පුනර්භවය හා කර්ම ශක්තිය
පුනර්භවය යන්න පාලියෙන් සඳහන් වනුයේ “පුනබ්භව“ ලෙසිනි. එක් භවයක අවසානය මරණයෙන්
සංකේතවත් වෙනවා මෙන් ම අලුත් භවයක ආරම්භය ප්‍රතිසන්ධියන් සංකේතවත් වේ. ප්‍රතිසන්ධිය
යනු නැවත හටගැනීමයි. යම් සත්ත්වයෙක් මරණයට පත්වීමත් සමඟ වෙනත් භවයක උප්පත්තිය ලැබීම
ප්‍රතිසන්ධිය ලෙස හඳුනාගත හැකියි.
චුති උප්පත්තිය ලෙස බුදු දහමේ වැඩිදුරටත් විග්‍රහ කෙරෙනුයේ මෙම තත්ත්වයයි. චුතිය
යනු මේ භවයෙන් වෙන්වීම යි. නැතහොත් මරණය යි. උප්පත්තිය යනු නැවත හටගැනීමයි. නැතහොත්
යළිත් ඉපදීමයි. බුදුදහමේ ඉගැන්වෙන අයුරින් මරණය සහ උප්පත්තිය යන්න පටිච්චසමුප්පන්න
ව (නොකඩවා) සිදුවන්නක්. මෙම නොකඩවා පැවැත්ම යනු අඛණ්ඩ ව පැවැත්ම නොවේ. එය අඛණ්ඩ
පැවැත්මක් ලෙස සැලකුවහොත් අපි ආත්මවාදයට වැටෙනවා. හින්දු සහ අනෙකුත් ආගමික ශාස්තෘන්
පෙන්වා දුන් ශාස්වත දෘෂ්ටියෙන් පෙන්වා දුන්නේ සත්ත්වයාගේ අඛණ්ඩ පැවැත්මක් ඇති බවයි.
මේ තත්ත්වය බුදුදහමේ පිළිගන්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේ මේ සඳහා පෙන්වා දුන්නේ පටිච්ච සමුප්පාද න්‍යාය යි. සත්ත්වයාගේ
මරණය සහ උප්පත්තිය අතර ප්‍රතීත්‍යා සමුත්පන්න ව පැවැත්ම සංසාරය ලෙසයි. බුදුරජාණන්
වහන්සේ වදාළේ පුනර්භවය යන සංකල්පය ඇතිවීමට මූලික වශයෙන් බලපානුයේ කර්මය ලෙසයි.
කර්මය අතහැර පුනර්භවය හෝ පුනර්භවය අතහැර කර්මය ගැන කතා කිරීමට නොහැකියි. පුනර්භවයක්
සිදු නොවන්නේ රහත් උතුමන්ට පමණයි. ඒ උතුමන්ට කර්මයක් නැහැ. එවිට පුනර්භවයක්
සිදුවන්නේ නැහැ.
කර්මය යනු ක්‍රියාවයි. කර්මය, ක්‍රියාව යනුවෙන් අර්ථ දැක්වූවත් බුදු දහමේ එය වෙනත්
ආකාරයකට දක්වා තිබෙනවා. කර්මය යනු කරන්නෙක් නොවේ. හොඳ දේවල් කළොත් හොඳ විපාක
ලැබෙනවා. නරක දේවල් කළොත් නරක විපාක ලැබෙනවා. බුදු දහමේ පුනරුප්පත්තිය ප්‍රතික්ෂේප
කරනවා. නමුත් පුනර්භවය පිළිගනු ලබනවා. පුනර්භවය හෙවත් පුනබ්භව යනු නැවත වීමයි.
පටිච්ච සමුප්පාදයේ මේ පිළිබඳ කෙටි සූත්‍රයක් සඳහන් වෙනවා.
ඉමස්මිං සති - ඉදං හෝති
ඉමස්මිං අසති - ඉදං න හෝති
මෙහි තේරුම මෙය ඇති කල්හි මෙය සිදුවන බවයි. මෙය නැති කල්හි එය සිදුනොවේ. පුනබ්භව
යනු නැවත වීමයි. නැවත වීමෙන් අර්ථ දෙකක් තිබේ. මොහොතක් පාසා සත්ත්වයාගේ ඇති වෙමින්
නැති වෙමින් පවත්නා පැවතීම මෙහි එක් අර්ථයකි.
අනෙක් අර්ථයෙන් කියැවෙනුයේ මරණයෙන් පසු පුද්ගලයා තවත් භවයක උප්පත්තිය ලැබීම. අපි
බොහෝ විට කතා කරන්නේ මරණයෙන් පසු සත්ත්වයාගේ උප්පත්තිය පුනර්භවය කියායි. මේ කියන
සංකල්පය නිසා බොහෝ අය පුනර්භවය වෙනව ද? නැද්ද කියා සැකයක් ඇති කර ගෙන තිබෙනවා.
එනිසා පුනර්භවය පිළිබඳ මුල් අදහස එනම් මොහොතක් පාසා සත්ත්වයාගේ පැවැත්ම ඇති වෙනවා.
නැති වෙනවා. යන සංකල්පය තමයි සමාජය තුළ දියත් කළ යුත්තේ. දැන් ගත් තීන්දුව අනුව ඊළඟ
තීන්දුව ලැබෙනවා.
හින්දු ආදී ආගමිකයන්ගේ ඉගැන්වීම් තුළ තිබෙන්නේ ආත්මය නමින් ස්ථිර ව දෙයක් පවතින
බවයි. පුද්ගලයා තුළ ස්ථිර වූ වෙනස් නොවන එක් පදාර්ථයක් ඇති බවයි එම ආගමිකයන්
විශ්වාස කරන්නේ. එහිදී එම ආගමිකයන් පදාර්ථයන් ලෙස සලකනු ලබනුයේ මේ කියන ආත්මයයි.
මරණයේ දී භෞතික ශරීරය විනාශ වුවත් ආත්මය විනාශවීමක් හෝ වෙනස්වීමක් සිදු නොවන බවයි
එම ආගමිකයන් විශ්වාස කරන්නේ.
නමුත් බුදුදහමේ පුනර්භවයක් පිළිබඳ කතා කළත් ආත්මය ගමන් කරන බවක් විශ්වාස කරන්නේ
නැහැ. හින්දු ආගමට අනුව ආත්මය ගමන් කිරීම හා පුනරුත්පත්තිය ලැබීම ඔවුන් දකිනුයේ
පැරැණි වස්ත්‍ර අලුත් වස්ත්‍ර ඇඳ ගැනීමක් ලෙසයි. මරණයේ දී භෞතික ශරීරරය විනාශ වී
ශුද්ඪ වූ ආත්මය වෙනත් ආත්මයකට ගමන් කරන බවයි හින්දු ආගමිකයින් පෙන්වා දෙන්නේ. එම
ආත්මයේ දී යළිත් භෞතික ශරීරයක් ගොඩනඟා ගන්නවා. එය තමයි දිගින් දිගට ම ගමන් කරන්නේ.
මෙයයි ශාස්වත වාදය කියලා අදහස් කරන්නේ.
හින්දු ආගමට අනුව මෙය තමයි පුනරුප්පත්තිය ලෙස අදහස් කරන්නේ. මෙය බුදු දහමේ දී
ප්‍රතික්ෂේප කරනවා. පුනරුප්පත්තිය යනු නැවත වීමයි. එවිට කර්තෘ කෙනෙක් සිටිනවා. නැවත
කරනවා නම් කරන්නෙක් සිටිය යුතුයි. නමුත් බුදු දහමේ කියවෙන පුනර්භවයෙන් මේ කියන අදහස
ප්‍රතික්ෂේප කරනවා.
පුනර්භවයෙන් අදහස් කරනුයේ මේ දේ නිසා මේ දේ හටගන්නා බවයි. හට ගැනීම පුනබිභවයයි.
මෙතැන තියෙන්නේ භාෂාමය ගැටලුවක්. සරල උදාහරණයකින් පැහැදිලි කරනවා නම්, ඉබ්බෙකුයි
මාළුවොයි එකම ජලාශයක මිත්‍රයන් සේ කාලය ගත කළා. දවසක් මේ ඉබ්බා ගොඩබිම බලන්න ගියා.
දවස් දෙක තුනක් යනකම්ම ගොඩබිම බලන්න ගිය ඉබ්බා ආවේ නැහැ. මාළුවන් බලා සිටියා.
තවත් දවසක් යද්දී ඉබ්බා ජලාශයට ආවා.
“කොහෙද මෙච්චර දවසක් ගියේ” මාළුවෝ ඉබ්බාගෙන් විමසීමක් කළා. “මම ගියානේ ගොඩබිම
බලන්න. ඉබ්බා උත්තර දුන්නා. “ගොඩබිම කියන්නේ මොකක්ද”? මාළුවෝ ඉබ්බාගෙන් අහනවා.
ගොඩබිම ගස් තිබෙනවා. ගල් තියෙනවා. ඒවා හරි හයියයි” යනාදී වශයෙන් ගොඩබිම පිළිබඳ දැන්
ඉබ්බා විස්තරයක් කරනවා. මාළුවෝ දන්නේ ජලයේ සීමාව පමණයි. මාළුවාගේ අත්දැකීම ජලය
පමණයි. එනිසා මාළුවෝ අහනවා ගොඩබිම කියන්නේ ජලය වගේ දෙයක් ද? ජලය වගේ ගලාගෙන යනව ද?
යනාදී වශයෙන් ප්‍රශ්න කරනවා.
කෙසේ හෝ ඉබ්බා දන්නා ප්‍රමාණයෙන් ගොඩබිම පිළිබඳ විස්තර කළා. නමුත් මාළු ඉන්නේ ජලයේ
නිසා ඔවුන් දන්න ප්‍රමාණයෙන් ගොඩබිම තේරුම් ගන්න උත්සාහ කළා. මාළුවාට ගොඩබිම කියන
එක තේරුම් ගන්න බැරිව ගියා.
ඒ වගේම පුනර්භවය කියන්නේ අපට අප්‍රත්‍යක්ෂ්‍ය දෙයක්. එනිසා අප පුනර්භවය තේරුම් ගන්න
උත්සාහ ගන්නේ අපට තියෙන ඇස්, කන් ඇතුළු ඉන්ද්‍රියයන්ට ගෝචර වන සීමාවේ ප්‍රමාණයටයි.
එනම් සම්මත සීමාවක සිටයි. මේ තත්ත්වය තුළ අපිට ගූඪ ආත්ම වාදයකට වැටෙන්න පුළුවන්.
එතැන දී තමයි බුදුහාමුදුරුවන් පිළිබඳ ශ්‍රද්ධාව වැදගත් වන්නේ. එනම් අමූලික
ශ්‍රද්ධාව නොවේ. ආකාරවතී ශ්‍රද්ධාව අනුව එනම්, වගවිභාගයකින්, විචාරශීලී ව ගොඩනඟාගත්
ශ්‍රද්ධාව තුළින් මෙය විශ්වාස කරනවා.
බෝධිසත්ත්වයන් වහන්සේ එක් අවස්ථාවක මුවෙක් වී ඉපදෙනවා. ඊළඟට මරණයට පත්වෙලා දෙවියෙක්
වෙලා ඉපදෙනවා. තවත් අවස්ථාවක රජකෙනෙක් වෙලා ඉපදෙනවා. මේ නිසා ආත්මය එක දිගට යන
ස්වභාවයක් පෙනෙනවා. එනිසා අපි වුණත් ආත්මවාදයකට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි. නමුත්
වැඩි දියුණු කර ගත් ඤාණ සම්ප්‍රදායයන් අනුව මේ පිළිබඳ යම් අවබෝධයක් ලබා ගැනීමට
පුළුවන්. යම් දෙයක් පවතිනවා කියලා සිතුවොත් එම දෙය නිසා යම් දෙයක් හටගන්නවා. නමුත්
ඒ හටගැනීම ආත්මය නොවේ. නමුත් යමක් ඇතිවෙනවා.එය ශක්තියක්. එය කර්ම ශක්තිය අනුව
සිදුවන්නක්.
රත්මලාන ධර්ම පර්යේෂණාලයේ ලිපි ලේඛන ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.
හේමමාලා රන්දුනු |