Print this Article


සුදු කළු කර්ම සිඳ බිඳ ලන ධර්ම

සුදු කළු කර්ම සිඳ බිඳ ලන ධර්ම

කර්මයත්, පුනර්භවයත් අතර පවතින්නේ එක්තරා විදියක වක්‍රාකාර සම්බන්ධයක්. යම්කිසි විපාක වාරයක් හැටියට උත්පත්තියක් ලබන සත්ත්වයා නැවතත් කර්ම රැස් කිරීමේ දී අර කර්ම වේගයට ම නතු වෙලා, අවනත වෙලා ක්‍රියා කිරීමෙන් සංසාරය දිග්ගස්සා ගන්නවා.

කර්ම ශක්තිය සංසිඳවලා සංසාරයෙන් මිදෙන්න පුළුවන් වන්නේ, ධර්ම ශක්තිය පිහට කර ගෙනයි. කර්ම චක්‍රය කොයි තරම් බලගතු වුණත් අවසානයේ දී ධර්ම චක්‍රය ජය ගන්නා බව තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ලෝකයාට පහදා දුන්නා.

පින්වතුනි, ජේතවනාරාමයේ වැඩ වාසය කළ “තිස්ස” කියන රහතන් වහන්සේ නමක් අවුරුදු දොළහක් තිස්සේ ම එක්තරා මැණික්කරුවකුගේ ගෙදරට පිණ්ඩපාතේ වැඩියා. ඒ මැණික්කරුත් භාර්යාවත් මේ ස්වාමීන් වහන්සේට මවුපිය ස්ථානයෙහි ඉඳගෙන සියලු ඇප උපස්ථාන කරමින් දානය එහෙම පූජා කළා. එක දවසක් දා මේ ස්වාමීන් වහන්සේ මැණික්කරුගේ ගෙදරට වඩිනකොට ඒ මැණික්කාරයා මස් කපමිනුයි හිටියේ. ඒ වෙලාවෙ ම කොසොල් රජ්ජුරුවන්ගෙන් දූතයෙක් ආවා මැණිකකුත් අරගෙන.

“මේ මැණික ශුද්ධ කරලා විදලා එවන්න කියලා රජ්ජුරුවෝ කිව්වා.” කියල මේ මැණික්කාරයා මස් කපමින් හිටිය ගමන් ලේ තැවරුණ අතින් ම අර මැණික අරගෙන පෙට්ටිය උඩ තියලා අත හෝදන්න ගියා. මේ ගෙදර හිටියා හුරතලයට ඇති කරන කොස්වාළිහිණියෙක්. මේ පක්ෂියා ලේ ගඳට මේ මැණික මස් කෑල්ලක් කියලා හිතලා ගිල්ලා මේ තෙරුන් වහන්සේත් බලාගෙන සිටියදී. මැණික්කාරයා ගේ ඇතුළේ ඉඳලා ඇවිත් බලන කොට මැණික නැහැ. ඊළඟට ඇහුවා තමන්ගේ බිරිඳගෙන්, දරුවන්ගෙන් එහෙම මැණික ගත්තා ද කියලා. ඔවුන් ගත්තේ නැහැ කිව්වට පස්සේ ගේ ඇතුළට ගිහිල්ලා බිරිඳ සමඟ සාකච්ඡා කරනවා. “එකත් එකටම මේ හාමුදුරුවෝ තමයි මේ මැණික ගත්තේ” කියලා.

බිරිඳ කියනවා “අපොයි එහෙම කියන්න එපා මෙච්චර කාලයක්, අවුරුදු දොළහක් තිස්සේ, මේ ස්වාමීන් වහන්සේගේ කිසි වරදක් අපිට පෙනුණේ නැහැ.”

නමුත් මේක ඇහුවෙ නෑ. මැණික්කාරයා ඇවිල්ල රහතන් වහන්සේගෙන් අහනවා “දැන් මෙතන තිබුණ මැණික කවුද ගත්තෙ ස්වාමීන් වහන්සේ ද? කියලා. “නෑ මම ගත්තේ නෑ” කියල උන්වහන්සේ කිව්වා. “වෙන කෙනෙක් මෙතන හිටයෙ නැහැ. ස්වාමින් වහන්සේ තමයි ගන්න ඇත්තෙ. මට ඒ මැණික දෙන්න.” ඉතින් ස්වාමීන් වහන්සේට කරකියා ගන්න දෙයක් නැහැ. ඔහු ගේ ඇතුළට ගිහිල්ලා බිරිඳ සමඟ සාකච්ඡා කරනවා. එකත් එකට ම මේ හාමුදුරුවෝ ම තමයි ගන්න ඇත්තෙ. මම වධ දීලා හරි මේක අහන්න ඕන. “අපොයි ඒක නම් කරන්න එපා. අපි විනාශයි ඒක කළොත්. ඊට වැඩිය හොඳයි රජ්ජුරුවන්ට දාසයකු වෙන එක මුළු පවුලම.” කියලා බිරිඳ ප්‍රකාශ කළා.

එතකොට මේ මැණික්කරු කියනවා. “අපි ඔක්කොම දාසයො වුණත් මේ මැණිකෙ වටිනාකම ගෙවෙන්නෙ නැහැ” කියලා. දැඩි ව ගත්තු අදහස පිට ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේගේ හිස වෙළුවා රැහැනකින්. වෙළලා හරියට තිරිංගයක් වගේ ලී කැබැල්ලකින් තද කළා. වධ දෙමින් අහනවා මැණික ගත්ත ද කියලා. ඉතින් මේ තද කරන්න, තද කරන්න මේ ස්වාමීන් වහන්සේගේ නාසයෙන්, කනෙන් ලේ ගලන්න පටන් ගත්තා. මේ ස්වාමීන් වහන්සේට ඉවසන්න බැරි ව ඇදගෙන වැටුණා බිම. කොස්වාළිහිණියත් ඒ ලේ ගඳට ඇවිල්ලා ලේ බොන්න සූදානම් වෙන කොට මැණික්කාරයා අර ස්වාමීන් වහන්සේ කෙරෙහි තියන තරහින් ම “තෝ මොකක්ද මෙතැන කරන්නේ” කියල බැණලා අර කොස්වාළිහිණියාට පයින් ගැහුවා. ඒ සතා එහෙම ම මැරී වැටුණා. ස්වාමීන් වහන්සේත් දැක්කා මේක. දැකලා කියනවා “උපාසකය, මේ බැම්ම ටිකක් බුරුල් කරන්න. බුරුල් කරලා බලන්න අර කුරුල්ලා මැරිලද” කියලා”.

“ඌ වගේ නුඹත් මැරියන්” කියල මැණික්කරු කිව්වා. ඔන්න එතකොට මේ ස්වාමීන් වහන්සේ තේරුම් ගත්තා මේ සතා මැරුණ තමයි කියල. ඔන්න ඊළඟට කියනවා උපාසකය, මැණික ගිල්ලෙ මේ කුරුල්ලයි. මම ඒක කිව්වෙ නැත්තෙ මේ සතාගෙ මරණය වෙන නිසා. මා මැරුණත් ඒක කියන්නේ නැහැ. දැන් ඉතින් මේ සතා මැරුණ නිසයි මම කියන්නේ.” ඔන්න එතකොට මැණික්කාරයා මේ සතාගෙ බඩ පළලා බලන කොට මැණික තියෙනවා. උපාසකට ලොකු සංවේගයක් ඇති වුණා. ඇවිල්ලා ස්වාමීන් වහන්සේගේ පාමුල වැඳ වැටිලා “අනේ මට සමාව දෙන්න.” කියල ඉල්ලා හිටියා.

මේ ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනවා. “උපාසකය, මේක ඔහේගෙ වැරැද්දකුත් නොවෙයි. මගේ වැරැද්දකුත් නොවෙයි. මේක සංසාර දෝසයක්, සංසාරයේ වැරැද්දක්. ඒක නිසා මම ඔබට සමාව දෙනවා.” එතකොට මේ උපාසක කියනවා.

“ස්වාමීනී, මට සමාව දෙනවා නම්, වෙනදා වගේ ම මේ ගෙදරට ඇවිල්ලා පිණ්ඩපාතය වළඳන්න”.

“නැහැ උපාසකය, මට දැන් තේරෙනවා මෙහි ආදීනව. මේ ගේක වහලය යටට යාම නිසයි මේක වෙන්නෙ, මේ විදියෙ දෙයක්. ඒක නිසා මාගේ පාවල ශක්තිය ඇතිතාක් මම පිණ්ඩපාතයේ වඩිනවා” කියලා ඒ වෙලාවෙ ම ධුතංගයක් සමාදන් වුණා.

එහෙම කිව්වට මොකද ඒ ස්වාමීන් වහන්සෙ අර ඇතිවුණ ආබාධයෙන් වැඩි කල් නොගොස් කලුරිය කළා.

අවුරුදු දොළහක් තිස්සේ මවුපිය ස්ථානයේ ඉඳගෙන අර භික්ෂූන් වහන්සේට උපස්ථාන කළ මැණික්කරු සුළු වෙලාවක කළ බරපතළ කර්මය නිසා අන්තිමට ඒ සියලුම කුසල් වහන විදියේ ආනන්තරීය පාප කර්මයක බැඳිලයි නිරයට ගියේ. ඔයින් අපට හිතාගන්න පුළුවන් අපිත් කොයිතරම් හොඳ මිනිස්සු වුණත්, ශීල, සමාධි, ප්‍රඥා ආදී ගුණ ධර්ම අප තුළ නැත්නම් මැණික්කාරයාට වුණා වගේ එක සුළු වේලාවක කරන අකුසලයකින් භයානක විපාක නෙළාගන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ හරය, සීල, සමාධි, ප්‍රඥා කියන්නේ. සීලය, වචනය හික්මවා ගැනීමේ ආරම්භක පියවර. හිත තැන්පත් කර ගැනීම, ප්‍රඥා කියන්නේ. ලෝකයත්, ජීවිතයත් පිළිබඳ ව යථා අවබෝධය. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණය හරිහැටි වටහා ගැනීමෙන් යම් යම් මට්ටම්වලින් මේ සියලු කර්මවේග සංසිඳවලා අවසානයේ ධර්ම චක්‍රය තුළින් කර්ම චක්‍රයත් බිඳලා කර්ම චක්‍රය ජය අරගෙන මේ සංසාර ගමන කෙළවර කරන එක තමයි රහත් වෙනවා කියන්නේ.

බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳ නා නා විධ විග්‍රහ ඒ ඒ අවස්ථාවල ඉදිරිපත් කළා. එක තැනක උන්වහන්සේ දක්වනවා “මහණෙනි කර්ම වර්ග හතරක් තියෙනවා. කළු විපාක ඇති කළු කර්ම තිබෙනවා. සුදු විපාක ඇති සුදු කර්ම තිබෙනවා, කළු සුදු විපාක ඇති කළු සුදු කර්ම තිබෙනවා. කළු නොවූ, සුදු නොවූ විපාක ඇති කළු නොවූ, සුදු නොවූ කර්ම තිබෙනවා.

කළු විපාක ඇති කළු කර්ම විශේෂයෙන් ම පඤ්චානන්තරිය කර්ම. මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ කෙනෙකුගේ මරණය සිදු කිරීම, ද්වේෂ සිතකින් තථාගතයන් වහන්සේගේ ශරීරයේ ලේ සෙලවීම, සංඝ භේද කර්මය කියන කර්ම. පංචානන්තරීය කර්ම කළොත් ඒකාන්තයෙන් ම නිරයේ උපදිනවා.

සුදු විපාක ගෙන දෙන සුදු කර්ම දස කුසල කර්ම. දස අකුසල්වලින් වෙන් වෙලා. කුසල් සිත ඇති කර ගැනීම තමයි මෙතන සුදු කර්ම කියන්නේ.

කළු සුදු කර්ම කියල ප්‍රකාශ කරන්නේ මිශ්‍ර විදියට. අර විදියෙ නරක කර්මත් කරනවා. ඉඳ හිටලා කුසල කර්මත් කරනවා. ඒ මිශ්‍ර විදියට කර්ම කරපු අය උපදින තැන් හැටියට සඳහන් කරනවා. මනුෂ්‍ය ලෝකය, ඇතැම් දිව්‍ය ලෝක, ඒ වගේම ඇතැම් අපාය තිබෙනවා. තනිකර ම දුක් නොවෙයි. ඉඳ හිටලා සැපත් තියෙනවා. සැප කියල කියන්න පුළුවන් සැප වේදනාත් තිබෙනවා. කළු නොවූ, සුදු නොවූ විපාක දෙන කළු නොවූ සුදු නොවූ කර්ම. ඒව හඳුන්වන්නේ සියලුම කර්ම ක්ෂය කිරීමට උපකාර ඒවයි. සියලුම කර්ම නැති කිරීම සඳහා ඇති කර ගන්නා චේතනාවයි.

එතැන හඳුන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. මැදුම් පිළිවෙත. නිවනට උපකාරී වෙන මධ්‍යම ප්‍රතිපදාවයි. බුදුරජාණන් වහන්සේ දක්වන්නේ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය අදහස ම බොජ්ඣංග හත හැටියට ධර්මය වැඩුවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර මට්ටමින් වැඩුවත් අන්තිමට සිද්ධ වෙන්නේ. පින්, පව්, කුසල්, අකුසල් කියන අර මුළු කර්ම චක්‍රයෙන් ම ගැලවෙන්න පුළුවන් වෙනවා.

අවිද්‍යාව කියල ගත්තොත් ‘මම ය මගේ ය’ කියන හැඟීම මුල් කරගෙන තමයි සියලු ම කුසල් හෝ අකුසල් හෝ පින් හෝ පව් හෝ සිදු වෙන්නේ. එතකොට ඒවා නැති කර ගන්න මේ අවිද්‍යාව නැති කර ගන්න ඕන. ඒකට උපකාර වෙන එක තමයි මධ්‍යම ප්‍රතිපදාව, ආර්ය අෂ්ටාංගික මාර්ගය, බොජ්ඣංග හත වැඩීම.