Print this Article


දුක් පීඩා දරා ගන්න උපේක්ෂාව පුරුදු කරන්න

දුක් පීඩා දරා ගන්න උපේක්ෂාව පුරුදු කරන්න

දැනෙන බෞද්ධයා යනු තමා දන්නා ධර්මය ඉතා හොඳින් ජීවිතයට බද්ධ කරගත් තැනැත්තා යි. ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, සැප දුක් යන අටලෝ දහමෙන් මිදුණ ජීවිතයක් කිසි කෙනකුට ලබා ගත නොහැක. එවන් ලෝක ධර්මතා හමුවේ අකම්පිත ව සිටින්නට ධර්මය උපකාර කර ගන්නා තැනැත්තා දහම අත්විඳින තැනැත්තෙකි

කුහුඹුවකුට සීනි කැටයක් හා වැලි කැටයක් ලබා දුනහොත් ඌ දුන් සීනි කැටය කුමක්දැයි හඳුනාගන්නේ එහි ඇති වර්ණයෙන් නොව රසයෙනි. එලෙස ම ඔබ ද ධර්මය හඳුනා ගත යුත්තේ එය ගැන දැන ගැනීමෙන් නොව අත්දැකීමෙන් විය යුතුයි.

බුදුදහම ගැන ඉගෙන ගත හැක. බොහෝ දේ කතා කළ හැක. එය ඉතාමත් බුද්ධිගෝචර ඉගැන්වීමක් කියා ශාස්ත්‍රිය ලෙස ඉතා හොඳින් අධ්‍යයනය කළ හැක. බුදුදහම ගැන හොඳින් දන්නා බොහෝ වියතුන් බෞද්ධයන් අතර මෙන් ම අබෞද්ධයන් අතර ද සිටී. මෙවන් අය ගැන සඳහන් උපමාව ධම්ම පදයේ සඳහන් වන්නේ “හැන්ද හොද්දේ රස නො දන්නා සේ” යනුවෙනි.

දැනෙන බෞද්ධයා යනු තමා දන්නා ධර්මය ඉතා හොඳින් ජීවිතයට බද්ධ කර ගත් තැනැත්තා යි. ලාභ අලාභ, යස අයස, නින්දා ප්‍රශංසා, සැප දුක් යන අටලෝ දහමෙන් මිදුණ ජීවිතයක් කිසි කෙනකුට ලබා ගත නොහැක. එවන් ලෝක ධර්මතා හමුවේ අකම්පිත ව සිටින්නට ධර්මය උපකාර කර ගන්නා තැනැත්තා දහම අත්විඳින තැනැත්තෙකි.

මා දන්නා කෙනෙක් ඉතා බරපතළ ලෙස අසාධ්‍ය ව රෝහලක ප්‍රතිකාර ලබන වයසක මාතාවක බලන්නට ගොස් ඇත. ඒ ස්ථානයේ අනෙක් ඇඳන්වල සිටින ලෙඩ්ඩුන් වේදනාව නිසා කරන කෑ ගැසීම ඉතා ඉහළ මට්ටමක පැවති නිසා “මෙතැන හරි සද්දෙයි නේද?” කියා මගේ මිතුරා මෙම වයසක එතරම් ඉහළ අධ්‍යාපනයක් නො ලබා තිබූ, නමුත් බණ දහම් පුරුදු කරන මාතාවගෙන් අසා ඇත. එවිට ඇය දී ඇති පිළිතුර වී ඇත්තේ

“ගමේ ගෙදර අවට කුරුල්ලො කෑ ගහනවා‘

මෙතැන මිනිස්සු කෑ ගහනවා. වාහනවල සද්දෙ එනව එච්චරයි.”

බලන්න ඇය මොනතරම් දුක, උපේක්ෂාව පුරුදු පුහුණුූ කළ තැනැත්තියක් ද කියා. මහ ගැඹුරු දේ නො දන්නවා වුණාට, අපට වේදනාව දැනෙන්නේ, යමක් ගැටලුවක් වන්නේ එම සංවේදනයට අප දෙන්නා වූ වටිනාකම නැත්නම් අප එය සමඟ පටලැවෙන්නා වු තරමට බව ඇය අවබෝධ කර ගෙන සිටීම නිසා ඇයට පරිසරයේ තිබූ අප්‍රසන්න බව ගැටලුවක් නොවීය.

ඇය කී තවත් දෙයක් එයටත් වඩා පුදුම ය. “අනේ පුතේ මට නම් හිතෙන්නෙ මම දිව්‍ය ලෝකයක සිටිනවා කියා යි.”

එසේ කියන්නේ ඇයි දැයි කියා විමසූ විට දී ඇති පිළිතුර වී ඇත්තේ

“මේ වාට්ටුවෙ වැඩ කරන කිසි කෙනෙක් මගෙ දරුවොවත්, නෑදෑයොවත් නොවෙයි. ඒත් ඉතින් බලන්නකො මට දක්වන සැලකිලි. එහෙම සැලකිලි ලැබෙන කොට ඒක දිව්‍ය ලෝකයක් නොවේද?

බලන්න ඇයගේ ආකල්පය.

දිනක් කෙනෙක් දානයක් රැගෙන වන සෙනසුනට ගොස් තිබේ. එහිදී වනයේ ශාන්ත බව බිඳගෙන ගම්මානයෙන් එන ශබ්ද විකාශන හඬක් ඇසී තිබේ. දවස පුරා විවිධ ගීත එයින් විකාශනය වුණේ තොරතෝංචියක් නැතුව ය. මෙය දැනුන පින්වතා එතැන සිටි කුඩා සාමණේර හිමියන්ගෙන් ඒ ගැන විමසමින් “මේ ස්ථානයේ භාවනා මධ්‍යස්ථානයක් තිබෙන බව ගම්මු දැනගත යුතුයි නේද?” යනුවෙන් කියා ඇත.

“භාවනා කරනව කියන්නේ ගම්මු මඟුල් කන එක නවත්වන එකම නොවෙයි නේ මහත්මයා” යනු මේ කුඩා සාමණේර හිමියන්ගේ ක්ෂණික පිළිතුර වී ඇත. බලන්න මොනතරම් ගැඹුරු සැනසිල්ලක් ඒ හිමියන් ගේ සිත තුළ තිබෙන්නට ඇතිද කියා.

මෙම සත්‍ය සිද්ධීන් කිහිපය ඉදිරිපත් කළේ ‘දහම දැනෙනවා’ යනුවෙන් මා අදහස් කරන්නේ කුමක්දැයි ඔබට ඉඟියක් ලබා දෙන්නයි.

ලෙඩදුක් කරදරවලින් තොර, සිතන සියලුම දේ ඒ ආකාරයෙන් ඉටුවන ජීවිතයක් කිසි කෙනකුට බලාපොරොත්තු විය නොහැක. එසේ නො වීමයි ලෝක සොබාව. ඒ හමුවේ අකම්පිත ව සිටින්නට හැකිකම දහම ඇසුරෙන් ලබා ගන්නට හැකි තරමටයි දහම දැනුනා වන්නේ.