Print this Article


11 කොටස : පුර පෑළවිය සඳ

11 කොටස :

පුර පෑළවිය සඳ

සාමණේරයන් වහන්සේ නමකගේ ජීවිතය අලලා ලියැවුණු නවකතාව

මෙතෙක් කතාව

දමිත සාමණේරයන් පැවිදි බව ලබා ටික කාලයකි. පැවිදි වුව ද පුංචි දඟකාරකම් මඟහැර ගන්නට සාමණේරයන්ට තවම අපහසු ය. කුඩා සාමණේරයන්ගේ පුංචි වරදක දී වුව එය විශාල කොට පෙන්වමින් ලොකු හාමුදුරුවන් වෙතට රැගෙන යන්නේ පන්සලේ ඇබිත්ත මාමා ය. ඔහු සිරිමල් ය. පන්සලේ ප්‍රධාන දායකයකු වන මුදලාලිට ද දමිත සාමණේරයන් ගැන පැහැදීමක් නැත. ඒ සාමණේරයෝ ගිහි කල ඉතා දිළිඳු පවුලක වීම නිසා ය. මුදලාලිගේ බසට අවනත ව සාමණේරයන්ට වැරැදි පිට වැරැදි පැටවීමට සිරිමල් මාමා නිතර උත්සාහ කරයි. ලොකු හාමුදුරුවන්ට පොඩි හාමුදුරුවන් ගැන නැති වැරැදි කියයි. එහෙත් සිරිමල් මාමා පොඩි හාමුදුරුවන්ට කරන අකටයුතුකම් නන්ද හිමියන්ට දැක ගන්නට ලැබුණි. නන්ද හිමි සිත දමිත පොඩිහාමුදුරුවන් ගැන ඇති වූයේ මහා දුකකි.

සිරිමල් මාමාගේ කොසු පාරට දමිත සාමණේරයන්ගේ හිසෙහි පැත්තක් ගෙඩි ගැසී තිබේ. තවමත් සාමණේරයන්ගේ නෙත් දෙකෙහි කඳුළු ය.

කාගෙනුත් සැඟවී කජුටික කන්නට ය කියා විහාර ගෙට පිවිසි දමිත සාමණේරයන්ට ධාරානිපාත වර්ෂාව නිසා එළියට එන්නට ලැබුණේ නැත. අයහපත් කාලගුණය නිසා විදුලිය ද විසන්ධි වූයෙන් විහාර ගේ තුළ ආලෝකයක් ද තිබුණේ නැත. උදෑසනවත් විහාරස්ථානයට විදුලිය ලැබී නොතිබිණි.

කුමන අමාරුවක් අසනීපයක් තිබුණත් උදෑසනින් ම අවදිවන සිරිමල් මාමා පෝයදාට පසු දින සුපුරුදු පරිදි සිදු කරන්නේ විහාර ගෙයි ඇති පරමල් ඉවත් කිරීම ය. ආලෝකයක් නොමැති විහාර ගෙට සිරිමල් කැපකරු ඇතුළුවූයේ ම බයෙනි. විහාර ගෙවල් තුළ අඹා ඇති යක්ෂයින්ගේ

පිළිමවලට කුඩා කාලයේ දී ම හිතෙහි ඇති වූ බිය සිරිමල්ගේ හිතෙන් තවමත් නැතිවී ගොස් නොමැත.

කළුවරේ ම ප්‍රධාන පිළිම වහන්සේ ඉදිරියේ පරමල් ඉවත් කළ සිරිමල්ට ඉන් අනතුරු ව සිදුකළ යුතුව තිබුණේ සැදැහැවතුන්ගේ දෙපා වැල්ලෙන් අපවිත්‍ර ව තිබූ විහාරගෙය ඇමදීමයි.

සිරිමල් කොහොමටත් ආලවක යකාට නම් බය ය.බයෙන් බයෙන් ඒ හරිය අමදිද්දී මොකක්දෝ කකුලේ හැප්පුනි. යාන්තමට අඳුර අතරින් පෙනුනේ ආලවක යකා ගුලිවී ඉන්නා ආකාරයකි. සිරිමල්ට දෙයියන් බුදුන් සිහි වූයේ එවිට ය.

‘බුදු අම්මෝ’ කියා කෑගැසුනේ එවිට ය. ඒ හඬින් ගැස්සී නිදිමරගාතේ අවදි වූ දමිත සාමණේරයන්ටත් කලුවරේ සිරිමල් පෙනුනේ අමුතුවට ය. එබැවින් එතන තවත් කෑ ගැසුමකි. ඒ දෙකින්ම හොඳටෝම බිය වූයේ බුද්ධ පූජාව තියන්නට බයෙන් බයෙන් එබිකම් කරමින් එමින් සිටි අංගෝනෝනා උපාසිකාව ය. පස්සට පැන්න පැනිල්ලෙන් පතබෑවුණු ඈ , දැන් සිටින්නේ දිසා රෝහලේ ය.

තමන් බිය වූයේ දමිත සාමණේරයන්ට යැයි කටහඬින් වටහා ගත් සිරිමල්ට යකා වැහෙන්නට ඇත. අත තිබූ කොස්සෙන් ම දමා ගසන්නට ඇත්තේ ඒ නිසා ය. නැති නම් හිතට ඇතිවූ බයට ම ආගිය අතේ කොස්ස වැනුවා වන්නටත් ඉඩ ඇත.

ශූලහර තෙල් බෝතලය ගෙනෙන්නටයි ආවාසයට යැවූ කසුන් ළමයා තාමත් පැමිණියේ නැත. කසුන්ගේ හැටි එහෙම ය. අවස්ථාවක් ගැන බරක්පතලක් ඔහුට නැත. මරන්නට පිටුපසින් එනවා කීවත් ඔහු යන්නේ හෙමි හෙමිහිට පාවි පාවි මෙන් ඇඟ නොහොල්ලා ය. කඩිසර ගමනක් නම් ඔහුට කවදත් නොමැත. මොහුගේ ඈලි මෑලි ගතිය නැති කරන්නට ලොකු ස්වාමීන් වහන්සේ කොයිතරම් උත්සාහ කළත් එය කිසිසේත් ම වෙනස් කරන්නට නොහැකි විය.

හෝරාවකට පමණ පසු පැමිණි කසුන් ශූලහර තෙල් බෝතලය නන්ද තෙරුන් වහන්සේට දිගු කළේ ය.

“ නන්ද හාමුදුරුවනේ, උදේ දානෙ ගත්තෙත් නෑ නේද ?”

“ මොන දානයක් ද කසුන්, බලන්නකො මේ දමිත හාමුදුරුවන්ට කරල තියෙන වැඩේ..

අනේ මන්ද මේ සිරිමල් මාම නම්...”

දානය නං කොයි වෙලාවක හරි ගත හැකි ය. දමිත සාමණේරයන් පත්වී ඇති දුකට පිහිටවීම ය මේ මොහොතෙහි තමා කළ යුතු ව ඇත්තේ. නන්ද හාමුදුරුවන් සිතන්නේ එලෙස ය.

“ දැම්ම දානේ වළඳන්නේ නැත්තං, මං දැක්කා ෆ්‍රිජ් එකේ කෑමක් තියෙනවා. අරන් එන්නද තුන්දෙනාට ම.”

දමිත සාමණේරයනුත් තවම කිසිවක් වළඳලා නොමැති බව නන්ද හිමියන්ට සිහි වූයේ එවිට ය. දමිත සාමණේරයන් සිටින්නේ අම්මාගේ තාත්තාගේ තුරුල්ලට වී සුරතල් වන වයසේ ය. පන්සලට බාර දී මහණ කෙරුවේ කන්නට බොන්නට දෙන්නට නොහැකි නිසා බව සැබෑ ය. ඒත් කාගෙන්වත් කොසුපහර කන්නට නම් නොවේ. නිවසේ සිටින තාක් කල් බාප්පාගේ ගැහැට කරදර විඳී සාමණේරයන්ට පැවිදි වූවත් ඒවායෙන් අඩුවක් වූයේ නම් නැත.

තමන් වහන්සේගේ කුසගින්න ගැන නොව සාමණේරයන්ගේ කුසගින්න ගැන සිතූ නන්ද හිමියන්, කසුන්ට ඉල්ලූ අවසරය දුන්නේ ය.

දාන ශාලාවට පැමිණ කුඩා අතුරුපස බඳුන් දෙකක් සෝදාගත් කසුන් ෆ්‍රිජ් එක හැර ෆෘට්සැලඩ් එක එළියට ගත්තේ ය. වෙන වෙන ම බෙදාගෙන රැගෙන යනවාට වඩා සුදුසු වන්නේ එතැනට රැගෙන ගොස් කැමති තරම් බෙදා පිළිගැන්වීම යැයි සිතූ කසුන් එවා සියල්ල රැගෙන යන්නට සූදානම් විය.

හදිසියේ ම එතැනට පැමිණියේ යකා වැහුනා සේ කියවමින් සිටින සිරිමල් මාමා ය.

“ මොකාටැයි කන්න ගෙනියන්නේ ? “

සිරිමල් ඇහුවේ මහ හඬිනි.

“ වෙන කාටද, නන්ද හාමුදුරුවන්ටයි දමිත හාමුදුරුවන්ටයි ... “

දමිත හාමුදුරුවන් යැයි නම ඇසුණු හැටියේ ම සිරිමල්ගේ කෝපය තව තවත් වැඩි විය. කබලට අබ මිටක් වීසිකෙරුවා සේ ය. විහාර ගෙයි දී තමා බිය වී කෑගැසූ සිද්ධියෙන් ඔහු වඩාත් ලජ්ජාවට පත්ව සිටී. එම ලජ්ජාව දමිත සාමණේරයන් පිළිබඳ ව තද වෛරයකට දැන් පෙරළී තිබේ.

“ එහෙම හාමුදුරුවෙක් මෙහේ නෑ. තියාපන් ඕක ගත්ත තැනින් ම..” සිරිමල් ගිගිරුවේ එබැවිනි.

සිරිමල් මාමා කෑගසන විදිහට හිතට බයක් දැනුනත් එය පෙන්වන්නට කසුන් කැමති නැත.

“ එහෙම කියල බෑනේ සිරිමල් මාමේ,... පොඩි හාමුදුරුවෝ තාම හීල් දානෙ වළඳලත් නෑ... ඒ මදිවට ඔලුවත් ගෙඩිගැහිලා.”

වාවාගත නොහැකි කෝපයකින් සිරිමල් කැපකරු දත්මිටි කන්නට විය. ඔහු කෑ ගසන්නට වූයේ දෑත් දෙපසට කොට මිට මොළවාගෙන කෝපයෙන් සොලවමිනි.

“ මං කොහොමද බොල බොගේ මාම වුනේ.. බොගේ අම්මා මගේ එක් කුසේ ද? ... කතාකරපිය කැපකරු මහත්තයා කියලා...”

එසේ කියමින් වේගයෙන් ළඟට පැමිණි සිරිමල්, කසුන් අත තිබූ අතුරුපස බඳුන වැරෙන් උදුරා ගත්තේ ය.

“ දීපන් ඕක මෙහෙට. බල්ලෙක්ට කන්න දැම්මත් උන්දැට ආයෙ මෙ පන්සලෙන් කෑම නෑ..

මුන් මං කවුරු කියල ද හිතන් ඉන්නෙ දන්නෙ නෑ ? අපි ඕකුන් වගේ පන්සල කණ්ඩ ආපු හිඟන අඩු එව්වෝ නෙවෙයි යකෝ..

දැනගනින් අපි බණ්ඩාර පරම්පරාවෙ..

නිළමෙලා යකෝ නිළමෙලා... “

කෝපයෙන් වියරු වැටුණු සිරිමල් මාමා එක දිගට මොනවදෝ දොඩවමින් කෑගසයි. ලොකු හාමුදුරුවෝත් පන්සලේ නැති වෙලාව ය. කෝකටත් කියා ඇඟට නොදැනී දාන ශාලාවෙන් එළියට පැනගත් කසුන් හෙමින් හෙමින් නන්ද හාමුදුරුවන් සිටින දිශාවට යන්නට වූයේ මොකුත් නොවුන ගානට ය.

අතුරුපස බඳුන අතට ගෙන සිටි සිරිමල් වියරුවෙන් මෙන් එය ද රැගෙන තමන්ගේ කාමරය තුළට පිවිසියේ ය. දොර වැසුනේ ‘දඩාං’ යන හඬ දෙමිනි.

එය කවුරුන් කවදා කාට පුදන්නට ගෙනා අතුරුපසක් දැයි සිරිමල් හෝ අන් කිසිවකු නොදන්නේ ය. ඒවා කෙසේ වෙතත් මෙයින් මනත දමිත සාමණේරයන්ට පන්සලෙන් වළඳන්ට ඉඩ තියන්නේ නැති යැයි සිරිමල් මාමාගේ දෘඨතර අධිෂ්ඨානය යි.

ඔහුට ගිහි තමා කවුරුන් ද, පැවිද්දන් කවුරුන් ද ‍යන්න දැන් අමතක ය. බෑණා ගෙයින් නෙරපූ විට යන්නට එන්නට තැනක් නැති නිසා පන්සලට ආ බවක් කිසිසේත්ම දැන් මතක නැත. දැන් ඔහුගේ සිතිවිලි වැඩ කරන්නේ පන්සලේ විහාරාධිපති ස්වාමීන් වහන්සේටත් වඩා ඉහළිනි. කටුස්සන්ගේ කරේ රත්තරන් බැන්දාම වන්නෙත් ඔය ටික ම ය.

(මතු සම්බන්ධයි)