනී මස් කෑම අත් නොහළේය.

මෙම රජු පෙර ආත්මයක යක්ෂ යෝනියේ ඉපිද මිනී මස් කෑමේ සසර පුරුද්ද නිසා එය අත්හැරීමට නොහැකි වූ බව බුදුපියාණන් වදාරා ඇත. මේ අහිංසකගේ පෙර ආත්මයකි.

තම පුත්‍රයා මැරීම සඳහා කොසොල් රජු සේනාව සමඟ අද දින පිටත්වන බව අහිංසකගේ මව වන “මන්තානී” ට ආරංචි විය. තම දරුවා බේරා ගැනීම සඳහා වනයට ගියා ය. ලොව්තුරා බුදුන් වහන්සේ මෙය දැක අංගුලිමාල විසින් තම මව මැරීමේ පංචානන්තරිය කර්මය සිදුකර ගැනීමේ අසාන්න අවස්ථාව වූ බැවින් මිනිසුන්ගේ බලවත් විරෝධය මැද මහ වනයට ඇතුළු විය. ඇඟිලි දාහට අඩු තව එක් ඇඟිල්ලකි. මව වුණත් මරා එය සම්පූර්ණ කර ගැනීමට අහිංසක කිසි විටෙකත් පසුබට නොවේ. වනයේ එක් පැත්තකින් තම මව ඉදිරියට එයි. අනෙක් පසින් ලොව්තුරා බුදුන් ය. බුදුරදුන්ගේ ප්‍රාර්ථනයෙන් අංගුලිමාල ඒ දෙසට දිව ගියේ ය. ගවු ගණනක් දිව ගිය ද ළං වීමට නොහැකි විය.”මහණ නවතිනු” අහිසංක කෑගැසීය. මම නැවති සිටින්නේ, ඔබ නවතින්න. කාරුණික හඬින් බුදුරජාණන් වහන්සේ වදාළහ. මේ ශ්‍රමණයා කියන්නේ කුමක්ද? අංගුලිමාල කල්පනා කළේ ය. ඔහුට බුදුන් වහන්සේ මතක් විය. ඔහු කඩුව ප්‍රපාතයකට විසි කළේ ය. බුදුන් වහන්සේ ළඟ වැඳ වැටුණේ ය. “අහිසංක ඇයි මේ මිනිසුන්ට හිංසා කරන්නේ” බුදුන් වහන්සේ විමසීය. අහිංසකට වචන ගළපා ගැනීමට නොහැකි ව මහ හඬින් හඬා වැටුණේ ය. ඉන්පසුව බුදුන් වහන්සේ අහිංසක සමඟ ආරාමයට ගියේය. කාලයක් තිස්සේ දත, කට මැද නැති, හිස පීරා නැති, ස්නානය කොට නැති, ඇඟ පුරා ලේ සැරව ගෑවුණූ මැස්සන්ගෙන් ගැවසීගත් ශරීරය සහිත, දුර්ගන්ධය හමන අහිසංක ඒහි භික්කු භාවයෙන් පැවිදි කළහ.

කොසොල් රජතුමා සේනාව රැගෙන අංගුලිමාල මරා දැමීම සඳහා මහා වනයට යාමට පෙර බුදුන් හමුවීය. බුදුන් වහන්සේ සමඟ පිළිසඳරේ යෙදුණු රජතුමා අංගුලිමාල සොයා මහ වනයට යන බව පැවසීය. එවිට බුදුන් වහන්සේ කොසොල් රජතුමා ළඟට කැඳවා එතුමාගේ අතින් අල්ලා ගත්හ.

“රජතුමනි, මේ ඉන්නේ ‘අංගුලිමාල” බුදුන් වදාළහ. සේනාව හිස් ලූ ලූ අත දිව ගියහ. බුදුන් වහන්සේ රජුගේ අත නොඇල්ලුවේ නම් ඔහුගේ හෘදය නැවතීමට ඉඩ තිබුණා යැයි පැවසේ. මොකද? එය එතරම් ම බියකරු වේ. ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ පුරිස දම්ම සාරථී ගුණය නිසා රටක් භීතියට පත් කළ දරුණු අපරාධකාරයකු වු අංගුලිමාල කිසිම කැට කැබිලිත්තක් නොගෙන කරුණා මහිමයෙන් ම දමනය කළ බව ඉතිහාසය සාක්ෂි දරයි.

සාධු!!! සාධු!!! සාධු!!!