Print this Article


බුදුගුණ සිහිකිරීමෙන් උපදින පස්වණක් ප්‍රීතිය

බුදුගුණ සිහිකිරීමෙන් උපදින පස්වණක් ප්‍රීතිය

මඟක් ගිහින් ඇවිත් මව ආපහු කියනවා ‘දුවේ, අපි බණ අහලා, පිරිත් සජ්ඣායනා ශ්‍රවණය කරලා, මල් පහන් පූජා කරලා ලබන ආශීර්වාද ඔබටත්, දරුවාටත් අනුමෝදන් කරන්නම්; දුක් වෙන්න එපා‘යි නැවතත් ඇයගේ සිත සනසලා ගමන පිටත් වුණා. පන්දම් එළියෙන් ඒ අය ටිකින් ටික නිවසින් ඈතට ඈතට යන්න ගියා

නව අරහාදි බුදු ගුණ නිරන්තරයෙන් භාවනා වශයෙන් මෙනෙහි කරන කොටත්, බුදුන් දැකීමෙන්, බුදුබණ සහ බුදුගුණ ඇසීමෙන්, බුදුගුණ මෙනෙහි කිරීමෙන්, බුදුන් වහන්සේට උපන් නාම පද ඇසීමෙන් හා ඒවායේ අර්ථ මෙනෙහි කිරීමෙන් පුද්ගල මනසේ ඇති වන හෙවත් උපදින ප්‍රීතිමත් තත්ත්වය පස්වනක් ප්‍රීතිය හට ගැනීමට හේතු වෙනවා.

සමහර කෙනකුට මේ ප්‍රීතීන් පහ ම උපදවා ගැනීමේ හැකියාව ලැබෙනවා. තවත් අයකුට නම් පුළුවන් වෙන්නේ එයින් එකක් හෝ කිහිපයක් උපදවා ගන්න පමණයි. භාවනාව දිගින්දිගට ම සිදු කරන කොට පස්වනක් ප්‍රීතිය ම උපදිනවා.

මේ කියන්න යන කතාව හරිම අපූරු එකක්. අපටත් පුළුවන් පස්වනක් ප්‍රීතිය උපදවා ගෙන සාමාන්‍ය පුද්ගලයින්ට කරන්න බැරි තරම් විස්මිත කටයුතු කරන්න. ඒ වගේ ම බොහෝ ම සතුටින් ජීවිතය ගෙවන්න.

කථාව කියන්න ඉස්සෙල්ලා පස්වනක් ප්‍රීතිය කියන්නේ මොනවාටද කියලා හදුනා ගත්තොත් හොදයි. ඉතින් බුදු දහම අධ්‍යයන කරන කෙනෙකුට මේ ප්‍රීති පහ දැන ගන්න ලැබෙන්නේ ඛණික ප්‍රීතිය, ඛුද්දධ ප්‍රීතිය, උද්වේගික ප්‍රීතිය, ඔක්කන්තික ප්‍රීතිය හා ඵරණ ප්‍රීතිය යන නම්වලින්. මේ ප්‍රීති පහ තවත් අයෙකුට සාහිත්‍යාගත කෘතිවල දී ක්ෂණික ප්‍රීතිය, ක්ෂුද්රක ප්‍රීතිය, උද්වේග ප්‍රීතිය, අවක්රාන්තික ප්‍රීතිය හා ස්ඵරණ ප්‍රීතිය යන නම්වලිනුත් දකින්න පුළුවන්. පළමුව කියන්නට යෙදුණ නම්වලින් හා පිළිවෙලින් ම මේ ප්‍රීති පහ කෙටියෙන් ම කියලා දීම හොඳයි.

සිංහල සමාජයේ ගැමියන් මේ ප්‍රීති පහ සතුට ඇති වුණ අවස්ථාවල යොදා ගන්නවා. ඒ අවස්ථාවක දී ගැමියන් ‘පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියා වගේ සතුටක් දැනුණා‘ ආදී වශයෙන් කියනු නිතර අදත් අසන්න දකින්න ලැබෙනවා.

ළමයෙන් විභාගයෙන් සමත් වුණහම, උපාධියක් හෝ රැකියාවක් ගත්තහම ඉබේට ම ඔවුන්ගේ මුවින් පිට වෙනවා. ඒත් එහි අරුත හරියට ම දැනගෙන කියනවා වෙන්න පුළුවන් ප්‍රතිශතිය නම් තියෙන්නේ බොහෝම අවම මට්ටමක තමයි. හැබැයි ඒ හැමෝම දන්නවා සතුටක් උපන් අවස්ථාවල දී කියනවා කියලා. අපි බලමු දැන් මේ ප්‍රීති පහ මොනවාද කියලා.

‘ඛණික ප්‍රීතිය‘ කියලා කියන්නේ මොහොතින් මොහොත ක්ෂණික ව විදුලියක් මෙන් හටගන්නා ප්‍රීතියටයි. මෙහි ස්වභාවය තමයි එක් වරකින් කෙළවර නො වී නැවත නැවත හටගැනීම. නැතිනම් නැවත නැවත ප්‍රීතිය ඉපදීම විදිහටත් තේරුම් ගන්න පුළුවන්.

සකල ශරීරයේ රෝම ලොමු දැහැ ගැන්වන අයුරින් ඇතිවන්නා වූ සියුම් හා කුඩා ප්‍රීතියක් ඉපදෙනවා නම් එය ‘ඛුද්දධ ප්‍රීතිය‘ කියලා හඳුන්වනවා.

‘උද්වේගික ප්‍රීතිය‘ කියලා කියන්නේ ශරීරය අහසට නැංවීමට තරම් බලවත් වූත්, ආධ්‍යාත්මික වූත්, උසස් මට්ටමකට පැමිණීමට හැකියාව ඇත්තා වූත් ප්‍රීතියටයි. මේ ප්‍රීතිය උපදින්නේ බුදුන් වහන්සේ කෙරෙහි බලවත් ව සතුටක් ඇති වුණාම.

‘ඔක්කන්තික ප්‍රීතිය‘ කියන්නේ ශරීරය පිනවමින් ඉතිරී පැතිරී ගොස් නැති වී යන ප්‍රීතියටයි. තවදුරටත් කියනවා නම් චිත්ත වේගයන්ගෙන් නැවත නැවත මතුවන ප්‍රීතිය මේ නමින් හඳුන්වනවා. හරියට මේ ප්‍රීතිය මුහුදු වෙරළේ රළ වැදී කැඩි කැඩී යන්නාක් මෙන් ඇති වී නැති වී යනවා.

ශරීරය පුරා නිතර පැතිර පවත්නා ප්‍රීතිය හඳුන්වන්නේ ‘ඵරණ ප්‍රීතිය‘ කියලා. මේ ප්‍රීතිය හරියට බැලුම්බෝලයක් වාතයෙන් පිරී ගියාක් මෙන් ශරීරය පුරාම පැතිර පවතිනවා.

බුදු දහමේ උගන්වන කාමිෂ ප්‍රීතිය, සාමිෂ ප්‍රීතිය හා නිරාමිෂ ප්‍රීතිය යන ප්‍රීති තුනෙන් මේ පස්වනක් ප්‍රීතිය අයත් වන්නේ නිරාමිෂ ප්‍රීතිය යටතටයි. නිරාමිෂ ප්‍රීතිය ඉපදෙන්නේ ම බුදුන් වහන්සේ අරමුණු කර ගෙන හා ඒ වෙනුවෙන් කරන දාන, ශීලාදී උතුම් ගුණ නිසයි.

මේ පස්වනක් ප්‍රීතියේ එන උද්වේගික ප්‍රීතිය හටගත් අවස්ථාවක සිදුවුණ අපූරු සිදුවීමක් අනුරාධපුර යුගයෙන් අහන්න ලැබෙනවා.

පෙර අනුරාධපුර යුගයේ තිබුණා චිත්තකාල කියලා පුංචි ගම්මානයක්.

මේ ගමේ මිනිස්සු හරිම ශ්‍රද්ධා සම්පන්නයි. ගුණ යහපත්. තුනුරුවන් නිතර සිහි කළා. ගමට තිබුණා ගිරිකණ්ඩක කියලා විශාල දාගැබක් සහිත විහාරයක්. භික්ෂූන් වහන්සේත් ගම්වැසියන්ගේ යහපත වෙනුවෙන් ධර්ම දේශනා, පිරිත් දේශනා, භාවනා වැඩ සටහන් නිතර සිදු කළා. ගමේ දායකයින් හැමෝම වගේ හැම අවස්ථාවක ම දාන, සීල, භාවනා කටයුතුවල නිරත වුණා. භික්ෂූන් වහන්සේ සමඟ හොඳ සම්බන්ධයක් පවත්වා ගත්තා. මේ ගමේ අඹු සැමි යුවළකට ඉපදුණා දියණියක්. ඇය කුඩා කාලයේ ඉඳලා ම හැදුණේ වැඩුණේ තුනුරුවන්ගේ ගුණත් එක්ක. තරුණ වයසට පත් වුණත් ඒ ගුණ ඇයගෙන් නැති වුණේ නෑ. නිසි කාලය ආපුවහම බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියන විදිහට ම දෙමාපියෝ ආවාහ විවාහ කටයුතු කරලා දුන්නා. කලක් යන කොට ඇය ගැබ්ගත් මවක් බවට පත් වුණා. මේ කාලයේ දී ගිරිකණ්ඩක විහාරයේ විශාල

උත්සවයක් සූදානම් වෙමිනුයි තිබුණේ. අදාළ දිනය පැමිණෙනවාත් එක්කම මුළු ගම ම සවස් යාමයේ පන්සලට යන්න පිටත් වුණා. මේ දියණියගේ දෙමාපියෝ කියා සිටියා ‘දුවේ, ඔයා දැන් දරුවකු කුස දරාගෙන ඉන්න මවක්. ඒ නිසා වැඩිය ඇවිදින්න හොද නෑ. කළුවරේ පයින් යනකොට විපතක් වෙන්න පුළුවන්. අනික විහාරයේ පිරිස වැඩි නිසා අපහසුවට පත් වෙන්න පුළුවන්. දරුවා ලැබුණහම දරුවත් එක්කම විහාරයට ගිහින් වන්දනා කරමු. දැන් ඉන්න තත්ත්වය හොඳ නෑ. පුතත් එක්ක ඉන්න කියලා. බෑණත්, දියණියත් නිවසේ නතර කර විහාරයට යන්න පිටත් වුණා.

මඟක් ගිහින් ඇවිත් මව ආපහු කියනවා ‘දුවේ, අපි බණ අහලා, පිරිත් සජ්ඣායනා ශ්‍රවණය කරලා, මල් පහන් පූජා කරලා ලබන ආශීර්වාද ඔබටත්, දරුවාටත් අනුමෝදන් කරන්නම්; දුක් වෙන්න එපා‘යි නැවතත් ඇයගේ සිත සනසලා ගමන පිටත් වුණා. පන්දම් එළියෙන් ඒ අය ටිකින් ටික නිවසින් ඈතට ඈතට යන්න ගියා. දියණිය ඈතින් පෙනෙන විහාරයේ පහන් ආලෝකයත්, පහන් එළියට වගේම පිරුණු සඳ එළියෙන් කිරි පාටින් බබළන

දාගැබත්, හේවිසි නාදයත්-දකින්නත්, අහන්නත් ලැබෙනවා. ඇය හැමදාම බුදුගුණමයි සිහි කළේ. බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණ නිසා තමයි මේ හැම දෙයක් ම වෙන්නේ යි උද්වේග ප්‍රීතිය ඇය සිත තුළ හට ගත්තා. ඒත් එක්කම ඇය දන්නේත් නැතිව ම දාගැබ් මළුවට අහසින් ම ගිහින් නතර වුණා. මව්පියන් විහාර මළුවට එනකොට ඇය පහන් දල්වනවා. ඔවුන් පුදුමයෙන් පුදුමයට පත් වුණා. ‘ඔයා කොහොමද මේ.. මේ.. මෙහේයි..‘ කොහොමද මෙතැනට ආවේ?‘යි පුදුමයෙන් ගොත ගහමින් ප්‍රශ්න කළා. අම්මේ, මම දන්නේත් නෑ. මම විහාර දාගැබ් වහන්සේගේ ආලෝකය දැක්කා. බුදු හාමුදුරුවෝ සිහි කළා. මට ඒ වෙලාවේ බුද්ධාලම්භන ප්‍රීතිය ඇති වුණා. මට ම හිතා ගන්න බෑ මේ වුණ දේ; මම ආවේ නම් අහසින්මයි‘ කියා පිළිතුරු දුන් කථා පුවතක් ධම්මසංගනී අටුවාවේ ධම්මුද්දේසවාරයේ සඳහන් වෙනවා.

පින්වතුනි, බලන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි උපන් නිමිත්ත නිසා ම ඇයට ලැබුණ දෙය. බුදුගුණ සිහි කිරීමෙන් මෙතරම් ලාභ ලැබෙනවා නම්. බුදුගුණ ක්‍රියාවට නැඟීමෙනුත්, ධර්මය ප්‍රායෝගික කිරීමෙනුත් හැම මොහොතක ම ප්‍රීතිය උපදවා ගන්න පුළුවන්. මේ ලෞකික ජීවිතයත්, පරලොව සුගතියත්, නිවනත් ලබා ගන්න අපට හැකියාව ලැබෙනවා. ජීවිතයේ හැම අවස්ථාවක ම බුදුගුණ සිහි කරන්න උත්තසාහ ගන්න ඕන. එතකොට දුකක්, කරදරයක් දකින්නවත් ලැබෙන එකක් නෑ.