කුලයෙහි නො ඇලුණු
භික්ෂුව
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
" මහතෙරුන් වහන්සේත් පැවිදි කිරීමට පෙර ඉගැන්විය යුතු මූලික වතාවත් හා ධර්ම කරුණු
පුරුදු පුහුණු කරලා උත්සව සිරියෙන් පැවිදි කළා. වැඩිමහල් පුතාට මහානාග නාමයත්, බාල
පුතාට චූලනාග නාමයත් ලබා දුන්නා"
අනුරාධපුර යුගයේ නගරයක් තිබුණා ‘වාසළ“ කියලා. ධනපතියන්, සාමාන්‍ය ගැමියන් කම්කරුවන්
ආදි ධනයෙන් හා තනතුරුවලින්, ශ්‍රමයෙන් විවිධ පවුල් මේ නගරයේ ජීවත් වුණා. ඒ අතර
හිටියා ධනවත් අඹුසැමි දෙපළක්. කලක් යනකොට ඔවුන්ට ලැබුණා පින්වන්ත දරුවන් දෙදෙනෙක්.
මව්පිය දෙදෙනා හරිම ශ්‍රද්ධා සම්පන්නයි. තුනුරුවන්ට බොහෝම ලැදියි. ඒ නිසා ම පුළුවන්
හැම අවස්ථාවක ම දරුවන් එක්ක නගරයට සමීපයේ තිබුණු විහාරයට ගියා. බුදුන් වැන්දා,
ධර්මය ශ්‍රවණය කළා. ඔහොම දරුවන් වැඩිවියට පත්වෙනකම්ම තෙරුවනේ ඇසුර නිතර ම ලබා
දුන්නා. ධර්මය ගැන අවබෝධයක් ලබා දෙන්න අවශ්‍ය වැඩ කටයුතුත් නිතර කළා. මෙහෙම කාලයක්
ගත වන කොට පවුලේ වැඩිමහල් දරුවා දවසක් දෙමාපියන් අමතලා කියනවා,
‘අම්මේ මට පැවිදි වෙන්න ඕන‘ කියලා. ඒක අහගෙන හිටිය බාල සහෝදරයාටත් පැවිදි වෙන්න ඕන
කිව්වා. ‘රට්ඨපාල කුමාරයා වගේ නොකා නොබී මරණයට පත් වෙන්න තීරණය කළොත්
අසල්වැසියනුත්, මහාසංඝයාත් මේ ගැන දැන ගන්නවා. ළමයින්ගේ කැමැත්තට ඉඩ දීලා කටයුතු
කරනවා‘යි මවත් පියාත් තීරණය කරලා පැවිදි වෙන්න අවසර දුන්නා.
පසුදා නිවසට ආසන්න විහාරයට ගෙන ගිහින් මහතෙරුන් වහන්සේ මුණගැහිලා ‘ස්වාමිනි, මේ
දෙදෙනා විතරයි අපට ඉන්නේ. ඒ දෙන්නාම දැන් කියනවා පැවිදි වෙන්න ඕන කියලා. දරුවන්ගේ
කැමැත්තට අප ඉඩ දුන්නා.
ඔවුන්ගේ කැමැත්ත අනුව පැවිදි කරන්න ස්වාමිනි‘යි ඉල්ලා දරු දෙදෙනා පන්සලට බාර කළා.
මහතෙරුන් වහන්සේත් පැවිදි කිරීමට පෙර ඉගැන්විය යුතු මූලික වතාවත් හා ධර්ම කරුණු
පුරුදු පුහුණු කරලා උත්සව සිරියෙන් පැවිදි කළා. වැඩිමහල් පුතාට මහානාග නාමයත්, බාල
පුතාට චූලනාග නාමයත් ලබා දුන්නා.
සම්බුද්ධ ශාසනයේ තියෙනවා ග්‍රන්ථධුර සහ විදර්ශනාධුර කියලා දෙකක්. මේ දෙන්නා අවුරුදු
විස්ස ඉක්මවා සිටි නිසා යොමු කළා භාවනා කරන්න. අනුරාධපුරයේ ඉදලා පයින් ම වැඩම කරවා
ගෙන ගියා රුහුණු රට සිතුල්පව්ව මහා විහාරයට. එහේ භාවනා කරන්න අවස්ථාව සලසලා දුන්නා.
ධර්මය ගැන තවදුරටත් හොදින් ඉගෙන ගත්ත මේ දෙන්නා භාවනාවට ම සිත යොමු කළා. නිතර භාවනා
කළා. කොච්චර උත්සාහ ගත්තත් පැවිද්දෙන් අවුරුදු තිහක් යනකම්ම අර්හත්භාවය නම් ලබා
ගන්න පුළුවන්කමක් ලැබුණේ නෑ. අවුරුදු තිහකට පස්සේ දෙදෙනා වහන්සේ ම රහත් වුණා. ඒ බව
සිතුල්පව් මහතෙරුන් වහන්සේලාට මතක් කරලා ‘ස්වාමිනි, අවුරුදු තිහකින් අප දෙදෙනා
වහන්සේ දෙමාපියන් දැක්කේ නෑ. ඔවුන්ගේ සැප දුක් බලා පැමිණීම යහපත් වෙනවා. ඒ සඳහා
අවසර ලබා දෙන්න‘යි ඉල්ලමින් අවසර ගෙන අනුරාධපුරය බලා පිටත් වුණා.
දවස් ගණනාවක් පයින් ම වැඩම කරමින් ‘වාසළ‘ නගරයට වැඩම කළා. පසු දින දෙදෙනා වහන්සේ ම
කතිකා කර ගත්තා දෙමාපියන් වාසය කරන නිවසට ගිහින් ඔවුන්ගේ මුහුණු දැක ගෙන නැවතත්
වැඩම කරන්න. යොදා ගත්ත විදිහට ම උදෑසනින් ම අවධි වෙලා ශරීර කෘත්‍ය ආදි පිරිසුදුවීම්
වී, සිවුරු පොරවා, පාත්‍රය හා දෙපට සිවුර අරගෙන පිණ්ඩපාතයේ පිටත් වුණා. නිවස
ඉදිරියට පළමුව වැඩ ම කළේ වැඩිමහල් භික්ෂුවයි. දෙවැනියට බාල භික්ෂුවයි. මවත් පියාත්
හරිම ආසාවෙන් හැමදාම ආර්ය මහා සංඝයාට ඔවුන් කුඩා කාලයේ ඉඳලාම දන් දෙනවා. ඒවා සිහි
තබාගෙන මේ දෙදෙනා වහන්සේත් ඒ වේලාවට ම වැඩ කරලයි තිබුණේ. දැන් දෙදෙනා ම බොහෝ ම වයසට
ගිහින් ඒත් ශ්‍රද්ධාවේ කිසිම අඩුවක් වෙලා නෑ. වෙනදා වගේම කටයුතු කරනවා දකින්න
ලැබුණා. පළමු ම වැඩිමහල් භික්ෂුව නිවසේ දොර සමීපයට වැඩම කරලා පාත්‍රය පෙනෙන සේ
දක්වා සිටියා. මව බොහෝම සතුටින් පාත්‍රයට දානය
බෙදන ගමන් තෙරුන් වහන්සේගේ මුහුණ දිහා බැලුවා. තමන්ගේ වැඩිමහලු පුතා මතක් වුණා.
ඔහුගේ මුහුණේ තිබුණු අංග ලක්ෂණ සියල්ල ම හඳුනා ගත්තා. දැන් ඇයට බොහෝම සතුටුයි. ඇය
අනුමාන කළා මේ ඉන්නේ තමන්ගේ වැඩිමහලු පුතා බව.
එහෙම හිතලා අහනවා ‘ස්වාමිනි, ඔබ වහන්සේගේ මුහුණ මගේ ලොකු පුතා වාගේ, සිතුල්පව්වේ
තමයි උන්වහන්සේ වැඩ වාසය කරන්නේ. අපි දෙන්නා අවුරුදු තිහකින් දැකලා නෑ. ඔබ වහන්සේ
අපේ පුතා නේද? ඔබවහන්සේ අපේ මහානාග තෙරුන් නේද?‘යි විමසා සිටියා.
එතකොට තෙරුන් වහන්සේ තමන්ගේ මෑණියන් අමතලා කියනවා. ‘මෑණියනි, පසුපසින් වඩින තෙරුන්
වහන්සේගෙන් අහන්න‘ කියලා උන්වහන්සේ එතැනින් පිණ්ඩපාතය අරගෙන නික්මිලා වැඩම කරන්න
පටන් ගත්තා.
දෙවැනියට වැඩම කළේ චූලනාග තෙරුන් වහන්සේ. මෑණියන් පළමු ව වැඩම කළ තෙරුන් වහන්සේ
කියූ දෙයත් හිතේ තබාගෙන ඉතා ම ආශාවෙන්, උනන්දුවෙන් බලාගෙන හිටියා දෙවැනියට වැඩම කරන
තෙරුන්ගෙන් ඒ ගැන විමසා දැන ගන්න.
උන්වහන්සේ නිවසේ දොරකඩට වැඩම කළා. පාත්‍රය දැක්වූවා. මෑණියන් පෙර සේ ම ශ්‍රද්ධාවෙන්
දානය පාත්‍රයට බෙදන ගමන් තෙරුන් වහන්සේගේ මුහුණ බැලුවා. උන්වහන්සේ තමන්ගේ බාල
පුතණුවන් වූ චූලනාග තෙරුන් වහන්සේ වගේම යි. කුතූහලය තවත් වැඩි වුණා. හොඳ පිළිතුරක්
ලැබෙයි කියන අදහසින් අහනවා ‘ස්වාමිනි, ඔබ වහන්සේ මගේ බාල පුතා වගේමයි. ඔබ වහන්සේ
චූලනාග තෙරුන් වහන්සේ නේද?යි කියලා. ඒක අහන් හිටිය චූලනාග තෙරුන් වහන්සේ ‘මෑණියනි,
ඉදිරියෙන් වැඩම කළ තෙරුන් වහන්සේගෙන් විමසා දැන ගත්තේ නැද්දැ?‘යි පවසා විහාරයට ම
වැඩම කළා. දෙදෙනා වහන්සේ ම තමන් වහන්සේ දරුවන් බව වැදූ මවටවත් ඇඟවූයේ නෑ.
ලාභසත්කාර, සිවුපසය ලැබීම්, ගරුබුහුමන් ලැබීම් විශේෂයෙන් සිදුවීමට මේ දෙදෙනා වහන්සේ
ම අකැමැති වී සිටියා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව වැදූ මවටවත් ඇලීම්, බැඳීම්
නැතිව නිවන් මාර්ගයේ ගමන් කළ යුතු බව දේශනා කර තිබෙනවා. මෙවැනි භික්ෂූන් වහන්සේ
කිසිදු ලාභයකට හෝ සිවුපසයකට හෝ ඇලී ගැලී වාසය කරන්නේ නෑ. උන්වහන්සේ හැමදාම හැම
පුද්ගලයකුට ම ‘නවකයෙක් ම“ වෙනවා. එය සිතේ ප්‍රීතිය පවත්වා ගැනීමටත්, අන් අයගේ
බැඳීම්වලින් වැලැකී සිටීමටත් උපකාර වෙනවා.
භික්ෂුවකට මේ මාර්ගය අනුගමනය කිරීමෙන් උතුම් නිවනට ඉතා ඉක්මනින් ළඟා වීමේ හැකියාව
ලැබෙනවා. ලෝකයේ ජීවත්වන හැම පුද්ගලයෙක් ම බැඳීම්වලින් යුක්ත වෙන්න වෙන්න ඔහුගේ හෝ
ඇයගේ හෝ සංසාර ගමන දීර්ඝ වෙනවා. මේ භික්ෂූන් වහන්සේ මෙන් නිවන් මාර්ගයට පිළිපන්
භික්ෂුවකට කටයුතු කරන්න පුළුවන්නම් නොබෝ කලකින් ම අර්හත්භාවය ලබා ගැනීමට හැකියාව
ලැබෙනවා යි හරවත් කථා පුවතක් සංයුක්ත නිකාය අටුවාවේ කස්සප වග්ගයේ සඳහන් වෙනවා. |