Print this Article


මදි තැන නැති සතුට ඇති තැන අපමණ ය

මදි තැන නැති සතුට ඇති තැන අපමණ ය

අද මනෝවිද්‍යාව විශ්ව ව්‍යාප්ත ව ඉතා දියුණු තත්ත්වයක පවතියි. විද්‍යාත්මක හා තාක්ෂණික වශයෙන් ඉතා දියුණූු ක්‍රමෝපායයන් මඟින් විවිධ මානසික ආකූල ව්‍යාකූලතාවන් හා රෝගී තත්ත්වයන් මෙන් ම එමඟින් ශාරීරික ව ඇතිවන ස්නායු ව්‍යාකූලතාවන් ද, ශාරීරික ව ඇතිවන රසායනික වෙනස්වීම් ද හඳුනා ගැනීමට අද මනෝ වෛද්‍ය විද්‍යාවට හැකියාව ඇත.

එහෙත් පුදුමය එය නොවේ. මේ කිසිදු බාහිර ආධාරකයන් නොමැති ව මනස තුළින් ම මනස දැකීමේ බුදුරදුන් තුළ පැවති පිරිසිඳ ඥානය ම පුදුම සහගත වන බවයි. බුදුරදුන්ගේ එම මනෝ පර්යාප්ත භාවය හමුවේ නූතන මනෝ විද්‍යාව තව ම දණගාන දරුවකු වැනි ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය “සෞඛ්‍යය’ යන්නට අංශ හතරකින් යුක්ත වර්ගීකරණයක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව “සෞඛ්‍යය යනු මිනිසාගේ කායික, මානසික, සමාජයීය හා ආධ්‍යාත්මික සමතුලිතභාවය යි” යනුවෙන් නිර්වචනය කර ඇත. මෙය අපට කිසිසේත් අලුත් දැක්මක් හෝ ඇසීමක් හෝ නොවේ. හේතුව වසර දහස් ගණනක් තිස්සේ බුදුරදුන්ගේ සර්වකාලීන වූ , සර්වතොභද්‍ර, ඉගැන්වීම් අන්තර්ගත බෞද්ධයාගේ “හස්තසාර ග්‍රන්ථය” වන “ධම්මපදය” නම් කෘතියෙහි අප මේ විග්‍රහය කියවා, අසා දැක ඇති බැවිනි.

එම ගාථාව මෙසේ ය.

“ආරෝග්‍ය පරමා ලාභා - සන්තුට්ඨිපරමං ධනං
විස්සාසා පරමා ඤාතී - නිබ්බාණං පරමං සුඛං”
(ධ.ප.සුබ වග්ගය)

සෞඛ්‍යය පිළිබඳ විග්‍රහයටත් වඩා පෘථුලාර්ථයන් මෙම ගාථාවෙහි අන්තර්ගත ය. එහි මුල් පදය වන “ආරෝග්‍ය පරමා ලාභා” යන්න අද දේශීය හා බටහිර වෛද්‍ය ක්ෂේත්‍රයේ ආදර්ශ පාඨය තරමට ම ව්‍යාප්ත ව පවතියි.

එම ගාථා පාඨයෙහි අදහස වන්නේ උතුම් ම ලැබීම නිරෝගී බව යන්න ය.

රජෙක් වුණත් ලෙඩෙක් නම් වැඩක් නැත. ඒ නිසා නීරෝගි සුවය රජකම ලැබීමටත් වඩා උතුම් ය. මෙහි “ආරෝග්‍ය” යන්නට සිත, කය දෙකෙහි ම නිරෝගී භාවය අයත් ය.

දෙවන පදය සන්තුට්ඨි පරමං ධනං” සතුට උසස් ම ධනය යි, යනු එහි අදහසයි. ධනය මිනිසාගේ ඉහළ ම භෞතික සතුටයි. එහෙත් කෙතරම් ධනය තිබුණත් ,ලැබුණත්, සිතේ සතුටක් නැති නම් එම ධනයෙන් ඇති පලක් නැත.

කිසිවිටෙක “හා දැන් ඇති” කියන්නේ නැත. සිතෙහි ස්වභාවය වන්නේ නිතර ම” තව මදි මදි” කියා ඉල්ලීමයි. මදි තැන සතුටක් නැත. “මට දැන් ඇති” යන ස්ථාවරය තුළ ඇත්තේ යථාලාභ සන්තුට්ඨිය යි. එනම් ලද පමණින් තුටු වීමයි.

සතුට අංශ දෙකකි. ඒ ආමිස සතුට හා නිරාමිස සතුට යි. ධනය තුළ ඇත්තේ ආමිස සතුට යි. එය පවතින්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ස්වභාවයන්ට අවනතවයි. ධනය ඇති වේ. නැති වේ. ඇති විට සතුටු ය. නැති විට දුක ය.

එහෙත් මෙහි පරම ධනය වන්නේ සිතෙහි අකංලක, නිරාමිස සතුටයි. එම සතුට අප මානසික ව සුවපත් කරයි. එය කායික සුවයට ද හේතු වෙයි. පළමු ගාථා පදයෙහි කායික, මානසික නීරෝගි බව උතුම් ලැබීම බව දක්වා, නැවත දෙවන ගාථා පදයෙන් සිතේ සතුට ගැන දක්වා ඇත්තේ කායික හා මානසික යන අංශ දෙක්හි ම සුවතාවට සිතේ සතුට බලපාන්නා සේ ම, එම අංශ දෙක්හි ම රෝගී භාවයට සිතේ අසතුට, කනස්සල්ල බලපාන බව අවධාරණය කිරීම සඳහා ය. එසේම බුදු දහම මානසික සුවය කෙරෙහි ද වැඩි නැඹුරුතාවක් දක්වා ඇති බැවිනි.

තෙවැනි ගාථා පදය “විස්සාසා පරමා ඤාතී” යන්න ය. එහි අදහස වන්නේ විශ්වාසවන්තයා උතුම් නෑයා වන බව ය. විශ්වාසය, යනු අප අනුන්ගෙන් පතන, අපේක්ෂා කරන දුලබ ගුණයකි. අප අනුන්ගෙන් විශ්වාසය පතන්නා සේ ම, අනුන් ද අපෙන් එය අපේක්ෂා කරයි. අනුන් අපට විශ්වාසවන්ත වුවත් අප අනුන්ට විශ්වාස නොවන්නේ නම්, අප අනුන්ට විශ්වාසදායක වුවත්, අනුන් අපට විශ්වාසදායක නොවන්නේ නම්, ඉන් උදාවන ප්‍රතිඵලය වන්නේ මානව සබඳතා ජාලය මුළුමනින් ම බිඳ වැටීමයි.

සැකය,අවිශ්වාසය තුළ සමස්ත සමාජ යාන්ත්‍රණය ම එසේ අක්‍රිය වීම, මානසික සාමය හා සමාජ සාමය බිඳ වැටීමට හේතු වේ. විශ්වාසවන්තභාවය යනු සිතට එකඟ බවයි. අනුන් අප කෙරෙහිත්, අප අනුන් කෙරෙහිත් අන්‍යෝන්‍ය වශයෙන් පවත්නා මානසික එකඟතාව හෙවත් හෘදය සාක්ෂිය එය ම වන්නේ ය.

සමාජම ය වශයෙන් එහි මූලික බන්ධනය වන්නේ අඹුසැමි දෙපළයි. බිරියක් වශයෙන් තම සැමියා කෙරෙහි ඇයට ඇයගේ හෘදය සාක්ෂියත්, සැමියකු ලෙස තම බිරිය කෙරෙහි ඔහුට ඔහුගේ හෘදය සාක්ෂියත්, එකඟ නොවන්නේ නම්, එයින් හෙළි වන්නේ ඒ දෙදෙනා ම ඔවුනොවුන්ට හෙළි වේ දෝ යන සැකයෙන් කිසියම් රහසක් සිතේ සඟවා ගෙන සිටීම යි. මෙය එක් අයකු හෝ දෙදෙනා ම ඔවුනොවුන්ට හොර රහසේ යෙදුණු අනාචාරමය බරපතළ රහස්‍යභාවයක් විය හැකි ය.

අඹු සැමි විශ්වසනීයභාවය කඩවීම වනාහි සමාජ පදනම දෙදරා යාමයි. පදනම දෙදරා යාම තුළ ඒ හා සම්බන්ධ සෙසු කොටස්වල පැවැත්ම ද අවදානම් සහිත ය. මේ අනුව අඹු සැමි සබඳතා පමණක් නොව අන්‍යෝන්‍ය අවිශ්වාසය තුළ සකලවිධ සමාජ බන්ධනයන් ම බිඳ වැටේ. අපට ඕනෑතරම් නෑදෑයෝ සිටිති. එහෙත් ඒ සියලුම අය විශ්වාසවන්ත නොවෙති. ඒ අනුව ඥාතියා උතුම් ඥාතියකු වන්නේ විශ්වාසවන්තභාවය මත ය. එවන් නෑයා අපේ කරදරයක දී විපතක දී අවංක ව අපට පිහිට වේ. සැපතක දී අවංකව සතුටු වෙයි.

“නිබ්බාණං පරමං සුඛං” ඉහත පැවසූ සියල්ලෙහි ඒකීභූත භාවය එයයි. ඒ සියල්ල අවසානයේ ඒකරාශි වන්නේ උතුම් ආධ්‍යාත්මික සන්තුෂ්ඨිය හෙවත් අපගේ හිසේ, හිතේ, හදේ නිවී සැනසීම පිණිස ය. එහි ඇත්තේ අචල, අකම්පිත, අවේදයිත සැපතයි.