මානය වඩා අවමානයට පත්වෙන්න එපා
ශාස්ත්‍රපති
ගලගෙදර රතනවංස හිමි
මානය මෙලොව පරලොව හා සසර ගමනට ම දුක් කැඳවන්නක් ලෙස බුදු දහමට අනුව පැහැදිලි වේ.
බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳ විවිධ තැන්වල දී දේශනා කොට ඇත. මිනිසුන් මානයෙන් උදම්
වන්නේ ලෝකය හා සත්වයා පිළිබඳ හරි අවබෝධයක් නොමැතිකමිනි.
එය හරියාකාර ව අවබෝධ කර ගත් කල්හි මානය මුළුමනින් ම විනාශ වනු ඇත. පුහුදුන් ස්වභාවය
මත ම මානය අඩු වැඩි වශයෙන් පවතී. පුහුදුන් සත්වයා යනු කෙලෙස්වලින් බරිත වූවන් ය. එම
කෙලෙස්වල එක් අංගයක් ලෙස මානය ද පුහුදුන් ස්වභාවය මත නිරන්තරයෙන් ඉස්මතු වේ.
සංයෝජන යනු බැම්ම යන අර්ථය ගෙන දෙන පදයකි. නිවන් දැකීමට නම් බැමි දහයක් බිඳ දැමිය
යුතු ය. ඒවා දස සංයෝජන නමින් හැඳින් වේ. ඒවා පිළිවෙළින් ගත් කල්හි මේ අයුරින්
දැක්වීමට පුළුවන.
සක්කාය දිට්ඨි (ආත්ම දෘෂ්ටිය), විචිකිච්ඡා (සැකය), සීලබ්බත පරාමාස (වැරදි සීලව්‍රත
අනුගමනය), කාම රාග (පඤ්චකාම තෘෂ්ණාව), පටිඝ (ද්වේෂය), රූප රාග (රූප රාගය), අරූප රාග
(අරූප රාගය), මාන (මැනීම), උද්ධච්ච (උඩඟු බව) හා අවිඡ්ජා (නොදැනීම) වයි.
ඉහත පිළිවෙළ අනුව විමසීමේ දී මානය හසුවන්නේ අටවන සංයෝජනය ලෙසයි.එනම් අරහත් වීමේ දී
විනාශ වන බැම්මකි. එසේනම් අරහත් තත්ත්වයට පත්වන තුරු ම පවතින මානය ඒ දක්වා ම එහි
අනිටු ප්‍රතිඵලත් විඳීමට සිදු වේ.
මානය යනු මැනීම නම් එය අවස්ථා තුන් තැනක දී සිදු වනු ඇත. “සෙය්‍යා හමස්මිත්්‍යාදිනා
මඤ්ඤතීති මානො” යන අභිධර්මයේ මානය පිළිබඳ විග්‍රහ වී ඇති පාඨයට අනුව එම අවස්ථා තුන
නිරූපණය වේ. සෙයිය මාන (උසස් වෙමි’යි මැනීම), සදිස මාන (සමාන වෙමි’යි මැනීම), හීන
මාන (පහත් වෙමි’යි මැනීම) යනුවෙන් අනුන් හා තමා සංසන්දනය කරමින් තුන් ආකාරයකින්
සිදු වේ. නැවත මේ ත්‍රිවිධ මානය ම “සෙය්යස්ස සෙය්යෝ හමස්මි” (උසස් පුද්ගලයාට වඩා
උසස් වෙමි) ආදී වශයෙන් එකිනෙකාට පරස්පර ව මේ මානය ඇති වන බැවින් නව විධ වේ. මෙය
අභිධර්මයට අනුව ලෝභ මූලික දිට්ඨි සහගත විප්පයුක්ත සිත්වලට යෙදේ. ඉහතින් සඳහන් කළ
ත්‍රිවිධ මානය නවාකාරයකට බෙදෙන අයුරු විමසා බලමු.
සෙය්යස්ස සෙය්යෝ හමස්මි -මම ශ්‍රේෂ්ඨයාට ශ්‍රේෂ්ඨ වෙමි, සෙය්යස්ස සදිසො හමස්මි - මම
ශ්‍රේෂ්ඨයාට සමාන වෙමි, සෙය්යස්ස හීනෝ හමස්මි - මම ශ්‍රේෂ්ඨයාට හීන වෙමි, සදිසස්ස
සෙය්යෝ හමස්මි - මම සමානයාට ශ්‍රේෂ්ඨ වෙමි, සදිසස්ස සදිසෝ හමස්මි - මම සමානයාට සමාන
වෙමි, සදිසස්ස හීනො හමස්මි - මම සමානයාට හීන වෙමි, හීනස්ස සදිසො හමස්මි - මම හීනයාට
ශ්‍රේෂ්ඨ වෙමි, හීනස්ස සදිසො හමස්මි - මම හීනයාට සමාන වෙමි, හීනස්ස හීනො හමස්මි -
මම හීනයාට හීන වෙමි
ආදී වශයෙන් ඒ පිළිබඳ බෙදා වෙන් කිරීමට පුළුවන. ධම්ම පදයේ අරහත්ත වග්ගයේ පස්වැනි
ගාථාව තුළින් ඒ බව තවදුරටත් තහවුරු වේ. සත්වයා නිරතුරුව ම ආත්ම සංකල්පයේ සිට මැනීම
සිදු කරති. මම මගේ ආදි සංකල්ප ගොඩ නැඟීමත් සමඟ මානය තහවුරු වේ. මෙම මැනීම විවිධ කෝණ
තුළින් ඒ ඒ පුද්ගලයා ගොඩනඟා ගනු ඇත. ඒ අනුව තම ශරීරය, අධ්‍යාපනය, කුලය, වංසය,
පරම්පරාව, ආර්ථිකය, රූප සෝභාව ගෙවල් - දොරවල්, ඉඩ - කඩම් , යාන - වාහන පමණක් නොව තම
දූ - දරුවන්, දෙමාපියින්, ඥාතීන් හිත - මිතුරන් ආදී විවිධ සංකල්ප ඔස්සේ සත්වයා මානය
නම් වූ සංයෝජනය ගොඩනඟා ගෙන එය ස්ථාවර කොට ගෙන ඒ තුළින් අකුසල් රැස් කර ගනී. මෙය
පුහුදුන් ස්වභාවය ම වේ. බුදු, පසේ බුදු, මහරහතුන් එම සංයෝජනය සිඳ බිඳ දා ජය ගත්
උත්තමයෝ වෙති. එසේ නම් මානය පිළිබඳ දැන හඳුනාගෙන ඒ තුළින් අකුසල් නොකොට ගෙන ජීවිතය
සම්‍යක් පැත්තට නැඹූරු කර ගත යුත්තේ පුහුදුන් වූ අපි අපි ම නොවේ ද? මානය දුරු කළ
උත්තමයෝ කෙරෙහි දෙවියෝ ද කැමති වෙති.
යස්සින්ද්‍රියානි සමථං ගතානි
අස්සා යථා සාරථිනා සුදන්තා
පහීනමානස්ස අනාසවස්ස
දෙවාපි තස්ස පිහයන්ති තාදිනො
දක්ෂ රියදුරකු විසින් හීලෑ කරන ලද අසුන් මෙන් දැමුණු ඉඳුරන් ඇති, මානය හා කාමාදී
ආශ්‍රවයන් දුරු කළා වූ අෂ්ටලෝක ධර්ම විෂයයෙහි නොසෙල්වෙන පැවතුම් ඇති රහතුන් වහන්සේට
දෙවියෝත් කැමති වෙති.
බුදුරදුන් කල ද මානයෙන් උදම් වූ විවිධ පිරිස් සිටියහ. ඒ අතර මාගන්ධිය බැමිණිය ඉතා
ප්‍රකට ය. ඇයගේ රූපයට බුදුරදුන් නිග්‍රහ කළා යැයි බුදු හිමිගෙන් පළි ගැනීමට විවිධ
උපක්‍රම කළ ද ඒ කිසිවකින් බුදු රදුන්ට අනතුරක් කිරීමට නොහැකි වූ තන්හි තුනුරුවන්ට
ලැදි, ගරු කරන, සත්කාර සම්මාන දක්වන සාමාවතී ඇතුළු පන්සියයක් සිටි මාලිගාවට ගිනි
තබා ඔවුන් විනාශ කළහ. එම මානය හේතුවෙන් කළ අකුසලයේ විපාකය ඇයට පමණක් නොව ඇගේ
පරම්පරාවට ම දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් විඳින්නට සිදු විය.
තවද බුදුරදුන් කිඹුල්වතට වැඩම කළ අවස්ථාවේ දී වෘද්ධ ශාක්‍යයෝ මාන්නාධිකකමින්
බුදුරදුන්ට නමස්කාර කිරීමක් නොකොට ලාබාල ශාක්‍ය දරුවන් ලවා වන්දවා පසෙකට වී සිටියහ.
ඊට පසු බුදුරජාණන් වහන්සේ යමක ප්‍රාතිහාර්ය පා ඔවුන්ගේ මානය බිඳ හෙලූහ. බුදුරදුන්
කිඹුල්වත්පුර පිඬුසිඟා යෑමේ දී වුව ද තම පියා වූ සුද්ධෝදන රජු ප්‍රකාශ කළේ පුතු
තමනට අවමන් කරන බවයි.
අධික මානය හේතුවෙන් පහත් කුලවල, නීච කුලවල ඉපදෙනු ඇත. අධික මානය තිබුණොත් සමාජ
සම්මත හොඳ සිරිත් විරිත් වුව ද සිදු නොකරනු ඇත. අධික මානයෙන් යුක්ත වූවෝ වැඳිය යුතු
මව්පිය ගුරුවරාදීන්ට නොවැඳීම, වැඩිහිටි අය දුටුවිට හුනස්නෙන් නොනැඟිටීම,
ආසනය දිය යුත්තාට ආසනය නොදීම, මාර්ගය දීමට සුදුස්සාට මාර්ගය නොදීම, සත්කාර කළ
යුත්තාට සත්කාර නොකිරීම, ගරු කළ යුත්තාට ගරු නොකිරීම, සැලකිය යුත්තාට නොසැලකීම හා
පිදිය යුත්තාට නොපිදීම යනාදී තමා විසින් කළ යුතු හොඳ සිරිත් විරිත් නොකරනු ඇත. එයට
හේතුව තමා යන ආත්ම සංකල්පය මත සිටිමින් අන්‍ය දෙස ත්‍රිවිධ මානයෙන් බලමින් කටයුතු
කිරීම ය. අධික මානයෙන් ජීවත් වන්නවුන් අතින් පිනක් දහමක් වුව ද සිදු නොවේ. සිදු
වන්නේ නම් එයිනුදු ගරු නම්බු, තාන්න, මාන්න බලාපොරොත්තුවෙන් මිස සැදැහැ සිතින්
පිනක් දහමක් කර ගන්නා අදහසින් නොවේ.
එම නිසා සමාජයේ ජීවත් වීමේ දී අධික මානයෙන් ජීවත් නොවිය යුතු ය. කුණු වී සැරව ගලන
ශරීරය පිළිබඳ හෝ, විනාශ වී යන වස්තු සම්පත් නිසා හෝ මානයෙක් ඇති නොකර ගත යුතු ය.
එලෙස ම කුමන හෝ බාහිර කරුණක් හේතුවෙන් මානයක් ඇති නොකර ගත යුතු ය. ගුණධර්ම පුරමින්,
පින් දහම් කරමින් ජීවත් විය යුතු ය. මානයෙන් ජීවත් වීමෙන් මිය ගිය පසු අපායෙහි
ඉපදීමට ද සිදු වන බැවින් ඒ ගැන ද අවධානය යොමු කොට හැකි පමණින් මානය දුරු කොට උතුම්
වූ අරහත් තත්ත්වයේ දී මානය මුළුමනින් ම දුරු කොට නිවන් සුවයෙන් සැනසීම අධිෂ්ඨාන කර
ගනිමු. |