Print this Article


කෑගල්ලේ පඤ්ඤානන්ද හිමියෝ විශේෂ කර්මාචාර්ය පදවියෙන් පිදුම් ලබති

කෑගල්ලේ (කුඹල්ගම) ගුණවර්ධන හා සුන්දර මැණිකේ යන දෙමව්පියන්ගේ පුත්‍ර රත්නයක් ලෙස වර්ෂ 1983 දී උපත ලබා කෑගල්ලේ ඩී.එස්.සේනානායක මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පුරාකෘත පුණ්‍ය මහිමයෙන් ගාල්ල යක්කලමුල්ල ගහලකොළදෙණිය ශ්‍රී ගුණවර්ධනාරාමාධිපති ව වැඩ විසූ රාජකීය පණ්ඩිත රන්සෑගොඩ ධම්මානන්ද මාහිමි, ප්‍රවීණාචාර්ය යටලමත්තේ ධම්මජෝති ස්වාමීන් වහන්සේ, ගාලු මාතර හම්බන්තොට තෙපළාතේ උප ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අක්මීමන පඤ්ඤාසාර නාහිමි යන ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් ලෙස 1994දී කෑගල්ලේ පඤ්ඤානන්ද සාමණේර නමින් පැවිදි විය.

උඩුමලගල ශ්‍රී ආදිච්චවංශ මූලික පිරිවෙන, නාකියදෙණිය ශ්‍රී සරණපාල මහා පිරිවෙන, පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන යන පිරිවෙන් තුළින් ධර්ම ශාස්තෝද්ග්‍රහණය කර රාජකීය පණ්ඩිත උපාධිය ද හිමි කර ගත් පඤ්ඤානන්ද හිමියන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත්, ශාස්ත්‍රපති උපාධියත් හිමි කර ගත්හ.

උන්වහන්සේ ගංගොඩවිල ශ්‍රී සුභද්‍රාරාම මූලික පිරිවෙනේ පරිවේණාධිපති ධූරය දරමින් භාෂා ශාස්ත්‍රයට විශාල මෙහෙවරක් ඉටු කරනු ලබයි.

කථානායකයන් වහන්සේ දක්ෂ ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙසත්, ග්‍රන්ථ කර්තෘවරයකු ලෙසත්, කාව්‍ය ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙසත් දෙස් විදෙස්හි කීර්තියට පත් තරුණ යතිවරයන් වහන්සේ නමකි.

උන්වහන්සේගේ උදාර සේවය, දක්ෂතා හා කුසලතා අගය කළ අපේ මල්වතු මහා විහාරයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන් වහන්සේ අතුළු සානුනායක කාරක මහා සංඝ සභාව වෙතින් “ධර්ම කීර්ති ශ්‍රී” යන ගෞරව නාම සහිත ව මල්වතු මහා විහාරීය රාජකීය මංගල උපෝසථාගාරයේ විශේෂ කර්මාචාර්ය ධුරයකට පත් කර ඇති අතර, ඒ පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානය 2024.08.17 වැනි දින පස්වරු 03 ට මහනුවර රාජ පූජිත මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දී ශ්‍රීමත් මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙණු අතර අද (19) දින ප.ව. 03 ට උන්වහන්සේ පිළිගැනීමේ පුණ්‍යෙීත්සවය ගාල්ල යක්කලමුල්ල ගහලකොළදෙණිය ශ්‍රී ගුණවර්ධනාරාම විහාරයේ දී පැවැත්වීමට නියමිත ය.

ධර්ම කීර්ති ශ්‍රී කර්මාචාර්ය රාජකීය පණ්ඩිත කෑගල්ලේ පඤ්ඤානන්ද ස්ථවිරපාදයන් වහන්සේට ශත වර්ෂාදී කාලයක් ලෝ සසුන් වැඩ වඩන්නට ශක්තිය හා ධෛර්යය ලැබේවා'යි පතමි.