Print this Article


සමානයින් අතර අසමාන වූ තරුණ සිත

සමානයින් අතර අසමාන වූ තරුණ සිත

කුටුම්බිය පුත්තතිස්ස තෙරුන් වහන්සේත් සමඟ, සැවැත්නුවර මිත්‍රයන් වශයෙන් ජීවත් වූ තරුණයන් 30 දෙනෙක් ජේතවනාරාමයට ගොස්, බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කොට ශ්‍රද්ධාවෙන් හා ගෞරවයෙන් බුදුරජාණන් වහන්සේගෙන් පැවිද්ද ලබා, සුදුසු කාලයේ දී ම උපසම්පදාවත් ලැබූහ.

වස් කාලය ආරම්භයත් සමඟම අවශ්‍ය කමටහන් ද ලබා ඈත ගමකට ගොස් භාවනා කරන්නට වූහ.

මෙම තිස් නමගෙන් කුටුම්බිය පුත්තතිස්ස තෙරුන් වහන්සේ ඉතා අලස වූහ. උන්වහන්සේ ගැන හඳුන්වා දී ඇත්තේ ” කුසීතෝ, හීනවිරියො, රසගිද්ධො” යනුවෙනි. එනම්, කම්මැලියි, උත්සාහවන්ත නැහැ. යන අදහසින් යුක්ත වීමයි. කැලේට වැඩියොත් දානෙ නො ලැබෙන්නේ යැයි සිතා සැවැත්නුවර ම නතර වූහ. එනමුත් අනෙක් භික්ෂූන් වහන්සේ 29 දෙනා ම කොසොල් රටේ එක් ගමක වස් වැසීම සිදුකොට ඒ කාලය තුළ දී ම විදර්ශනා වඩා සතරමඟ සතරඵල අවබෝධය ලබා නිවන් සුවය ද ලබා ගත්හ.

වස් කාලයෙන් පසු, තමන් වහන්සේ අරහත් බවට පැමිණි බව දැන්වීම සඳහා බුදුරජාණන් වහන්සේ හමුවීමට වැඩම කළහ. බුදුරජාණන් වහන්සේ ද එම පිරිස දැක බොහෝ ප්‍රශංසා කරන ලදී. මෙය අසා සිටි කුටුම්බිය පුත්තතිස්ස තෙරුන් වහන්සේ ද, කුසීත ව සිටීමේ විපාකය ලහි ලහියේ ම වටහා ගෙන, වීර්යයෙන් මහණදම් පුරන්නට උත්සාහවන්ත වූහ. ඒ අනුව ඉතා ඉක්මණින් මාර්ගඵලාවබෝධ කර ගැනීමේ අධිටනින් , නිදි නො ලබා ම භාවනාවේ යෙදීම හේතුවෙන් මධ්‍යම රාත්‍රියේ දී බිත්තියට හේත්තු වී සිටීම නිසා බිම වැටි උකුළු ඇටය කඩා ගත්තේ ය. පසුදා උදෑසන බුදුරජාණන් වහන්සේ එම තෙරුන් දැක කොසොල් රටට යන්නට අවසර ගත්තත් එහි නො ගියේ මන්දැයි විමසූහ. එහිදී අනෙකුත් භික්ෂූන් වහන්සේ එම සිදුවීම හුවා දැක්වූහ. පසුව බුදුරජාණන් වහන්සේ පෙරත් මේ කුටුම්බිය පුත්තතිස්ස තෙරුන් හදිසියට වැඩ කරන්නට ගොස් අනුන්ගේ ගමනට බාධා කළ බව දැක්වෙන පෙර කතා පුවත දේශනා කර වදාළහ.

පෙර මහා බෝසතාණන් වහන්සේ දිසාපාමොක් ඇදුරු ව තක්සලාවේ උපන් අවධියේ පන්සියයක් මානවකයෝ උන්වහන්සේ ළඟ ඉගෙනුම් කටයුතු කළහ. එක් දවසක් මේ මානවක පිරිස දර ගෙන එන්නට කැලේට ගියහ. මෙහි සිටි කුසීත, කම්මැලි මානවකයෙක් සුවිසල් ලුණුවරන ගසක් දැක මේ ගසේ දර මැනවයි සිතා කැලේට නොගොස් ගහ මුල ම ටික වෙලාවක් නිදාගත්තේ ය. අනෙක් මානවක පිරිස කැලේට ගොස් දර සොයා ගෙන ආහ. ඊට පසු දර රැගෙන ආ පිරිස මෙම කම්මැලි මානවකයා නිදා සිටින බව දැක අවදි කළේ ය.

එම කම්මැලි මානවකයා අර ලුණුවරණ ගසේ අතු කඩා ගෙන ඒවා අනිත් මානවකයින් ගෙනා දර උඩින් ම තබන ලදී. පසුදා අලුයම මහා බෝසතාණන්ට ගමනක් යන්නට ඇති බැවින් අලුයම කැඳ පිළියෙල කරන ලෙස ගෝලයින්ට දැනුම් දුන්හ. ගෝලයින් ද කැඳ පිසීම සඳහා ලිප දැල්වීමට දර ගොඩේ ඇති දර ගෙන ලිප මෙලවීමට උත්සාහ කළහ. එය අසාර්ථක වීමෙන් බෝසතාණන් වහන්සේ කැඳ නො ලබා ම එම ගමන යෑමට පිටත් විය.

“යො පුබ්බේ කරණීයානි”යනුවෙන් මුලින් කළ යුතු දේ පසු ව කරන්නට සූදානම් වන තැනැත්තා කළ යුතු දේ අසාර්ථක වූ කල්හි පසුතැවිල්ලට පත්වන බව මෙම කතා පුවත තුළින් පෙන්වා දී ඇත.