අලව්ව පැණසිහ සේනාසනයේ
සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ
ආචාර්ය
බොරලැස්ගමුවේ පේමරතන හිමි
අප තථාගත ලොව්තුරා බුදුපියාණන් වහන්සේ පහළ වූ දා සිට දසදහස්ගණන් ශ්‍රාවකයන්,
දායකයන් හා අනුගාමිකයන් බුදුසසුනට ළැදි ව බැඳී ක්‍රියා කරන්නට යෙදුණි. එකල
බුදුහිමියන් වැඩි කාලයක් වස් වසා ඇත්තේ ජේතවන විහාරයේ ය. එහෙත් එහි සෑම විටක ම
උන්වහන්සේ වැඩ සිට නැත.
බොහෝ දෙනාගේ යහපත පිණිස ජේතවන විහාරයෙන් බැහැර ව දහම් දෙසීමට වැඩම කර තිබේ. එවැනි
අවස්ථාවල බුදුහිමියන් හමුවීමට පැමිණි බොහෝ පිරිසට උන්වහන්සේ වන්දනා කිරීමට නොහැකි
වීමෙන් කනගාටුවට පත්ව ආපසු හැරී ගොස් තිබේ. මේ තත්ත්වය දැනගත් අග්‍ර උපස්ථායක ආනන්ද
හිමියන් බුදුහිමියන්ට ඒ බව දැන්වූ පසු බුදුහිමියන් විසින් පාරිභෝගික වස්තුවක් ලෙස
සැලකූ බෝධීන් වහන්සේ වන්දනා කිරීම තමන් වහන්සේ වන්දනා කිරීමක් හා සමාන බව දක්වා
තිබේ.
ඒ අනුමැතියෙන් පසු ආනන්ද හිමියන් විසින් ගයාවේ පිහිටි බෝධීන් වහන්සේගේ ශාඛාවක්
බුදුහිමියන් බොහෝ කලක් වැඩ සිටි ජේතවනාරාමය අසල රෝපණය කොට ඇත. එය ආනන්ද බෝධි රෝපණය
ලෙස ප්‍රකට ය. එහි දී අග්‍රශ්‍රාවක මුගලන් රහතන් වහන්සේගේ උපකාර ඇති ව ගයාවේ ශ්‍රී
මහා බෝධියෙන් අංකුරයක් ලබා ගෙන කොසොල් රජුගේ පූර්ණ අනුග්‍රහයෙන් අනේපිඬු සිටුවරයා
විසින් රෝපණය කර ඇත. ආනන්ද හිමියන්ගේ දැඩි ඉල්ලීම නිසා බුදුහිමියන් අභිනව
බුද්ධප්‍රතිමා වහන්සේ අභිනවයෙන් රෝපණය කළ බෝධි මූලයෙහි එක් රැයක් පහන් කොට
පාරිභෝගික වස්තුවක් බවට එම ආනන්ද බෝධිය පත් කර ගෙන තිබේ.
අද වන විට බුදුන් වහන්සේට වන්දනා මානන කිරීම වෙනුවෙන් ශාරීරික, උද්දේසික හා
පාරිභෝගික වශයෙන් භාවිත වන ත්‍රිවිධ චෛත්‍ය සංකල්පය තුළ ජනප්‍රියතම අංගයක් වන
උද්දේසික චෛත්‍යය හෙවත් බුදුපිළිමය නිර්මාණය වූයේ බුදුන් වහන්සේ පිරිනිවන් පා
සියවස් හතරකට පමණ පසුව යැයි පර්යේෂකයන්ගේ අදහස යි.
කාලිංගබෝධි ජාතකට්ඨකථාව බුදුපිළිමය උද්දේසික චෛත්‍යයක් ලෙස දක්වා නැත. එම අටුවා
කථාවේ “උද්දේසික” යන්න හඳුන්වා ඇත්තේ උද්දේසිකං:අවත්ථුකං, මනමත්තකං යන පදවලිනි.
උද්දේසික හා අවත්ථුකං යන පදවලට එහි අරුත් සපයා ඇත්තේ බුදුන් වෙනුවෙන් දැක්වීමට
නිශ්චිත වස්තුවක් නැත යනුවෙනි. මනමත්තකං යන්නෙන් ගම්‍ය කෙරෙන්නේ බුදුහිමියන් සිතින්
මවා ගෙන සිදුකරන පූජාව උද්දේසික පූජාව ලෙසයි. එමගින් තහවුරු වන්නේ කාලිංගබෝධි
ජාතකට්ඨකථාව රචනා වූ කාලය වන විටත් බුදුපිළිමය පහළ වී නො තිබුණු බවයි. උද්දේසික
චෛත්‍යය යනු බුදුපිළිමය නම් වූ චෛත්‍යයක් සිතින් මවා ගැනීමක් මිස බුදුහිමියන් උදෙසා
ස්ථිර ලෙස දැක්විය හැකි වස්තුවක් නො වේ. බුදුපිළිමය පහළවීමට පෙර බුදුහිමියන්
නිරූපණය කොට ඇත්තේ ධර්ම චක්‍රය, බෝධි වෘක්ෂය, ශ්‍රී පාද ලාංඤ්ඡනය වැනි සංකේතවලින්
යැයි සාංචි, භාරුත් වැනි කැටයම්වල අන්තර්ගත බුද්ධ සංකේතවලින් පෙනේ.
බුදුපිළිම මුලින් ම ඉන්දියාවේ නිර්මාණය වූ බව උගතුන්ගේ පිළිගැනීමයි. ක්‍රි.ව. 1 වන
සියවස ආරම්භයේ හෝ මධ්‍යයේ දී පමණ ගන්ධාරයේ හා මථුරාවේ එක ම කාලයක බුදුපිළිම නෙළීම
ආරම්භ වූ බව ආනන්ද කුමාරස්වාමි මහතා පවසයි. මහාචාර්ය වල්පොල රාහුල හිමියන් පවසා
ඇත්තේ ක්‍රි.ව. 3 වන සියවස වන විට බුදුපිළිමය ගැන අවබෝධයක් තිබී නැති බවත් යටත්
පිරිසෙයින් ක්‍රි.පු. දෙවැනි සියවස වන විට හෝ බුදුපිළිම වන්දනා කිරීමේ පිළිවෙළෙහි
එය ඇතුළත් ව නො තිබූ බවයි. එච්.සී.පී. කරන් හා සුකුමාර් දත් යන වියතුන් බුදුපිළිමයේ
ආරම්භය ක්‍රි.පූ. පළමුවන හා ක්‍රි.ව. පළමුවන සියවස් අතර කාලයට අයත් වේ යැයි කියා
තිබේ. රාහුල සාංකෘත්‍යායන පඬිවරයා බුදුපිළිමය ක්‍රි.ව. 78-103 කාලය හෙවත් කණිෂ්ක
රාජ සමයට අයත් බව කියයි. ඒ.මැක්ඩොනල්ඩ් පඬිවරයා පවසන්නේ ක්‍රි.ව. පළමුවන සියවසෙන්
පසුව බුදුපිළිමය ආරම්භ වන්නට ඇති බවයි. නාලිනාක්‍ෂ දත් මහතා අවධාරණය කරන්නේ පිළිම
වන්දනාව ක්‍රි.ව. හතරවන සියවසට පෙර ඇරඹුණු බවකි. ක්‍රි.ව. පස්වන සියවස වන විට
බුද්ධප්‍රතිමා නිර්මාණය ශිල්පීය වශයෙන් ඉහළ මට්ටමක පැවතුණත් එය පළමුවෙන් ම ආරම්භ
වූයේ ගන්ධාර හෝ මථුරා කලාවලට අයත් ගුරුකුලවල ද යන්න මතභේදාත්මක වූවකි.
කෙසේ වෙතත් ලෝකෝත්තර තත්ත්වයට පත් වූ උත්තමයකු පිළිමයකින් නිරූපණය කිරීමට ගත්
දුෂ්කර උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස බුද්ධ ප්‍රතිමාව පහළ වීමට කලක් ගත වී ඇත.
බුදුහිමියන්ගේ රූපකාය ගැන ශිල්පීන් අවධානය යොමු කොට තිබේ. එසේ ම බුදුපිළිමයක දක්නට
ඇති මූලිකාංග අතර එහි ඇතුළත් මුද්‍රාවලට සුවිශේෂ ස්ථානයක් හිමි වේ. ප්‍රතිමා
ශිල්පයේ දී මුද්‍රා යන්න යොදා ගෙන ඇත්තේ බුදුහිමියන්ගේ අත් සහ අතැඟිලිවලින් දැක්විය
හැකි සංකේතාත්මක අරුත් සම්බන්ධ කරගෙන ය. මූර්ති ශිල්පයට අදාළ වන පුරාවිද්‍යාත්මක
සාක්‍ෂි අනුව මුද්‍රා හෙවත් හස්ත සංකේතවල ලාඤ්ඡන යම්තමින් හෝ ඉන්දු නිම්න
ශිෂ්ටාචාරයෙහි පවා දක්නට ලැබෙන බව පැවසේ. නමුත් ඉන් පසු මුල් වරට මුද්‍රා දක්නට
ලැබෙන්නේ ගන්ධාර බෞද්ධ ප්‍රතිමා කලාවේ ය.
හින්දු ප්‍රතිමාවල මුද්‍රා 64 ක් යොදා ගෙන ඇතැයි ද බුද්ධප්‍රතිමා විෂයයෙහි ඉන්
සීමිත ප්‍රමාණයක් භාවිත කර ඇතැයි ද උගත්තු පවසති. විවිධ සම්ප්‍රදායවලට අයත්
බුද්ධප්‍රතිමාවල ප්‍රමුඛ වශයෙන් ධ්‍යාන හෙවත් සමාධි, ධර්මචක්‍ර, අභය, විතර්ක, වරද
හා භූමි ස්පර්ශ යන මුද්‍රා දක්නට ලැබේ.
මේ මුද්‍රා හය අතුරින් ධර්මචක්‍ර මුද්‍රාවෙන් නිර්මිත බුද්ධප්‍රතිමා අතර සුප්‍රකට
බුදුපිළිමය ලෙස සාරානාත් බුදුපිළිමය පිළිගැනේ. බුදුහිමියන්ගේ ධර්ම දේශනා විලාසය
ධර්මචක්‍ර මුද්‍රාවෙන් සංකේතවත් කරයි. දකුණු අත්ල පිටතට පෙනෙන සේ හරවා පපුවේ මට්ටමට
තබා ගෙන එහි දබර ඇඟිල්ල හා මාපට ඇඟිල්ලේ තුඩු දෙක කවයක් සෑදෙන පරිදි එකට තබා ඇතුළට
හැරුණු වම් අතේ ඇඟිල්ලක් ස්පර්ශ කරන සේ පැවතීම ධර්මචක්‍ර මුද්‍රාව හඳුනා ගැනීමට
හැකි ප්‍රමුඛ ලක්‍ෂණය යි. දෙ අත්ලේ ඇඟිලි තබා ගෙන ඇති ආකාරයෙහි කැපී පෙනෙන ලක්‍ෂණය
වන්නේ දබර ඇඟිල්ල හා මාපට ඇඟිල්ල එක් කොට සෑදෙන කවයක ආකාරය යි. එම කවයෙන් සංකේතවත්
කරන්නේ චක්‍රය යි. ධර්මචක්‍ර මුද්‍රාවෙන් නිරූපණය වන්නේ බුදුහිමියන්ගේ ධම්මචක්ක
දේශනාව බව පොදු පිළිගැනීම යි. ධර්මචක්‍රය යනු බුදුහිමියන් දේශනා කළ ධර්මය නොහොත්
ලෝකය පාලනය වන ධර්ම නියාමය බව පාලි ත්‍රිපිටකය ඇසුරින් දැන ගත හැකි වෙයි. ඒ අනුව
සලකන විට බුදුහිමියන් ස්වයම්භුඥානයෙන් අවබෝධ කර ගත් ලෝකයේ යථාර්ථය නැති නම්
ලෝකෝත්තර ධර්මය දේශනා කරන්නේ ය යන අදහස, බුදුන් වහන්සේ ධර්මචක්‍රය පවත්වන්නේ ය
යන්නෙන් ගෙන දෙන බව ගම්‍ය වෙයි.
බුදුහිමියන් පළමු ධර්ම දේශනය පවත්වා ඇත්තේ පස්වග මහණුන්ට ය. එහි දී දෙසූ ධර්මය
ධම්මචක්ක පවත්තන සූත්‍රය ලෙසින් ව්‍යවහාර වන්නට ඇත්තේ ද ඉහත සඳහන් ධර්මාර්ථ පදනම්
කර ගෙන විය යුතු ය.
එසේ ම බුදුහිමියන් තුන්ලොව කෝටියක් සක්වළ උන්වහන්සේගේ ආඥා චක්‍රය පවත්වන අයුරු
ධර්මචක්‍ර මුද්‍රාවෙන් සංකේතවත් කෙරෙන බව මහාචාර්ය බෙල්ලන්විල විමලරතන නාහිමියෝ
පවසති.
අලව්ව, පනාදණ්ඩ ‘පැණසිහ’ සේනාසනාධීශ්වර රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති තලල්ලේ
චන්දකිත්ති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා සහ උපදෙස් මත එම සේනාසනයෙහි අභිනවයෙන් ඉදි
කළ ධර්මචක්‍ර මුද්‍රා සහිත බුද්ධප්‍රතිමා වහන්සේ සැදැහැවත් බැතිමතුන්ගේ වන්දන මානනය
පිණිස පසුගියදා මහානායක නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් නිරාවරණය වූහ.
මෙම ලිපිය ඒ නිමිත්තෙනි. |