Print this Article


සසර වඩන සංඛාර

සසර වඩන සංඛාර

‘සංඛාර’ යනු බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ සඳහන් වන, නිවැරැදි ලෙස වටහාගත යුතු ඉතා වැදගත් වචනයකි.

සම්බුද්ධත්වයට පත් වූ බුදුරජාණන් වහන්සේගේ පළමු උදානයෙහි සඳහන් වන්නේ “විසංඛාර ගතං චිත්තං”

මගේ සිත සංඛාරයන්ගෙන් තොර විය යනුවෙනි. මේ අනුව පැහැදිලි වන්නේ “සංඛාර” යනු පරිපූර්ණ අවබෝධයට පත් නොවූ කෙනකුගේ සිතෙහි සකස්වීමක් බවයි.

ආර්ය න්‍යාය හෙවත් පටිච්ච සමුප්පාද දේශනාවෙහි සංඛාරයට අවිද්‍යාව ප්‍රත්‍ය වන බවත්, අවිද්‍යාව මුළුමනින් ම නැති වීමෙන් සංඛාර ද නැති වන බවත් දේශනා කොට වදාළා. අවිද්‍යාව මුළුමනින් ම නැති වන්නේ පරිපූර්ණ අවබෝධය ලැබීම හෙවත් අරිහත්වයට පත්වීමත් සමඟ ය. එබැවින් අරිහත්වයට පත්වන තෙක් ම සිත තුළ සංඛාර සකස් වන බව පැහැදිලි වේ. කෙසේ නමුත් පෘථග්ජන පුද්ගලයා තුළ සකස් වන සංඛාර, ඔහු නිරය ආදී දුගතියට ඇද දමන්නට පවා හේතු වන අතර, දර්ශනයට පත් සෝතාපන්න පුද්ගලයා තුළ එම අවදානම නැත. මේ නිසා සංඛාර සකස් වීමේ දී යම් පැහැදිලි වෙනසක් ඇති බව තේරුම් ගත යුතු වේ.

ආර්ය න්‍යාය හෙවත් පටිච්ච සමුප්පාදය විස්තර කිරීමේ දී ත්, පඤ්ච උපාදානස්ඛන්ධය විස්තර කර දීමේ දී ත් සංඛාර යන වචනය ඉතා වැදගත් වේ. පටිච්ච සමුප්පාදයෙහි දී “සංඛාරෝ” යන ඒක වචන පදයක් ලෙස යෙදී තිබීමත්, පඤ්ච උපාදානස්ඛන්ධයෙහි “සංඛාර” යන බහුවචන පදයක් ලෙස යෙදී තිබීමත් නිසා මේවා එකිනෙක වෙනස් ලෙස අර්ථ දැක්වෙන අවස්ථා ද ඇත. ව්‍යාකරණානුකූල ව එසේ වුවත්, ධර්මයෙහි ප්‍රායෝගික බව අනුව සලකා බැලීමේ දී, මෙම “සංඛාර” එකම කරුණක් ආකාර දෙකකින් විස්තර කර දීමක් බව ඉතා හොඳින් පැහැදිලි වේ.

අවිද්‍යාව මූලික කොට සිදුවන සකස්වීමක් බැවින් ප්‍රායෝගික බව සලකා විමසා බැලීම, ප්‍රායෝගික නිවන් මඟ තේරුම් ගැනීමට ඉතා වැදගත් වේ. “සංඛාර” යන පාළි වචනයට, සකස් වීම හෙවත් සංස්කරණය යන තේරුම් දිය හැකි ය. එම සංස්කරණය යනු කුමක් ද? යන වග පඤ්ච උපාදානස්ඛන්ධය ඇසුරින් හා ආර්ය න්‍යාය ඇසුරින් තේරුම් ගත යුතු වේ. අරිහත්වයට පත්වීමේ දී “මම වෙමි” යන අස්මි මානය දුරුවන බැවින්, සංස්කරණය සිදු වන්නේ ද අස්මි මානය හෙවත් මම වෙමි යන පුද්ගල සංකල්පය නිසා ම බව පැහැදිලි වේ.

පඤ්චඋපාදානස්ඛන්ධය යනු රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ (සමූහයෙහි) ඒකරාශි වීමයි. මෙහි සංඛාර විස්තර වන්නේ “ඡ චේතනා කායා” සය ආකාර චේතනා සමූහය යනුවෙනි. එනම් රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ඨබ්බ සංචේතනා සහ ධම්ම සංචේතනා වේ.

ඇසට දකින රූපය පිළිබඳ සිතුවිලි පැවැත්ම රූප සංචේතනා වේ. කනට ඇසෙන ශබ්ද පිළිබඳ සිතිවිලි පැවැත්ම ශබ්ද සංචේතනාව යි. මේ අයුරින් ශරීරයට දැනෙන උණුසුම, සීතල, වේදනා ආදිය පිළිබඳ සිතිවිලි පැවැත්ම පොට්ඨබ්බ සංචේතනාව ලෙස හඳුන්වයි.

සිතට දැනෙන සිතිවිලි ධම්ම සංචේතනාවයි. ඇස, රූපය වෙතට යොමු වීමෙන් රූප දැකීම සිදු වේ. මෙම රූප දැකීම යනු සංස්කරණයක් හෙවත් ඒකරාශි වීමක් බව සාමාන්‍ය අවස්ථාවක දී අපට තේරුම් ගත නොහැකි කරුණකි. එම ඒකරාශි වීම තේරුම් ගැනීමට සන්සිඳුන සිතක් එනම් සමාධිමත් සිතක් අවශ්‍ය බව බොහෝ දේශනාහි සඳහන් වේ. සමාහිතෝ භික්ඛු යථාභූතං පජානාති - සමාහිත සිත ඇති භික්ෂුව සත්‍යය අවබෝධ කරයි.

සංඛාර යනු සංස්කරණයක් හෙවත් එක්රැස් කිරීමක් බව “ඛජ්ජනීය” සූත්‍රයෙහි (සං.නි. 3) ඉතා පැහැදිලි ව විස්තර වේ. සකස් වූ දෙය විශේෂයෙන් නැවත සකස් කරන නිසා සංඛාර ලෙස හඳුන්වන බව එහි සඳහන් වේ. සංඛතං අභිසංඛරොති සංඛාරාති වුච්චති එම කරුණ තවදුරටත් විස්තර වන්නේ, රූපය රූපී බව පිණිසත් (රූපං රූපත්තාය), වේදනාව වේදනා බව පිණිසත් (වේදං වේදනත්තාය), සංඥාව බවත් පිණිසත් (සංඥං සංඥත්තාය), චේතනාව, චේතනාත්මක බව පිණිසත් (සංඛාරානං සංඛාරත්තාය), විඤ්ඤාණය විඤ්ඤාණාත්මක බව පිණිසත් (විඤ්ඤාණං, විඤ්ඤානත්තාය), නැවත නැවත සකස් වන බවයි.

මේ අනුව පැහැදිලි වන කරුණක් වන්නේ පඤ්චඋපාදානස්ඛන්ධය යනු චේතනාත්මක ව නැවත නැවත සකස් වන සකස් වීමක් බවයි. එම සකස් වීම කෙසේ සිදු වන්නේ ද යන බව, ඉතා පරිස්සමෙන් නුවණින් විමසා තේරුම් ගත යුතු කරුණකි. ඉහත විස්තරයට අනුව අප විසින් විඳින සැප වේදනාවක් වේවා, දුක් වේදනාවක් වේවා, එය එකම විඳීමක් නොව මොහොතක් පාසා වෙනස් වෙමින් සකස් වන වේදනා සමූහයකි. අප විඳින යම් වේදනාවක් ටිකෙන් ටික වැඩි වේ නම් හෝ ටිකෙන් ටික අඩු වේ නම් හෝ මෙය ඉතාම හොඳින් පැහැදිලි වේ.

මේ අයුරින් ඇස, කන ආදී ආයතන හයට ගෝචර වන දැකීම ඇසීම ආදී සියල්ලක් ම මොහොතක් පාසා නැවත සකස් වීම් බව පැහැදිලි වේ. අවිද්‍යාව නම් වූ නොදැනීමත්, තණ්හාවත් නිසා මේ නැවත සකස් වීම දිගින් දිගට ම සිදු වේ. අවිද්‍යාව දුරු වීමෙන් (විජ්ජා උදපාදී) තණ්හාව ද දුරු වී යන බැවින් නැවත සකස් වීමක් සිදු නොවේ.

“විසංඛාර ගතං චිත්තං” යනුවෙන් සම්බුද්ධත්වයට පත් වූ බුදුපියාණන් වහන්සේ උදාන වාක්‍ය ප්‍රකාශ කළේ එම නිසා ය.

ආර්යය න්‍යාය හෙවත් පටිච්ච සමුප්පාදයෙහි ද සංඛාරයට ප්‍රත්‍යය වන්නේ අවිද්‍යාව බව සඳහන් වේ. (අවිජ්ජා පච්චයා සංඛාරා) එහිදී සංඛාර තුන් ආකාරයකින් විස්තර වේ. එනම් කාය සංඛාර, වචී සංඛාර හා චිත්ත සංඛාර වශයෙනි. කුසල් හෝ අකුසල් හෝ සිදුවන තුන් ආකාරය වන කය, වචනය, සිත මෙයින් අදහස් වේ.

කය මුල්කොට සිදුවන කුසල් අකුසල් කාය සංඛාර වේ. වචනය මුල්කොට සිදුවන කුසල් අකුසල් වචී සංඛාර වන අතර, සිත මුල්කොට සිදුවන කුසල් අකුසල් චිත්ත සංඛාර වේ. මේ සියල්ලට ම හේතුව වන්නේ අවිද්‍යාව යි. අනිත්‍ය බව පිළිබඳ අනවබෝධය අවිද්‍යාව ලෙස සඳහන් වේ. එම අනවබෝධයෙන් යුතු ව කරනු ලබන සියලුම කායික ක්‍රියා කාය සංඛාර වේ.

එමෙන් ම අනවබෝධයෙන් යුතුව කතා කරන සියලු වචන වචී සංඛාර වන අතර, සියලු සිතිවිලි හෙවත් චේතනා චිත්ත සංඛාර වේ. මෙය ඇති කල්හි මෙය වේ. (ඉමස්මිං සති ඉදං හෝති) යන ප්‍රත්‍ය සම්බන්ධය අනුව අවිද්‍යාව ඇතිතාක් සංඛාර ද වේ.

යම් කායික ක්‍රියාවක් හෝ වචන කතා කිරීමක් හෝ සිතිවිලි සිතීමක් හෝ යනු එකම ක්‍රියාවක් නොව මොහොතක් පාසා වෙනස් වන සිදුවීම් රාශියක එකතුවකි. කෙසේ නමුත් ඒවා සිදුවීම් රාශියක එකතුවක් බව තේරුම් ගැනීමට සමාධිමත් සිතකින් විමසා බැලිය යුතු ය. විපස්සනාව ලෙස හඳුන්වන්නේ එයයි. මේ අනුව විපස්සනාව යනු සංඛාරයන්ගේ ඒකරාශී වීම තේරුම් ගෙන ඒවා විසුරුවා දැමීමයි. පටිච්ච සමුප්පාදයෙහි විඤ්ඤාණයට ප්‍රත්‍යය වන්නේ සංඛාර බව සඳහන් වේ. (සංඛාර පච්චයා විඤ්ඤාණං) විඤ්ඤාණය යනු වේදනා, සංඥා පිළිබඳ දැනුවත් බවයි. මෙයින් පැහැදිලි වන්නේ සංඛාර වශයෙන් ඒකරාශී වූ සමූහයක වේදනා, සංඥා පිළිබඳ දැනුවත් බවක් ප්‍රකාශ කළ හැකි බවයි. එසේ ඒකරාශී වීමක් නැති තැනක වේදනාවක් හෝ සංඥාවක් පිළිබඳ ප්‍රකාශ කළ නොහැකි ය. එනම් විඤ්ඤාණයක් පිළිබඳ ව ද කතා කළ නො හැකි වේ. මේ අනුව විමසා බැලීමේ දී පැහැදිලි වන්නේ පඤ්චඋපාදානස්ඛන්ධය, පටිච්චසමුප්පාදය යනු සංඛාර සකස් වන ක්‍රමවේදය පැහැදිලි කර දෙන ආකාර දෙකක් බවයි.

අප සියලු දෙනාගේ ම සංසාරික ගැටලුව වන රාග, ද්වේෂ, මෝහයන්ගේ මූලික පදනම සංඛාර බව දැන් පැහැදිලි වේ. එබැවින් කෙලෙස් හඳුනාගෙන දුරු කිරීම සඳහා සංඛාර සකස් වන ආකාරය නිවැරැදි ව තේරුම් ගැනීම අවශ්‍ය ම කරුණකි.

රාගය (ආශාව - කැමැත්ත) යනු පුද්ගලයාගේ අනවබෝධය නිසා ම තමා තුළ සකස් කර ගන්නා සංඛාර සමූහයකි. බොහෝ විට ආශාවක්, කැමැත්තක් ඇති වූ විට, අප එය බාහිර ව අසන දකින දෙයකට ගළපා බැලීමට උත්සාහ කළත්, තමා තුළ අනවබෝධය නැති නම් එම ආශාව කැමැත්ත ඇති නොවේ. බාහිරව අසන දකින දේ නිසා ම ආශාව ඇති වේ නම් කෙලෙස් නැසූ රහතන් වහන්සේට ද ආශාව ඇති විය යුතු ය. මේ අයුරින් ද්වේෂය (අකැමැත්ත) මෝහය (මුලාව) ද තමා තුළ ඇති අනවබෝධය නිසා ම හටගන්නා බව පැහැදිලි වේ.

“අනිච්චා වත සංඛාරා” සංඛාරයෝ ඒකාන්තයෙන් ම අනිත්‍ය වේ යන යෙදුම බොහෝ දෙනකුට අසා හුරු පුරුදු යෙදුමකි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පා වදාළ අවස්ථාවේ දී සක් දෙවිඳුන් විසින් මෙම ගාථාව ප්‍රකාශ කොට සංවේගය පළ කළ බව මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වේ. බොහෝ දෙනකු විසින් අසා හුරු පුරුදු යෙදුමක් නමුත් එහි අර්ථය පිළිබඳ විමසා බලා තිබේ ද යන්න ගැටලුවකි. උපතේ සිට මරණය දක්වා ම සිදු කරන සංඛාර රැස් කිරීම මම යන පුද්ගල මූලික ව සිදුවන දෙයකි.

අවිද්‍යා සහගත ව කෙරෙන මෙම සංඛාර රැස් කිරීම මරණයෙන් ද කෙළවර නොවන බැවින් දීර්ඝ සංසාරයක සැරි සැරීමට සිදුවේ. සංඛාර රැස් කිරීම අවසන් වන්නේ කෙදිනක හෝ අවිද්‍යාව දුරු කිරීමෙන් පමණි. එය කළ හැක්කේ බුද්ධ ශාසනයක් ඇති කාලයක නිවැරැදි ව නිවන් මඟ වැඩීමෙන් පමණි. එබැවින් බුදු සසුන පවතින මෙකල නිවැරැදි ලෙස නිවන් මඟ පුහුණූු කොට අවිද්‍යාව දුරු කිරීමෙන් විසංඛාර වූ සිතක් ඇති කර ගැනීමට උත්සාහ දරමු.