Print this Article


පුංචි සීගිරියේ අසිරිය දකින්න ගොනාගොල්ල රාජ මහා විහාරයට එන්න

පුංචි සීගිරියේ අසිරිය දකින්න ගොනාගොල්ල රාජ මහා විහාරයට එන්න

ඓතිහාසික අම්පාර පුරවරයේ ගල්ඔය නිම්නය අසබඩ පුංචි සීගිරිය නමින් ජන සම්මුතියෙන් අභිෂේක ලත් විහාරස්ථානය ගොනාගොල්ල රාජ මහා විහාරස්ථානය යි. මෙහි යන එන තැන දක්නට ලැබෙන ශිලාමය නටබුන් හුදෙක් යන එන නරඹන්නන් දෙස බලා සිටින්නේ යුගයකින් ශේෂ වූ දැවැන්ත ඉතිහාසයක අභිමානය සුරක්ෂිත කර ගනිමිනි.

ගොනාගොල්ල රාජ මහා විහාරය කලෙක දී පුංචි සීගිරිය ලෙස නම් ලබන්නට බලපාන්නට ඇති බවක් සිතිය හැක්කේ මෙහි ඇති අපූර්ව සිතුවම් කලාව බව ඉඳුරා ම කිව හැකි ය. මෙහි පවතින සිතුවම් ක්‍රි.ව තෙවැනි සියවසට අයත් බවක් එනම් මීට වසර (1800) කට වඩා පෞරාණිකත්වයක් ඇති බව, 1950 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද පර්යේෂණ මඟින් තහවුරු කර ඇත.

මෙහි දක්නට තිබූ බොහොමයක් සිතුවම් කාලයේ ඇවෑමෙන් සුන්දරත්වයේ මතකයන් පමණක් ඉතිරි කර අපට නොපෙනී මැකී ගොසින් ඇති අතර, ඉන් එකක්, දෙකක් පමණක් ඉතිරි වී ඇත. එසේ ඉතිරි ව ඇති සිතුවම් තුළින් නිරූපණය වන්නේ බෝසත්වරයකු ඉදිරියේ අයදින ලීලාවෙන් සිටින කාන්තා රූපයකි. මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතාගේ අදහසට අනුව මැය පර්ජන්‍යය රැඟුමක් ඉදිරිපත් කරමින් සිටියි.

මෙම ගොනාගොල්ල රාජ මහා විහාරයෙන් සොයාගත් ගිරි ලිපි කිහිපයක් පිළිබඳව ද තොරතුරු සිහිපත් කළ යුතු ය. බ්‍රාහ්මීය අක්ෂරවලින් සටහන් තබා ඇති මෙම ගිරි ලිපි ක්‍රි.ව 3-4 සියවස්වලට අයත් බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තහවුරු කර තිබේ. දෙවන ලිපියෙන් මහ රටෙහි කිසියම් ගමක වාසය කරන අබය නම් තැනැත්තා විසින් අළිතක විහාරයට කරන ලද වැසි සළු පූජා කිරීමක් ගැන සඳහන් වන අතර ම තෙවැනි ලිපියෙන් අළිතක මහා විහාරයේ පැවති අරියවංස පූජාව සඳහා කළ කහවණු පූජාවක් පිළිබඳ ව සඳහන් වේ.

නරඹන්නන්ගේ සිත් ලාංකේය ඉතිහාසයේ එක්තැනක අතරමං කරවන සුළු මෙම නිර්මාණය එක්තරා විශ්මිත නිමැවුමක් ලෙස අප රටට තිළිණ වී හමාර ය. තැන තැන ඇද වැටී ඇති මෙම නෂ්ටාවශේෂයන්ගේ සැබෑ යතාර්ථය ලොවක් හමුවේ කියාපෑමට නියමිත කාලය පැමිණ ඇත. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් මෙහි තිබී සොයාගත් බොහෝ කෞතුක වටිනාකම් මෙන් ම තවමත් පර්යේෂණයට නොගැණුනු තැන් ද මෙහි නැතුවා ම නොවන බව තවදුරටත් පසක් කළ යුතු ව ඇත.

තවදුරටත් මෙහි වටිනාකම් ඉදිරිපත් කරන්නේ නම් එය විහාරාධිපති බඹරවානේ සද්ධාතිස්ස හිමියන්ගේ වචනයෙන් මෙසේ ද සටහන් කළ හැකි ය. “මේ විහාරස්ථානය බොහොම විශේෂ එකක්. ඉතින් ඓතිහාසික වටිනාකමකින් යුක්ත පොකුණු දෙකක්, චෛත්‍යයක් වගේ දේවල් මේ විහාරස්ථානයේ තියෙනවා. ඒ වගේම මළුවේ කැණීම් කරන කොට හරි අපූරු දෙයක් ලැබුණා. ප්‍රමාණයෙන් කුඩා සිරිපතුලක්. ඒ සිරිපතුල නෙළුම් මලක් මත තියෙන විදිහට තමා නිර්මාණය කරල තියෙන්නෙ. මේ වගේ සිරිපතුල් පාකිස්ථානයෙන් දැක ගන්න පුළුවන්. නමුත් ඒක ගලේ ඔබ්බවලා තමා හදලා තියෙන්නෙ. නෙළුම් මලක් දකින්න නැහැ. ඒ විතරක් නෙවේ. ප්‍රාග් ඓතිහාසික චිත්‍ර වගේ දේවලුත් සොයා ගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවේ අරියවංස දේශනාව කරල තියෙන්නෙ ස්ථාන කිහිපයක විතරයි. මේ විහාරස්ථානයත් එයින් එකක්. මේ විහාරය හදල තියෙන්නෙ සද්ධාතිස්ස රජතුමාගෙ පුතා ලජ්ජිතිස්ස රජතුමාගෙ කාලෙ. ඉතින් මට නම් දැනෙන විදියට රටක ඉතිහාසයේ වටිනාකම දන්න අයට ගන්න වටින සැබෑ පන්නරයක් මේ විහාරස්ථානයේ තියෙනවා“.

එසේ මෙහි පවතින සැබෑ වටිනාකම් ඉස්මතු කර ගත හැකි වුව හොත් ශ්‍රී ලාංකේය ඉතිහාස කතාවේ ඇතැම් ප්‍රශ්නාර්ථයන්ට විසඳුම් තබා අනාගත ලෝකයට මෙකී තිළිණය දායාද කිරීමට අපට හැකියාවක් ලැබෙනු ඇත.