Print this Article


සම්බුදු සුවඳේ පහස ලත් අනඳ මහතෙරණුවෝ

සම්බුදු සුවඳේ පහස ලත් අනඳ මහතෙරණුවෝ

අප භාග්‍යවතුන් වහන්සේගේ අසූමහාශ්‍රාවක සඟරුවන අතර ආනන්ද මහරහතන් වහන්සේගේ නම ඇසෙනවිට ම මුළු මහත් බෞද්ධ ලෝකයාගේ සිතෙහි උන්වහන්සේ පිළිබඳ මහත් ආදර ගෞරවයක් නිතැතින් ම හටගනී. එයට ප්‍රධාන හේතුව නම්, අනඳ මහතෙරුන් පුරා විසිපස් වසක් සිය සදාදරණීය ශාස්තෘන් වහන්සේට මහත් වූ ශාසනික දයාවෙන්, නිබඳ කැපවීමකින් ඇප උපස්ථාන කිරීම ය.

එසේ ම සිංහතෙල් රන් බඳුනක බහා තබා ගන්නා සේ සුවාසූදහසක් වූ ශ්‍රී ධර්මස්කන්ධය දරා වැඩසිටියේ ධර්ම භාණ්ඩාගාරික අනඳ මහතෙරුන් ම ය.

ශාසනභාරධාරී මහාකස්සප මුනිඳුන්ගේ අනුශාසකත්වයෙන් පැවති පළමු දහම් සංගීතියේ දී ශාස්තෘන් වහන්සේ උදෙසා පැනවූ උතුම් අසුනේ වැඩ සිටිමින් දෙව් - මිනිස් ලෝකයාට ශ්‍රී සද්ධර්මය දායාද කොට වදාළේ අනඳ මහතෙරුන් ය.

මින් කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ පදුමුත්තර සම්මා සම්බුදුන්ගේ සසුනෙහි නියත විවරණසිරි ලබා, ශ්‍රාවක පාරමීදම් සපුරා, ගෞතම බුදුසසුනේ අගතනතුරු පහක් ම ලැබීමට අනඳ මහතෙරණුවෝ භාග්‍යවන්ත වූ සේක.

“ඒතදග්ගං භික්ඛවේ, මම සාවකානං භික්ඛූනං බහුස්සුතානං යදිදං ආනන්දෝ.

මහණෙනි, යම් ආනන්ද නමැති මේ භික්ෂුවක් වේ ද, මාගේ ශ්‍රාවක වූ බහුශ්‍රැත භික්ෂූන් අතුරෙහි, මෙ තෙමේ අග්‍ර වේ.

ඒතදග්ගං භික්ඛවේ, මම සාවකානං භික්ඛූනං සතිමන්තානං යදිදං ආනන්දෝ.

මහණෙනි, යම් ආනන්ද නමැති මේ භික්ෂුවක් වේ ද, මාගේ ශ්‍රාවක වූ මනා සිහි ඇති භික්ෂූන් අතුරෙහි, මෙ තෙමේ අග්‍ර වේ.

ඒතදග්ගං භික්ඛවේ, මම සාවකානං භික්ඛූනං ගතිමන්තානං යදිදං ආනන්දෝ.

මහණෙනි, යම් ආනන්ද නමැති මේ භික්ෂුවක් වේ ද, මාගේ ශ්‍රාවක වූ වේගවත් ප්‍රඥා ගති ඇති භික්ෂූන් අතුරෙහි, මෙ තෙමේ අග්‍ර වේ.

ඒතදග්ගං භික්ඛවේ, මම සාවකානං භික්ඛූනං ධිතිමන්තානං යදිදං ආනන්දෝ.

මහණෙනි, යම් ආනන්ද නමැති මේ භික්ෂුවක් වේ ද, මාගේ ශ්‍රාවක වූ ප්‍රඥාවෙන් ව්‍යක්ත ව ධෛර්යවත් භික්ෂූන් අතුරෙහි, මෙ තෙමේ අග්‍ර වේ.

ඒතදග්ගං භික්ඛවේ, මම සාවකානං භික්ඛූනං උපට්ඨාකානං යදිදං ආනන්දෝ. මහණෙනි, යම් ආනන්ද නමැති මේ භික්ෂුවක් වේ ද, තථාගතයන් හට උපස්ථාන කළ මාගේ ශ්‍රාවක වූ භික්ෂූන් අතුරෙහි, මෙ තෙමේ අග්‍ර වේ.”

පූරිත පුණ්‍ය මහිමයේ අනුහසින් ගෞතම සම්බුදු සසුනේ අගතනතුරු පහකින් පිදුම් ලද අනඳ මහතෙරුන්ගේ සත්පුරුෂ උත්තුංග චරිතාපදානය මනරම් වූ බස්වහරකින් අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් රචනා කොට ඇත.

“සම්බුදු සුවඳේ පහස ලත් අනඳ මහතෙරණුවෝ” නමින් පළවී ඇති එම අරහත් චරිතාපදාන ගත පහන් සිතින් යුතු ව කියැවීමෙන් ආනන්දනීය වූ නිරාමිෂ සුවයක් විඳීය හැක්කේ ය. අනඳ මහතෙරුන් පිළිබඳ දත යුතු වූ බොහෝ වැදගත් කරුණු මෙම ග්‍රන්ථයෙහි සඳහන් වේ. ඇතැම්විට ඒවා ඉතා අනුවේදනීය ය.

සම්මා සම්බුදු සසුනක කිසියම් සුවිශේෂී වූ තනතුරක් ලැබීම යනු අතිශයින් භාග්‍යවන්ත අවස්ථාවකි. ආධ්‍යාත්මික ව තමා තුළ ම හැදී වැඩී, මල්පල ගැන්වී ගිය කිසියම් උදාර වූ ගුණයකින් සුශෝභිත ව සිටිමින්, අපරිමිත කැපකිරීමක උදාර ප්‍රතිඵලයක් ලෙසිනි එය ලැබෙනුයේ. අප භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ළබැඳී සෙනෙහසින්, උතුම් මුනිරජුගේ සිනිඳු සෙවණැලි සුව විඳීමින්, ඒ භගවතාණන්ගේ සිතැඟි මැනවින් හඳුනා, අතිශය නිහතමානී ව, ඉතා යටහත් සිතින්, මුනිඳුට දිවි පුදා, පස්විසි වසක් පුරා භාග්‍යවතුන් වහන්සේ උදෙසා සදාදරණීය ව උවටැන් කළ, දුටු දුටුවන්ගේ නෙතට, ඇසු ඇසුවන්ගේ හදවතට ආනන්දය ගෙන දුන්, අප ආනන්ද මහරහතන් වහන්සේගේ උදාර දිවි සැරිය පිළිබඳ සටහනකි මේ පොත. අනඳ මහරහතන් වහන්සේ පිළිබඳ සිත පහන් කරන්නට ලැබීම, ඒ මහෝත්තමයන් වහන්සේගේ අසිරිමත් දිවිසැරිය දැන ගන්ට ලැබීම වාසනාවකි. එය කවදා හෝ ඔබට පිහිට වනු ඇත.