Print this Article


උපුල් මල් දමක් සේ හිස පැළඳි උතුම් අෂ්ට ගරු ධර්ම

උපුල් මල් දමක් සේ හිස පැළඳි උතුම් අෂ්ට ගරු ධර්ම

එසමයෙහි බුදුරදුන් වැඩ සිටියේ කිඹුල්වත්පුර නුවර නිග්‍රෝධාරාමයේ ය. එහිදී මහා ප්‍රජාපතී ගෝතමී දේවිය උන්වහන්සේ වෙත එළඹ වැඳ එකත්පසෙක සිට කාන්තාවන්ට බුදුසසුන තුළ පැවිද්ද හා උපසම්පදාව ලබා දෙන ලෙසට තෙවරක් ම ආයාචනා කළා ය. එහිදී බුදුරදුන් වදාළේ “ගෞතමියනි, තථාගතයන් දැන හෙළි පෙහෙළි කළ සස්නෙහි ගිහි ගෙයින් නික්ම මාගමක්හු පැවිදි වනු ඔබට රිසි නොවේවා!” යන්නයි.

බුදුරදුන් ඊළඟ වස් සමය වැඩ සිටියේ විශාලා මහනුවර මහ වනයෙහි කූටාගාර ශාලා විහාරයෙහි ය. එහි දී ද මහා ප්‍රජාපතී ගෝතමී දේවිය කලින් රෝහිණී නදී තීරයේ දී බුදුරදුන් සමීපයේ පැවිදි වූ ශාක්‍ය කෝලිය දෙරට කුමාරවරුන් පන්සියයක්ගේ භාර්යාවන් ද කැටුව කෙස් වැටි කපා හැර කහ වස්ත්‍ර පොරවා මැටි පාත්‍ර ගෙන ඉතා ම දුක සේ සැතපුම් ගණනාවක් පයින් ම විශාලා මහනුවර කරා පැමිණියහ. පිරිස පනස් එක් යොදුනක් ම පා ගමනින් පැමිණි බැවින් කූටාගාර ශාලා විහාරයට ළඟා වන විට ශරීරය දහදියෙන් තෙත්ව, දූවිල්ලෙන් ගැවසී, දෙපා ඉදිමී දුර්වර්ණ වී පැවතිණ. එබැවින් විහාරගෙය තුළට ඇතුළු වීමට තරම් හැකියාවක් නොමැති කාන්තා පිරිස කූටාගාර ශාලාවේ දොරටුව අබියස ශෝකීබර ව සිටියහ.

ඉක්බිති ව මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ආනන්ද හිමියන්ට කරුණු පවසා උන්වහන්සේගේ මාර්ගයෙන් කාන්තාවන්ට බුදු සසුන තුළ පැවිද්ද ලබා දෙන ලෙස ඉල්ලා සිටියා ය. ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත ගොස් සියලු තොරතුරු සැල කළහ. එහිදී ද බුදුරදුන් එම ඉල්ලීම තෙවරක් ම ප්‍රතික්ෂේප කළේ

“ආනන්දයෙනි, කාන්තාවන් ගිහිගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිදි වීම නුඹට රිසි නොවේවා” යි වදාරමිනි. එවිට ආනන්ද තෙරණුවෝ මෙසේ කල්පනා කළහ.

“භාග්‍යවතුන් වහන්සේ කාන්තාවන්ට ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිද්ද අනුමත නොකරන සේක. වෙනත් මඟකිනුත් කාන්තා පැවිද්ද අයැද සිටී නම් මැනවි.” එසේ සිතා බුදුරදුන් හමුවේ මෙසේ සැල කළහ.

“භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන්ට ගිහිගෙයින් නික්ම තථාගත සස්නෙහි පැවිදි ව සෝවාන්, සකෘදාගාමී, අනාගාමී හා අරහත් ඵල පසක් කර ගන්නට හැකි ද?”

“අනඳයෙනි, කාන්තාවන්ට ගිහිගෙයින් නික්ම තථාගත සස්නෙහි පැවිදි ව සෝවාන්, සකෘදාගාමී, අනාගාමී හා අරහත්ඵල පසක් කර ගන්නට හැකි ය.”

“භාග්‍යවතුන් වහන්ස, මහා ප්‍රජාපතී ගෝතමිය භාග්‍යවතුන් වහන්සේට කළ බොහෝ උපකාර ඇත්තී ය. සුළු මෑණියෝ ය, වැඩූ, පෝෂණය කළ තැනැත්තී ය, කිරි දුන් තැනැත්තී ය. මව කලුරිය කළ කල්හි කිරි පෙවුවා ය. භාග්‍යවතුන් වහන්ස, කාන්තාවන් ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිද්ද ලබන්නී නම් යෙහෙකි ය.”

“අනඳයෙනි මහා ප්‍රජපාතී ගෝතමී ගරු දහම් අටක් පිළිගන්නී නම්, එයම ඇයගේ උපසම්පත්තිය වේවා.” මෙහිදී බුදුරදුන් වදාළ අෂ්ට ගරු ධර්ම මෙසේ ය. උපසම්පදාවෙන් වසර සියයක් ගත වූ මෙහෙණියක විසින් වුව ද එදින උපසම්පදා වූ භික්ෂුවට වැඳීම, දැක හුනස්නෙන් නැඟිටීම, දොහොත් මුදුන් තබා නැමදීම ආදී ගරු බුහුමන් දිවිහිමියෙන් කළ යුතු ය. භික්ෂුණිය භික්ෂූන් නොමැති ගමක වූ ආවාසයෙක වස් නොවිසිය යුතු ය. අඩ මසක් පාසා භික්ෂුණිය විසින් භික්ෂූන් වහන්සේගෙන් පොහොය විචාළ යුතු ය. අවවාද දීමට භික්ෂුවකගේ පැමිණීම ද බලාපොරොත්තු විය යුතු ය.

වස් විසූ භික්ෂුණිය වස් අවසානයේ දී භික්ෂු භික්ෂුණී යන දෙසඟ පිරිස් දුටු දෙයින්, ඇසූ දෙයින්, සැක කළ දෙයින් යන තුන් දෙයින් පවාරණය කළ යුතු ය.

බර ඇවතකට පත් භික්ෂුණිය භික්ෂු භික්ෂුණී උභතො සංඝයා ඉදිරියෙහි මානත් පිරිය යුතු ය. දෙ අවුරුද්දක් ම උභතො සංඝයා වෙත හික්මෙන්නියක ව සිට උපසම්පදාව අපේක්ෂා කළ යුතු ය. භික්ෂුණිය විසින් කවර කරුණක් නිසා හෝ භික්ෂුවකට ආක්‍රෝෂ පරිභව නොකළ යුතු ය. භික්ෂුණිය විසින් භික්ෂුවකට “මෙසේ සිටින්න, මේ දෙය කරන්න” ආදී ලෙස අණ දෙන ආකාරයෙන් කතාබහ නොකළ යුතු අතර, භික්ෂූන්ගේ අවවාද පිළිගත යුතු ය.

මෙසේ මෙම ගරු ධර්ම අට ආනන්ද හිමියන්ට විස්තර කර දුන් බුදුරජාණන් වහන්සේ

“අනඳයෙනි, මහා ප්‍රජාපතී ගෝතමී මේ ගරු දහම් අට පිළිගනී නම් එයම ඇයගේ උපසම්පදාව වන්නේ යැ”යි වදාළහ. ආනන්ද හිමියෝ මහා ප්‍රජාපතීගෝතමී දේවිය වෙත පැමිණ මෙය විස්තර කර දුන්හ. එවිට එතුමිය ප්‍රකාශ කළේ “කය සරසනු සුළු තරුණ යොවුන් වියෙහි සිටි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හිස සෝදා නා උපුල් මල්දමක් හෝ සමන් මල්දමක් හෝ යොහොඹු මල්දමක් හෝ ලැබ දෑතින් පිළිගෙන උතුම් හිසෙහි පිහිටුවන්නේ ද එසේ ම මම මෙම ගරු දහම් අට දිවි හිමියෙන් සුරකිමි. පිළිගනිමි.” යනුවෙනි. ඉක්බිති ව ආනන්ද හිමියෝ බුදුරදුන් වෙත එළඹ “භාග්‍යවතුන් වහන්ස, මහා ප්‍රජාපතී ගෝතමී දේවිය විසින් ගරු දහම් අට පිළිගැනිණ. භාග්‍යවතුන් වහන්සේගේ සුළු මෑණියන් දෑ උපසපුව ලැබූහ“යි, කීහ.

පසුව බුදුරදුන් වදාළේ “අනඳයෙනි, කාන්තාවන් ගිහි ගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිද්ද නො ලද නම් මේ සසුන් බඹසර චිරස්ථිතික වන්නේ ය. මේ ශාසන සද්ධර්මය අවුරුදු දහසක් පිහිටියේ ය. යම් හෙයකින් කාන්තාවෝ ගිහිගෙයින් නික්ම තථාගත ශාසනයෙහි පැවිදි වූවහු ද එබැවින් දැන් මේ සසුන චිරස්ථිතික නොවන්නේ ය. දැන් මෙතැන් සිට පන්සිය වසරක් ශාසන සද්ධර්මය පිහිටියේ ය” යන්නයි. බුදු සසුනෙහි කාන්තාවන් පැවිදි වීම සසුන චිරස්ථිතික වීමට හේතු නොවන බව බුදුරදුන් ඉතා සරල උපමා දෙකක් මඟින් පැහැදිලි කළහ. සම්පූර්ණ වූ හැල් කෙතක වී බොල් වන රෝග විශේෂයක් හටගැනීමකට පළමු ව එය උපමා කොට ඇති අතර, උක් වත්තක ගස් තුළ කඳ රත් පැහැ ගන්වන රෝග විශේෂයක් හටගැනීමට දෙවනුව එය උපමා කොට තිබේ.

අෂ්ට ගරු ධර්ම පැනවීම පිළිබඳ බුදුරදුන්ගේ උපමාව වූයේ, මහ වැවක ජලය එයින් නික්ම පිටත ගැලීම වළක්වනු පිණිස කල්තබා ම නියරත් බඳනේ ද එසේම මා විසින් දිවිහිමියෙන් කඩ නොකළ යුතු ගරු ධර්ම අටක් කල්තබා ම භික්ෂුණීන්ට පනවන ලද බවයි.

බිනර පුර පසළොස්වක පොහොය දිනෙක භික්ෂුණී සමාජය ආරම්භ කරමින් මහා ප්‍රජාපතී ගෝතමී දේවිය පැවිදි උපසම්පදාව ලැබුවේ මේ ආකාරයෙනි. පසුව අනෙක් කාන්තා පිරිස ද එතුමිය අනුව යමින් පැවිදි උපසම්පදාව ලැබූහ.