Print this Article


පිරිහෙන තැනට ඇදවැටෙන්නේ කුමට... ?

පිරිහෙන තැනට ඇදවැටෙන්නේ කුමට... ?

යහපත් වූ අන්තර්පුද්ගල සබඳතා ඇසුරෙන් ජන ජීවිතය පෝෂණය කරවීම බුදු දහමේ එක් මූලික පරමාර්ථයකි. එහි දී මෙලොව ජීවිතය සාර්ථක කොට ඒ ඔස්සේ ම පරලොව ජීවිතයේ ද සුබ සිද්ධිය උදා කර වීමට හේතුවන ඉගැන්වීම් රැසක් බුදු දහම තුළ විස්තර කෙරෙයි.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වෙසෙන කල එක්තරා දෙවියෙක් පැමිණ බුදු රදුන්ට වැඳ එකත්පස්ව සිට මෙසේ සැළ කර සිටියහ.

පරාභවන්තං පුරිසං - මයං පුච්ඡාම ගෝතමං
භගවන්තං පුට්ඨුමාගම්ම - කිං පරාභවතෝ මුඛං

ගෞතමයන් වහන්ස, අපි පිරිහෙන පුද්ගලයා පිළිබඳ විමසමින් සිටිමු. ඒ පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේගෙන් පිළිවිසීමට පැමිණියෙමු. පිරිහෙන්නා ගේ පිරිහීමට දොරටු කවරේ ද?

මෙහිදී පුද්ගලයා ගේ පිරිහීමේ දොරටු හඳුන්වා දෙමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “පරාභව සූත්‍රය”යි. එය ඛුද්දක නිපාතයෙහි සුත්ත නිපාතයෙහි උරග වග්ගයට ඇතුළත් වෙයි. මෙහි පුද්ගලයකු පිරිහෙන තැනට ඇද දමන ප්‍රධාන කරුණු දොළහක් සඳහන් වෙයි. ඒ එකින් එක අනුපිළිවෙලින් මෙසේ ය.

දියුණුවන්නා සේ ම පිරිහෙන්නා ද පහසුවෙන් හැඳිනගත හැකි ය. දියුණුවන්නා ධර්මයට කැමැති ය. පිරිහෙන්නා ධර්මයට ද්වේෂ කරයි. එය පිරිහීමේ පළමු දොරටුව යි.

පිරිහෙන්නා අසත් පුරුෂයන් පි‍්‍රය කරයි. සත් පුරුෂයන් පි‍්‍රය නො කරයි. අසත් පුරුෂයන්ගේ මිථ්‍යා ඉගැන්වීම් පි‍්‍රය කරයි. එය පිරිහීමේ දෙවන දොරටුවයි.

යම් පුද්ගලයෙක් නිතර ම නිඳනසුලු බවින් යුතු වෙත් ද, පිරිස් මැද ගැවසෙමින් කතාවෙන් ම දවස ගෙවත් ද, උත්සාහයෙන් තොර වෙත් ද, අලසකමින් යුක්ත වෙත් ද, කිපෙනසුලු කෙනෙක් යැයි ප්‍රකට ව සිටිත් ද පිරිහීමේ තෙවන දොරටුව එයයි.

යම් පුද්ගලයෙක් හැකියාව තිබිය දී තරුණ විය ගෙවී ගොස් මහලුවියට පත් වූ මව හෝ පිය හෝ පෝෂණය නො කරත් ද එය සිවුවැනි පිරිහීමේ දොරටුව යි.

යම් පුද්ගලයෙක් බමුණකු, ශ්‍රමණයන් වහන්සේ නමක හෝ වෙනත් කිසිම යදියෙකු හෝ බොරුවෙන් රවටත් ද? එය පිරිහීමේ පස් වැනි දොරටුව යි.

පිරිහීමේ සය වැනි කරුණ නම් බොහෝ රන් රුවන් ඇති, රස මුසු බොජුන් ඇති මහා ධනවත් පුද්ගලයකු තමා පමණක් තනි ව මිහිරි බොජුන් අනුභව කිරීම යි.

යමෙක් ජාතියෙන්, ධනයෙන්, කුලයෙන් මානයට පත් වූයේ, සිය නෑයන් හෙළා දකිත් ද? එය පිරිහීමේ සත්වැනි දොරටුවයි.

පිරිහීමේ අට වැනි දොරටුව නම් යම් පුද්ගලයකු ස්ත්‍රීන්ට ලොල් වී, සුරාවට ලොල් වී, සූදුවට ලොල් වී ලැබුණු ධනය වනසා දැමීමයි.

යමෙක් ස්වකීය භාර්යාවගෙන් තෘප්තිමත් නොවී වෙසඟනන් වෙත හෝ පර අඹුවන් වෙත හෝ යත් ද එය පිරිහීමේ නව වැනි දොරටුවයි.

පිරිහීමේ දස වැන්න නම් යොවුන් විය ඉක්මවා ගිය පුද්ගලයෙක් තිඹිරිපල බඳු පියයුරු ඇති තරුණ යුවතියක් ආවාහ කොට ගැනීමයි. ඔහු, ඇය පිළිබඳ වෙනත් තරුණයන් ඇල්ම බැල්ම හෙළා ය යන ඊර්ෂ්‍යාවෙන් නින්ද පවා නිසි ලෙස නොලබා කල්ගත කිරීමයි. වයසින් පිරිහෙන ඔහුට මෙය තවත් පිරිහීමට කරුණකි.

පර ස්ත්‍රීන්, පර පුරුෂයන්, සුරාව හා සූදු ආදියට ලොල් වූ, ඒ සඳහා ධනය විසුරුවා හරින යම් ස්ත්‍රියක හෝ පුරුෂයකු හෝ නිවසක හෝ කිසියම් ආයතනයක හෝ අධිපති තනතුරෙහි තබයි නම් එය පිරිහීමේ එකළොස් වන දොරටුව යි.

පිරිහීමේ දොළොස් වැනි දොරටුව නම් භව බෝග සම්පත් අල්ප වූ, එහෙත් මහත් තෘෂ්ණාවක් ඇති යම් පුද්ගලයෙක් රාජකීය පවුලක උපදිත් ද? ඔහු රජකම පතයි ද? එම නරක ගතියයි.

පෙර රජකම් කළේ ක්ෂත්‍රියන් ය. ඔවුන් රජකම් කළේ උපතින් තමාට විශාල ධනයක් උරුම ව පැවති නිසා ය. ධනවතකු වීම රජකම පැතීමට මුල් වූ එක් ප්‍රධාන හේතුවකි. එසේ ධනය නැති පුද්ගලයකු රජ පවුලක උපන්නත් රාජ්‍ය පාලනයට අත නොගැසිය යුතු ය. එය පිරිහීමේ කරුණකි.

මෙම පිරිහීමේ දොරටු පිළිබඳ මනාව දැන හැඳිනගෙන මේවායින් වැළකී සිටීම පුද්ගල ජීවිතයේ දියුණුව සඳහා ම හේතු වෙයි. එය මෙලොව පමණක් නොව පරලොව සුගතිය සඳහාත් හේතු වෙයි.