Print this Article


ගුණගරුක භික්ෂු ජීවිතයක සුසමාදර්ශය පඤ්ඤාසෝමාභිධාන මාහිමිපාණන් වහන්සේ

ගුණගරුක භික්ෂු ජීවිතයක සුසමාදර්ශය පඤ්ඤාසෝමාභිධාන මාහිමිපාණන් වහන්සේ

පුත්තලම් දිස්ත්‍රික්කයේ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුන්දර ගම්පියක් වූ හාල්දඬුවන නම් මනරම් ග්‍රාමයේ සුබසිංහ ආරච්චිලාගේ කරෝලිස් අප්පුහාමි පියතුමන්ට හා රාජපක්ෂ කෝරාළලාගේ යසෝහාමි මෑණියන්ට දාව දරුවන් නව දෙනෙකුගෙන් යුත් පවුලේ කනිටු පුත්‍රයා ලෙස වර්ෂ 1940 සැප්තැම්බර් මස 18 වැනි දින සුබසිංහ ආරච්චිලාගේ ගුණවර්ධන නමින් මෙලොව එළිය දුටුවේ ය.

මුල් අකුරු කරණයට යොමු වූයේ හාල්දඬුවන බෞද්ධ මිශ්‍ර පාසල වෙත ය. කිරිමැටියාන ශ්‍රී සුධම්මවංශාරාම විහාරස්ථානය වෙත සමීප වූයෙන් දහම් පාසල වෙත ඇති නැඹුරුතාව ය පාසල වෙත නොවූයෙන් ආයූර්වේද වෛද්‍ය ශාස්ත්‍රය ඉගැන්වීමේ අරමුණින් මහවැව නගරාශ්‍රිත වූ ශ්‍රී ප්‍රඥාධාර ඖෂධාලය පවත්වා ගෙන ගිය වෛද්‍ය පී. ඒ. රාජපක්ෂ වෙද මහත්මාහට භාර කරන ලදී. එවකට වෛද්‍ය ශාස්ත්‍රයේ විශාරදත්වය හෙබ වූ පුරුදුවැල්ලේ ශ්‍රී පඤ්ඤානන්ද නා හිමියන් ස්වකීය ගෝලයා වූ එතුමාව අධීක්ෂණයට පැමිණි මොහොතේ මේ දරුවා සුදුසු පැවිදි කිරීමට යැයි සිතා ඒ මොහොතේ ම පිළාකටුමුල්ල ශ්‍රී ප්‍රඥාධාර වෛද්‍ය විද්‍යාලය හෙවත් ශ්‍රී පුෂ්පාරාම පුරාණ මහා විහාරස්ථානයට රැගෙනවිත් සියලු දෙනාගේ කැමැත්ත ඇතිව මහා වෛද්‍යාචාර්ය විශේෂ කර්මාචාර්ය ධුරන්ධර ගරුතර පුරුදුවැල්ලේ ශ්‍රී පඤ්ඤානන්දාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා රාජකීය පණ්ඩිත ගරුතර පුරුදුවැල්ලේ සිරි සෝමාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ නමක් ලෙස වර්ෂ 1952 ජනවාරි මස 31 වැනි දින හාල්දඬුවන පඤ්ඤාසෝම නමින් පැවිදි බිමට පත් කරන ලදි. ස්වකීය ගුරුදේවන් වහන්සේ චිරප්‍රසිද්ධ ධර්ම දේශකයාණ කෙනෙකි. අප කථානායකයාණන් වහන්සේ ද ඒ මඟ යමින් සුවහසක් ධර්ම පිපාසිත හුදී ජනයාට අර්ථානුසාරයෙන් යුතු ව ධර්මානුශාසනා සිද්ධ කළහ.

වර්ෂ 1961 ජුනි මස 23 වැනි දින මල්වතු මහා විහාර මංගල උපෝසථාගාරයේ දී ස්වකීය ගුරු දේවයන් වහන්සේ පස් නමක් ඇසුරු කර ගෙන උපසම්පදාවට පත්විය. ඉන්පසුව විහාරස්ථානයේ සිට ම ස්වොත්සාහීව විභාග සමත් ව එකල ලක්දිව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් ව විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය හා විද්‍යාලංකාර අවසාන විභාගය එක්වර සමත් ව කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. 1969 දී සංස්කෘත විශේෂවේදී උපාධිය සමත් ව පරිවේණස්ථාන කිහිපයක ම ස්වේච්ඡාවෙන් උන්හන්සේ ඉගැන්වූ අතර 1976 වර්ෂයේ රජයේ ස්ථීර පත්වීමක් ලෙස තබ්බෝව රජයේ පාසල වෙත ලැබීය. ලුණුවිල අනුරුද්ධ මධ්‍ය මහ විද්‍යාලයේ විදුහල්පති ධුරය ද දරන ලදී. ඉන් අනතුරුව තබ්බෝව පාසලේ විදුහල්පති ධුරය දරමින් සිටියදී නාත්තණ්ඩිය වීරහේන විද්‍යාරත්න මහා පිරිවනේ පරිවේණාධිපති ධුරය පුරප්පාඩු වූයෙන් ප්‍රදේශවාසී මහා සංඝරත්නයේ ආරාධනාවෙන් එහි පරවේණාධිපති ධුරය 1992 වර්ෂයේ සිට 2000 වර්ෂය දක්වා විශ්‍රාම යන තෙක් ම සේවය කරන ලදී.

වසර තිස්තුනක් නාත්තණ්ඩිය ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ධුරය හෙබවූ ගරුතර නායක මාහිමිපාණන් වහන්සේ ඒ තුළින් බොදු දහම් පාසල් දරුවන්ගේ දහම් අධ්‍යාපනය සඳහා විශාල මෙහෙවරක් සිදු කළහ. නාත්තණ්ඩිය විහාරාධිපති සංගමය ආරම්භ කර එහි ප්‍රධාන සභාපති ධුරය ද දැරූ උන්වහන්සේ ශාසනයේ අභිවෘද්ධිය පිණිස කුලදරුවන් 40 නමකට අධික පිරිසක් ද පැවිදි කරන ලදී.

වර්ෂ 2018 දී වර්ෂ ගණනාවක් ම පුරප්පාඩුව පැවති පුත්තලම් හලාවත දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය විනයාචාර්ය සද්ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤානන්ද ගෞරව නාමය සහිත ව මහනුවර මල්වතු මහා විහාර පාර්ශ්වයෙන් පිරිනැමූ අතර 2019 වර්ෂයේ දී උන්වහන්සේ සිදු කරන ආගමික සාමාජීය හා අධ්‍යාපනික සේවය අගයා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය මඟින් දේශකීර්ති ශ්‍රී ලංකාපුත්‍ර යන ගෞරව නාමය පිරිනමන්නට යෙදුණහ. ශාසනික පදවියක් වන උපාධ්‍යාය පදවියට අවශ්‍ය ගුණධර්මවලින් හෙබි භික්ෂු ජීවිතයක් ගත කරන අප නායක මාහිමිපාණන් වහන්සේට එම උතුම් පදවිය ද ස්‍යාමෝපාලි මහා නිකායේ අතිගරු මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් 2020 වර්ෂයේ දී පිරිනමන්නට යෙදුණ සේක.

යහපත් භික්ෂු ජීවිතයක් ගත කරන උන්වහන්සේ ගිහි පැවිදි කාට වුව ද ආදර්ශ සම්පන්න ය. ඇවතුම් පැවතුම් පිවිතුරු ය. උසස් භික්ෂු ආකල්ප සමාචාරාදියෙන් සමලංකෘත වූ උන්වහන්සේ, ශාසනලෝමීය වූ ගුණාංගෝපලක්‍ෂිත භාවයෙන් ද ප්‍රකට ය.

ගිහි වේවා, පැවිදි වේවා ගරු ගාම්භීර අදහස්වලින් නොව, සිසිලස් වූ හදවතෙහි වාග් ධාරාව ඇති ව ආමන්ත්‍රණය කරනවා විනා, රළු ස්වරූපයක් නොගනී. පුහු සාටෝප සාඩම්බර දිවිය පිළිකෙව් කරන සරල සුගම දිවියකට හිමිකම් කියති.

සසර පුරා පුණ්‍යකෘත ගුණාදියෙන් ද, සිහිබුද්ධිමත්භාවයෙන් ද, නිස්සරණව සිදු කරන සමාජ මෙහෙවර ද ආගමික කටයුතු ද නිතැතින් ම ඇගයීමට පත් කළ යුතු ම ය. සරල ව කිවහොත් ආකල්ප, හැසිරීම, ඇවතුම් - පැවතුම්, කතාබහ හිරිඔත්තප්ප සම්පන්න ය. සංවරශීලී ය. කුහනාලපනාදී දුර්ගුණවලින් තොර ය. එනම් කාය, වාග්, මනෝ සමාචාර ය. ඒ අනුව බැලූ විට උසස් පැවිදි ගුණධර්ම පුරුදුව පුහුණු කරන ලද මහා තෙර නමකි. අසු පස් වැනි වියට පා තබන උන්වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා යී ප්‍රාර්ථනා කරමු.