Print this Article


සිතිවිලි මත දෝලනය වන පින සහ පව

සිතිවිලි මත දෝලනය වන පින සහ පව

අප ජීවිත පෝෂණය වී තිබෙන්නේ බෞද්ධ දර්ශනය තුළිනි. ජීවිතය තුළ සිදු කරන ක්‍රියාවන් මූලික කර ගනිමින් මෙලොව පරලොව සෙත සැලසේ.

පුද්ගලයකු යහපතෙහි යෙදෙමින් කුසල කර්මයෙහි යෙදීමත්,අයහපතෙහි යෙදෙමින් අකුසල කර්මයන් සිදු කිරීමත් සිදුවන්නේ තම සිත තුළ ඇතිවන සිතිවිලි මතය.

අප ජීවිතයේ සෑම ක්‍රියාවකට ම මුල්වන්නේ සිත ය .ඒ අනුව ජීවිතය තුළ ශ්‍රේෂ්ඨ වෙන්නේ සිත ය. යම් යහපත් ක්‍රියාවක් සිදු කිරීමටත් ,අයහපත් ක්‍රියාවක් සිදු කිරීමටත් සිත මූලික වේ. යහපත් ක්‍රියාවන්හි කුසලානුකර්මයත් ,අයහපත් ක්‍රියාවන්හි අකුසල කර්මයත් අප ජීවිත පසු පස පැමිණෙයි.

මේ අනුව පුද්ගලයකු තම ජීවිතය තුළ කරන කියන සියලු දේ පිළිබඳ හොඳීන් සිතා කටයුතු කළ යුතු ව තිබේ. නොඑසේ නම් තමන් කරන කියන දේ තුළින් තමාට මෙන් ම සමාජය ට ද සිදුවන්නේ අයහපතකි.

බුදු දහමට අනුව පව් පින් සිදු කරන්නේ තම සිතින් ම ය. අප මහා සිදුහත් බෝසතාණන් වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගනිමින් ලොව සියලු සත්වයා දුකින් මුදවා ගැනීමට හැකි වූයේ උන්වහන්සේ තුළ පැවති මහත් අධිෂ්ඨානසීලිත්වය නිසා ය.

යම් අධිෂ්ඨානයක පිහිටා කටයුතු කිරීමට ඒ අනුව සිත මූලික වෙයි.

ඒ අනුව ජීවිතය තුළ අප සිදු කරන සියලු කටයුතු හොඳීන් සිතා බලා සිදු කළ යුතු ය. බෞද්ධ දේශනාවන් තුළ බුදුරජාණන් වහන්සේ පුද්ගල සිත මූලික කර ගනිමින් දේශනාවන් සිදු කර තිබේ. යම් කෙනකු හට බෞද්ධ දර්ශනය තුළින් නිර්වාණය අවබෝධ කර දීමෙහිලා ඔවුනොවුන්ගේ සිත අවබෝධ කර ගනිමින් ක්‍රියා කර ඇති අයුරු බුද්ධ චරිතයෙහි දක්නට ලැබේ. පටාචාරා, කිසාගෝතමී ආදී කතා පුවත් තුළ බුදුරජාණන් වහන්සේ ඔවුනොවුන් හට උතුම් වූ නිර්වාණ අවබෝධ කිරීම සඳහා කටයුතු කර ඇති ආකාරය තුළින් එය මනාව පිළිබිඹු වෙයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් වූ “ චතුරාර්ය සත්‍යය “ද අවබෝධ කර ගත හැකි වන්නේ පුද්ගල සිත අනුව ය. උන්වහන්සේ සිත පිළිබඳ සිදු කළ දේශනාවන් අද සමාජයට ඉතා වැදගත් වෙයි. සමාජයේ බොහෝ අකටයුතුකම් සිදු වන්නේ එම ක්‍රියාවන් සිදු කරන පුද්ගලයාගේ සිතුවිලි මත ය. වර්තමාන සමාජයේ නොයෙක් අපරාධ වැඩි වී තිබෙන්නේ ඒ අනුවයි. අද දක්නට ලැබෙන අඬදබර , පුද්ගල ඝාතන, වංචා දූෂණ බොහෝ සෙයින් වර්ධනය වී තිබෙන්නේ ඔවුනොවුන්ගේ පාපකාරී සිතිවිලි නිසා ය. ඔවුන් පින් පව් ගැන නො සිතයි. බොහෝ සෙයින් හිතන්නේ එම ක්‍රියාවන් සිදු කිරීමෙන් තමන්ට ලැබෙන සතුට, වාසි පිළිබඳ පමණි. අනිත්‍ය දහම තුළ අප ලබන්නා වූ මේ කිසිවක් ස්ථිර නොවෙයි, තාවකාලික දෙයක් පමණි .

බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ සතුට පරම ධනය ලෙසයි . පුද්ගලයකු ලබන්නා වූ සතුට තීරණය වන්නේ කරන කියන දේ අනුව ය. අප ජීවිතයේ සිදු කරන යහපත් දෙයින් සතුටු වනවා මෙන් ම අයහපත් දෙයින් දුක ඇති වීම ද සිදු වෙයි.

ඒ අනුව වටිනාම ධනය වන සතුට පවතින්නේ කරන ක්‍රියාව මතය, කරන ක්‍රියාව සිදු වන්නේ සිතිවිලි මත යන්න බුදුදහම පෙන්වා දී තිබේ .

බුදු දහමින් පෝෂණය වූ අප තමන් සිදු කරන සෑම ක්‍රියාවක් පිළිබඳ ව ම නැවත නැවත සිතමින් එය තමන්ට හානියක් ද යන්න, නැතිනම් අන්‍යයන්ට හානියක් ද පිළිබඳ තම සිතින් ම විමසා බලමින් කටයුතු කරන්නේ නම් යහපත් සමාජයක් බිහි කරලීමටත්, මෙලොව පරලොව හිත සුව පිණිසත් මනාව ඉවහල් වෙයි.

ඒ සඳහා මේ උතුම් බිනර පුන් පොහෝ දිනයේ අප සියලු දෙනා සිත තුළ අධිෂ්ඨාන කර ගත යුතු ව තිබේ .