Print this Article


මහා මෝර ජාතකය: සැමට සෙත සුව සලසන මෝර පිරිතේ අනුහස

සැමට සෙත සුව සලසන මෝර පිරිතේ අනුහස

පිරිත කියන්නේ හාත්පස රැකවරණය සලසන දෙයක්. ඖෂධයක්. මහා බලයක්. සියලු සෙත සලසනා දෙන්නක්.

පිරිතේ මහා බලය ගැන කියැවෙන සුන්දර ජාතක කතා පුවතක් අපට හමුවෙනවා මහා මෝර ජාතකය නමින්. මේ මෝර පිරිත ආරක්ෂක පිරිතක් ලෙස අද පවා ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා භාවිතයට ගනු ලබනවා.

අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන කාලයේ එක්තරා සිදුවීමක් වුණා. එක්තරා භික්ෂුවක් සිවුරු අතහැර යන්නට තීරණය කළා. අනෙක් ස්වාමීන් වහන්සේ ඒ භික්ෂූන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත කැඳවා ගෙන ගියා. භාග්‍යවතුන් වහන්සේ වදාළා

“හැබෑ ද භික්ෂුව ඔබ සිවුරු හැරලා ගිහි වෙන්න හිතනවා කියන්නේ?”

“එහෙමයි ස්වාමීනි. “

“ඇයි භික්ෂුව ඔබ සිවුරු හරින්නේ?”

අනේ! ස්වාමීනි, මට මගේ හිත පාලනය කර ගන්න අමාරුයි. මා දුටු එක් ස්ත්‍රියක් නිසා මගේ සිත රාගයෙන් ඇවිස්සුණා. මම පිණ්ඩපාතයේ වඩිද්දී සුරූපී ළඳක් දුටුවා. මගේ සිත කැළැඹුණා. දැන් මට පැවිද්ද එපා වෙලා ඉන්නේ.”

භාග්‍යවතුන් වහන්සේ වදාළා ,

“පින්වත් භික්ෂුව, රාගය කියන්නේ සෙනේරු පර්වතය පවා සෙළවිය හැකි මහා සුළඟක් වගේ දෙයක්. එවැනි සුළඟට දිරා ගිය කොළ බිම හෙළන එක මහ දෙයක් ද? භික්ෂුව රාගය කියන එක ඒ වගේ මහා ප්‍රබලයි . මහා බලවත් පුරුෂයන් පවා බිම පෙරළන්න පුළුවන්.

භික්ෂුව මේ පෙර සිදු වූ සිදුවීමක්.

ඉස්සර කාලයේ එක්තරා රණ මොනරෙක් තමන්ගේ ආරක්ෂාව පිණිස නිතර දෙවේලේ පිරිතක් සජ්ඣායනා කරන්න පුරුදුව සිටියා. නමුත් එක්තරා දිනක සුළු අතපසුවීමක් නිසා රාගය නම් වූ බලවත් සුළඟට හසු වී ඒ රණ මොනරාගේ සිත පෙරළී ගියා.

එය අසා සිටි භික්ෂූන් වහන්සේට ආශාවක් ඇතිවුණා ඒ කතාව අහන්න. භික්ෂූන් වහන්සේ තථාගතයන් වහන්සේට වන්දනා කොට කියා සිටියා

“ ස්වාමීනි, රණ මොනරා විපතට පත් වූ ආකාරය අපට කියන සේක්වා” කියලා.

“මහණෙනි, ගොඩක් ඉස්සර ඈත අතීතයේ බරණැස් පුරයේ බ්‍රහ්මදත්ත නමින් එක් රජෙක් රජ කළා. ඒ කාලයේ හිමාල වනයේ සිටි එක්තරා සෙබඩකගේ කුසේ අප මහ බෝධිසත්වයෝ පිළිසිඳ ගත්තා. ගැබ මෝරා ගිය පසු ඒ සෙබඩ ලොකු බිත්තරයක් දැම්මා. බිත්තරයත්, මව් කිරිල්ලියත් නිරෝගී ව සිටි නිසාත්, වෙනත් සතකුගෙන් බිත්තරයට කරදරයක්, විපතක් සිදුවුණේ නැති නිසාත්, බිත්තරයත් ආරක්ෂා වුණා. කාලය සම්පූර්ණ වූ පසු මොනර පැටවෙක් බිහිවුණා. පැටියා රන්වන් පාටයි. මොනර පැටවාගේ නෙත් ඔළිඳ ඇට වගෙයි. තුඩ පබළුවලින් කළා වගෙයි. රතු රේඛාවලින් ගෙල වෙළී පිට මැදට ඇවිත් තිබුණා. මොනර පැටියා වයසින් මෝරා යන විට ලොකු කරත්තයක් වගේ පිල් කළඹක් ඔසවා ගෙන සිටියේ. විශාල ශරීරයක් ඇති මේ රන්වන් රණ මොනරා දුටු දුටුවන්ගේ සිත් වශී කරන්නට සමත් වුණා. අනෙක් මොනර පිරිස නිතර ම මේ රන්වන් මොනරා වට කරගෙනයි හිටියේ. ඔවුන් අතරේ මේ මොනරා ඉතා ශක්ති සම්පන්න යි.

දිනක් මේ රණ මොනරාට ජලයෙන්, තමාගේ රූපය පෙනුණා. ඔහු කල්පනා කළා

මම මේ සියලු මොනරුන්ට වඩා හරි පෙනුමයි. අමුතු ස්වභාවයක් මගේ මේ ශරීරයේ තිබෙන්නේ. ඒ කියන්නේ මම විශේෂ කෙනෙක්. ඒ නිසා මට මේ මිනිස් පියස අනතුරක් විපතක් වෙන්නත් පුළුවන්. මම හිමාලයේ හුදකලාවේ තනියම ඉන්න ඕන කියලා මොනරා තීරණය කළා.

මේ තරුණ මොනරා එක් රාත්‍රියක පරිස්සමට ගසින් ගසට ගොස් තමාගේ වටේ සිටි මහා මොනර පිරිස මඟහැරියා. පර්වත වළලු තුනක් ඉක්ම ගොස් සිව්වන පර්වත වළල්ලට ආවා. දැන් හිමාලය ඇතුළට ම ඇවිත්. එක් වනයක පියුමෙන් ගැවසුණු සුන්දර ස්වභාවික විලක් තිබුණා. ඒ විල අසල පර්වතයක් ඇසුරු කර ගෙන මහා නුග රුක්ෂයක් තිබුණා. මොනරා ආරක්ෂක ස්ථානය ලෙස නුග රුක්ෂය කර ගෙන ජීවත් වුණා.

මොනරා නිතර ම තමාගේ ජීවිතයට ආරක්ෂාවක් ඕන නේද සිතුවා. අනතුරක් කුමන මොහොතක සිදුවේවි ද දන්නේ නැහැ. කොටි, වළස්, මිනිස් ආදී හැම කෙනාගෙන් ම තිබෙන්නේ අනතුරක් පමණයි. අනතුරක් නො වී සිටින්නට මම ආරක්ෂාවක් සලසා ගන්නට ඕනෑ. මගේ ජීවිතය අකාලයේ මියැදෙන්න හොඳ නැහැ. මොකක්ද මම කර ගත යුතු ආරක්ෂාව කියා කල්පනා කළා. මේ අපේ බෝධි සත්වයෝ. සසර ගමනේ පෙරුම් පුරාගෙන ආ උත්තමයෙක්. පිරිතට තිබෙන වටිනාකම, ආනුභාවය ස්වභාවයෙන් ම දැනෙන සිතක් මේ මොනරාට තිබුණා. මොනරා දණ්ඩකහිරන්‍ය නම් වූ විශාල පර්වතය මුදුනට යනවා. ගොස් උදාවන හිරු දෙස බලාගෙන උදේ වරුවේ පිරිතක් කියනවා.

උදේත'යං චක්ඛුමා ඒකරාජා

හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ

තං තං නමස්සාමි හරිස්සවණ්ණං

පඨවිප්පභාසං

තයජ්ජු ගුප්තා විහරේමු දිවසං

යේ බ්‍රාහ්මණා වේදගු සබ්බධම්මේ

තේ මේ නමෝ තේ ච මං පාලයන්තු

නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා

නමෝ විමුත්තානං නමෝ විමුක්තියා

ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති

ඒසනං

මේ පිරිත සජ්ඣායනා කරලයි ගොදුරු සෙවීමට මොනරා පිටත්ව යන්නේ. පිරිතේ තේරුම මෙසේ සඳහන් වෙනවා.

මේ හිරු උදාවන විට -

ඇස් ඇති එකම රජු ලෙස

පතුරුවා රන් වන් රැස -

මහ පොළොව බබුළුවන්නේ

මහ පොළොව බබුළුවන -

හිරු මඬල නුඹ වඳින්නෙම් මම

නුඹ විසින් සුරකින අපි -

මෙ දවස වසමු සුව සේ

හැම දහම් පරතෙර වැඩි -

යම් රහත් මුනිවර සිටීනම්

ඒ උතුම් මුනිවරු හට -

මාගේ වැඳුම වේවා !

ඒ උතුම් මුනිවරු ද -

මගේ දිවි සුරකිත්වා !

සම්බුදුවරුන් හට මාගේ වැඳුම වේවා !

සතරමඟ ඵල නුවණට -

මාගේ වැඳුම වේවා !

උතුම් රහතුන් හට - මාගේ වැඳුම වේවා

ඒ රහත්ඵලයට - මාගේ වැඳුම වේවා

සවස් කාලයේ දී මොනරා නැවත පැමිණ එසේම පිරිත පවසා සුව සේ වසනවා. මේ ලෙස පිරිත පවසා ගොදුරු සොයන්නට යන මොනරාට කවරදාවත් අනතුරක් වන්නේ නැහැ. ඒ ආරක්ෂක පිරිතේ තිබෙන ආනුභාවය නිසයි.

කාලය මෙසේ ගෙවී ගියා. දිනක් මොනරා කන්දේ මුදුනට වී පිරිත් කියන ආකාරය එක්තරා කුරුලු වැද්දකුට දකින්නට ලැබුණා. ඔහු කවදාවත් දැක අසා තිබුණේ නැහැ රණ මොනරකු ගැන . ඔහු මොනරා දුටුවිට වසඟ වුණා. ඔහුගේ සිතේ මොනරාගේ මතකය සැඟවී තිබුණා. කාලයකට පසු ඔහු මරණාසන්න ව සිටිද්දී තම පුතාට මේ මොනරා ගැන පැවසුවා.

"පුත්‍රය, හිමාලයේ දණ්ඩකහිරන්‍ය කියන පර්වතය ඇසුරු කර ගෙන රණ මොනරෙක් වාසය කරනවා. ඔබට මතු දවසක එය උපකාරී වේවි" යැයි කිව්වා.

බරණැස් රජුට සිටියා ඛේමා නමින් අග බිසවසක්. ඇය සිහිනයක් දුටුවා. ඝන රන් මොනරෙක් ඇයට බණ කියනවා. ඇය හිමිදිරියේ ම රජුට කියා සිටියා.

"රජතුමනි, මම සිහිනෙන් දුටුවා රණ මොනරෙකුගෙන් බණ අසනවා. මට ආසයි රණ මොනරකුගෙන් බණ අසන්න.

එවිට රජතුමා කුරුලු වැද්දන් කැඳවා ඇසුවා.” ඔබලා රණ මොනරුන් දැක තිබෙනවා ද?” කියා. ඔවුන් නැහැ කිව්වා.

ඉන්පසු නගරයේ අණබෙර ගස්සවා මේ පණිවිඩය ප්‍රසිද්ධ කළා. තම පියා කියූ පණිවුඩය පුතාට සිහිපත් වුණා. ඔහු රජතුමා වෙත ගොස් කියා සිටියා.

" රජතුමනි, අපේ තාත්තා මිය යන්නට පෙර මට කිව්වා හිමාලයේ සතරවන කඳු වළල්ලේ රණ මොනරකු සිටින බව."

රජු කියනවා "දරුවෝ මම සියලු පහසුකම් දෙන්නම්. ඔබ ඒ රණ මොනරා අල්ලාගෙන එන්න".

මේ පුරුෂයා හිමාලයට ගියා. රණ මොනරා ව දුටුවා. ඔහු මොනරා වසන තැන බලා සිට උගුලක් ඇටවූවා. පිරිතෙන් ආරක්ෂා වී එන මොනරා හරියට ම ගසේ අත්තක අටවා ඇති උගුල උඩට ම කකුළ තබනවා. නමුත් උගුල වැඩ කරන්නේ නැහැ. ආරක්ෂක පිරිතේ ආනුභාවයෙන් අනතුරු අන්තරා වළකිනවා.

උදේට නැඟෙනහිර පැත්තටත්, රාත්‍රිය බටහිර පැත්තටත් හැරී බැස යන හිරු දෙස බලාගෙන

"අපේත’යං චක්ඛුමා ඒකරාජා" ලෙස පෙර පරිදි ම පිරිත පවසනවා.

අර වැද්දා උදේ රාත්‍රියේ වෙහෙස නො බලා උගුල් ඇටවූවා. නමුත් කෙදිනකවත් උගුල වැඩ කළේ නැහැ. බොහෝ කාලයක් ගත වුණා. ඛේමා බිසව ඒ ගැනම සිතා මිය ගියා. රජුට මොනරා ගැන ද්වේශයක් හට ගත්තා. රජු රන් පතක මෙසේ ලියා තැබුවා.

හිමාලයේ හතරවන කඳු වළල්ලේ දණ්ඩකහිරන්‍ය නමින් පර්වතයක් තිබෙනවා.. එහි රණ මොනරකු සිටිනවා. ඒ මොනරාගේ මස් කෑවොත් අඡරාමර වන්නේ ය” කියා ලියා තබා රජු ද මිය ගියා. වැද්දාත් කැලේ දී ම මිය ගියා. ඒ කාලයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු සියයට අඩු කාලයක්. නමුත් මොනරුන්ගේ ආයුෂ දීර්ඝ යි. රජු ඇතුළු ඒ පරපුර මිය ගියා.

ඒ රජුගේ පුතු රජ වුණා. ඒ රජුට ඒ පත්තිරුව කියවන්නට ලැබුණා. ඔහුත් වැද්දන්ට කිව්වා මොනරා ගැන. වැද්දන් උගුල් අටවනවා. පිරිතෙන් මොනරා රැකෙනවා. මෙහෙම පරම්පරා හතක් ගතවුණා. අවුරුදු හත්සීයක් ගෙවුනා. නමුත් මොනරා අල්ලා ගන්නට කිසිවකු සමත් වුණේ නැහැ. ඒ මෝර පිරිතේ ආශීර්වාදයෙන්.

හත්වන පරපුරේ රජුත් පත්ඉරුව කියවා වැද්දෙක් හිමාලයට පිටත් කර හැරියා. මේ වැද්දා ඤාණවන්තයෙක්. ඔහු මොනරා ගැන හොඳින් අවධානය යොමු කළා. හැසිරීම, ක්‍රියාව ගැන ඔහු විපරිමින් සිටියා. ඔහු දුටුවා මොනරා පිරිතක් සජ්ඣායනා කරන අයුරු. ඒ පිරිතේ ආරක්ෂාවෙන් තමයි පරම්පරා හතක් අනතුරක් නැතුව ඉන්නේ. "මම මේ පිරිත කියන එක නවත්වන්න උපක්‍රමයක් යොදන්න ඕනෑ" කියලා ඔහු සිතුවා.

ඒ සඳහා කදිම උපායක් ලෙස මොනරියක් යොදා ගත්තා. මොනරිය හීලෑ කරගෙන ඇය ලවා නාද කරවනවා. දිනක් ඒ පර්වතය අසලට මොනරිය ගෙන ගියා. උදෑසන අරුණෝදය නැඟී ගෙන එන විට ම රන් මොනරා අර පර්වතයට නැඟ ඉර පායන ආකාරය දෙස බලා නැඟෙනහිර පැත්ත හැරුණා. පිරිත කියන්නට සූදානම් වුණා. එවිට ම වැද්දා මොනරිය කෑ ගැස්සුවා. ඒ ශබ්දය ඇසුන ගමන් අවුරුදු හත්සියයක් නිදා සිටි රාගය නම් අති භයංකාර සර්පයා අවදි වුණා. ස්ත්‍රී හඬට පිරිත අමතක වුණා. ස්ත්‍රී නාදයට වසඟ වුණා. වටපිට බැලුවා. මොනරිය දැකීමේ ආශාවෙන් තටු ගසා ගෙන ඇවිත් උගුල උඩම කකුල තිබ්බා. එදා උගුල ගැස්සුණා. මොනරා තනි කකුලෙන් පහළට එල්ලුණා.

කරත්තයක් පමණ විශාල ශරීරයක් තිබෙන මේ මොනරාට කිසි දෙයක් කර ගන්නට බැරි ව අසරණ වුණා. මොනරා දුටු වැද්දාට හිතුණා එක ස්ත්‍රී හඬකට තිබුණ අනතුර කෙතරම් ද කියලා. "පරම්පරා හතක් අල්ලන්න බැරි වූ මේ රන් මොනරාගේ උතුම් ප්‍රතිපදාව මම එකම එක ස්ත්‍රී හඬකින් කැඩුවා. අනේ, එක දවසක් පිරිත් කියා ගන්නට බැරි වූ මේ මොනරාට විශාල විපතක් මේ වුණේ කියා වැද්දා කල්පනා කළා.

මෙබදු උතුම් සතකු මරන්නට මම දායක වෙන්න නරකයි. මම මේ සතා නිදහස් කරන්න ඕන" සිතා ඈත සිට ම පහළට එල්ලෙන රැහැන් පටට විද්දා. උගුලෙන් මොනරා නිදහස් වුණා.

මොනරාට සිතුණා කවුරුහරි මට උගුලක් ඇටවූවා. ඔහු ම මාව නිදහස් කළා සිතමින් වටපිට බැලුවා. වැද්දාව දුටුවා. මොනරා කියනවා

“අනේ මිතුර, ඇයි ඔබ මා උගුලකට හසු කර ගත්තේ. තෑගි ලබා ගන්නට නම් මා පණ පිටින් අල්ලා ගන්න. මා මරන්න එපා” යැයි ඉල්ලීමක් කළා.

වැද්දා මොනරාට කියනවා,

"ඔබගේ රැහැන් පත් සිඳලා තිබෙන්නේ. කැමැති තැනකට දැන් පියඹා යන්න”

මොනරා කියනවා.

“බොහෝ කලක් පුරාවට මා පසුපස පැමිණි ඔබ, දිවා රෑ නො බලා බඩගිනි උසුලා බොහෝ සැලසුම් කොට මා උගුලකට හසු කළා. ඒත් දැන් ඇයි ඔබ මට නිදහස දෙන්නේ. ඔබ වනයේ හැම සතකුට ම අභය දානය දුන්නා ද?

“මොනර රජුනේ, මට කියන්න, යම් කෙනෙක් සතුන් මැරීමෙන් වැළකී සිටියොත් හැම සතකුට ම අභය දානය දුන්නොත් මිය ගිය විට ඔහුට විශේෂ සැපක් ලැබෙනවා ද?

“පින්වත, යමෙක් සතුන් මැරීමෙන් වැළකී සිටියොත්, සතුන්ට අභය දානය දුන්නොත් ඔහු මෙලොව දී හැම කෙනකුගෙන් ම පැසසුම් ලබනවා. මරණින් මතු දෙව් ලොව උපතකට යනවා". වැද්දා මේ කතාව කිසි දිනක අසා තිබුනේ නැහැ.

" අනේ මොනර රජුනේ මට මේකත් කියන්න. ඇතැම් මහණ බමුණෝ දෙවියන් නැතැයි කියනවා. මරණින් මතු යළි උපතකුත් නැතැයි කියනවා. පින් පව් ඵල විපාකත් නැතැයි කියනවා. දන් දීම මෝඩ වැඩක් කියනවා. මෙලොව පරලොව නැතැයි කියනවා. ඔවුන්ගේ බණ ඇත්තක් කියා මම සිතුවේ. එනිසයි මම කුරුලු දඩයම කරන්නේ".

" පින්වත, මනරම් හැඩ රුවෙන් දිළිසෙන හිරු සඳු දෙදෙනා ලෝකෙට එළිය දෙනවා. ඒ තිබෙන්නේ මිනිස් ලෝකයේ ද නැතිනම් තවත් ලෝකයක ද?"

" මොනර රජුනි, හිරු සඳු අපට පේනවා තමයි. නමුත් ඉර හඳ අපේ ලෝකයට අයත් දෙයක් නොවෙයි. ඒවා වෙනත් ලෝක දෙකක්. මහණ බමුණන් පරලොව පිළිගන්නේ නැත්නම්, පින් පව් පිළිගන්නේ නැත්නම්, දන් දීම මෝඩ වැඩක් කියා කියයි නම් ඔවුන්ගේ බණ ඉතා පහත් දෙයක්".

" මොනර රජුනි, ඔබ පවසන දේ ඇත්තක්ම යි. පින් පව් දෙකේ විපාක නැතැයි කෙසේද කියන්නේ?" දානය මෝඩ වැඩක් කියා කෙසේද? කියන්නේ?

මොනර රජුනි, කුමක් කළෝත්ද, කෙසේ

කළොත් ද, කුමක් පුරුදු කළ විට, කුමක් ඇසුරු කළ විට දෝ මරණින් මතු මම නිරයේ නො වැටී ගැලවීම හදා ගන්නේ".

" මිතුර, මෙලොව ශ්‍රමණ නමින් පැවිදි උතුමන් සිටිනවා. ඒ උතුමෝ පසේබුදුවරුන්. ගිහිගෙය අත්හළ ඔවුන් කසාවත් දරනවා. උදෑසන නිවෙස්වලට පිඬු සිඟා වඩිනවා. ඔබ ඒ ශ්‍රමණයෙක් වෙත එළැඹිලා දැනගන්නට යමක් ඇත්නම් ඔවුන් ගෙන් අසා ගන්න. මෙලොව හා පරලොව ඔවුන් දන්නා දේ ඉතාමත් පැහැදිලි ව ඔබට කියා දේවි.

මෙසේ ප්‍රශ්න අසමින් ධර්මය නිරවුල් කර ගත් වැද්දා එසේ මෙසේ කෙනෙක් නොවේ. පසේ බුදුවරයෙක් වන්නට තරම් පින් තිබූ උත්තමයෙක්. මෝරා ගිය නෙළුමක් හිරු රැස් වැටෙනවාත් සමඟ පෙති විහිදා පිපෙනවා වගේ බෝසත් මොණරාගේ දහම් කතාවෙන් මේ පින්වන්තයාගේ නුවණ මෝරා ගියා. රන් මොනරාගේ බණට සවන් දී ගෙන සිටිය දී ම සංස්කාරයන්ගේ සත්‍යය ස්වභාවය පසක් වුණා. අනිත්‍ය ලක්ෂණ ප්‍රකට වුණා. ඒ පිළිබඳ නුවණින් විමසා සිටිද්දී පසේබුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වුණා. පසේබුද්ධත්වය අවබෝධ කරනවාත් සමඟ ම මොනරාගේ පයේ බැඳ තිබූ ගැටය සම්පූර්ණයෙන් ම ලිහිලා ගියා. හැම කෙලෙසුන්ගෙන් නිදහස් වූ ඒ පසේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගැන උදානයක් පහළ කළා.

“දිරා ගිය පැරැණි හැව ගලවා දැමූ උරගයා සේ, සිඳී ගිය සියලු කොළ සොළවා බිම දැමූ රුකක් සේ, මා තුළ සියලු උවදුරු ගති සදහට ම දුරු වුණා".

පින්වත් මොනර රජුනි, මගේ නිවස තුළ තවත් සිර කළ කුරුල්ලන් සිටිනවා. මට ඔවුන් ගැන දුකයි. ඔවුන් නිදහස් කරන්නේ කොහොම ද?

“ පින්වත් ඔබ වහන්සේ මෙසේ කරන්න . ඔබ වහන්සේ හැම බැදීමක් ම සිද බිඳ දැම්මානේ. එයම අරභයා සත්‍ය ක්‍රියාවක් කරන්න. ඒ සත්‍ය ක්‍රියා කරන කොට ඔබ නිවසේ සිටින කුරුල්ලන් පමණක් නොව මුළු ජම්බුද්වීපයේම උගුල්වල සිරවී සිටින සියලු සතුන් නිදහස් වේවි.

ඒ ආකාරයට පසේ බුදුරදුන් ධර්මය පිහිටා සත්‍යක්‍රියාවක් කළා. සියලු සතුන් නිදහස් වුණා.

පසේබුදුරදුන් නන්දමූලක වනයට වැඩම කළා. මොනර රජු තමාත් වාසය කළ ස්ථානයට ම ගිය බව මහා මොනර ජාතකය උපමා කොට අපගේ භාග්‍යවතුන් වහන්සේ දේශන කොට වදාළා.