Print this Article


කීකරුකම ළමයාට ආභරණයකි

දැයේ දූ දරුවන්ගේ යහපත් ආකල්ප, ගුණධර්ම හා ලේඛන කුසලතා ඔප් නංවනු පිණිස බුදුසරණ පුවත්පත හා බුදුසරණ ඩිජිටල් අංශය සංවිධානය කළ සියපත් සුවඳ දීප ව්‍යාප්ත රචනා තරගයට දූ දරුවන් විශාල ප්‍රමාණයක් රචනා එවා තිබුණි. ඒ අතරින් තෝරාගත් රචනා බුදුසරණ අන්තර්ජාල කලාපයන්හි මෙලෙස පළ කෙරේ.

කීකරුකම ළමයාට ආභරණයකි

කුඩා දරුවන් පිපී එන මල් කැකුළු වැනි ය. පුංචි කාලයේ සිට කීකරු ව වැඩෙන දරුවා පවුලට මිණි පහනකි.

කුඩා කල සිට ම අකීකරු වන දරුවාගෙන් දුඟඳ ම හමන්නේ ය. ළමා වියේ දී අකීකරු වන දරුවා වයසින් වැඩෙද්දී අයහපත කරා ඇදී යයි. නරක පුරුදු, ආශ්‍රයන් ඔහු විනාශයට පත් කිරීමට මඟ පාදයි. අද සමාජයේ ළමා පරපුර, සිසු පරපුර විනාශ මුඛයට ඇද වැටීමට මූලික සාධකය වී ඇත්තේ අකීකරුකමයි.

වර්තමානයේ දෙමව්පියෝ, ගුරුවරු ආදී වැඩිහිටියන් ළමයින්ට අවවාද දීමේ දී දෙවතාවක් සිතීමට පෙළඹෙති. ඒ, අවවාද දුන් විට සමහර ළමයින් වැඩිහිටියන් සමඟ ආරවුල් ඇති කර ගැනීම හා ඉන් අමනාප වී විටෙක නිවසින් යාමට ද තීරණය කරන බැවිනි. එසේත් නැතිනම් සිය දිවි නසා ගැනීමට ඔවුහු උත්සාහ කරති.

කීකරු දරුවා ඉතා නැණවත්, ප්‍රඥාවන්ත හා ගුණගරුක බවින් පිරිපුන් අතර අකීකරු දරුවා මුරණ්ඩු ගතිවලින් හා අයහපත් ගතිවලින් යුක්ත වෙයි. මෝඩකමින් හා මානයෙන් තොර ව ජීවත්වීමට යහපත් දරුවා කටයුතු කරයි. අයහපතෙහි යෙදෙන්නන් සමාජයේ බහුල ව දක්නට ලැබෙන්නේ අකීකරුකම සීඝ්‍රයෙන් පැතිර යන නිසාවෙනි.

වත්මන් සමාජයේ ළමයින්ගේ තනිය මකන, විනෝදය වඩන එකම සහනය වී ඇත්තේ ජංගම දුරකථන, පරිගණක ආදිය යි. ඔවුන් ඒවා ඔවුන්ගේ සතුට වෙනුවෙන් භාවිත කළ ද ඉන් ඔවුන්ගේ මනස විනාශ වන බව ඔවුන් නොදනී. ඉබේම ඔවුන් එහි ගොදුරක් බවට පත්වේ. පොත පතින් තොර ව ජංගම දුරකථනයට ඇබ්බැහි වූ අකීකරු දරුවන් සමාජයේ ඉතා බහුල වේ. ඔවුන් “කීකරුකම” නොහඳුනයි. වැඩිහිටියන්ගේ උපදෙස් ඉවත දමයි. මේ නිසා ම දරුවන් සොරකම, වංචාව වැනි දරුණු අපරාධවල නිරත වෙයි.

එයින් නොසෑහෙන අකීකරු දරුවා ඒ මඟින් වෙනත් කාම අපරාධවලට යොමු වෙයි. දවස ම සින්දු අසයි. නාට්‍ය චිත්‍රපටි බලයි. විටෙක අසභ්‍ය දර්ශන නරඹා මනස විකෘති කරවා ගනනීනී. නිකරුනේ කාලය කා දමමින් කාලකණ්ණි බවට පත්වේ. දෙමාපියන් දරුවන්ගේම අනාගතය උදෙසා අවවාද දුන් විට ළමයි ඒවා වැරදියට තේරුම් ගෙන කේන්ති ගනියි. අවසානයේ සිදුවන්නේ දෙමව්පියන්ගේ සිත් රිදීම පමණි.

මිනිසා අනුකරණශීලී සත්ත්වයෙකි. ඔවුන් සමහර වේලාවට අනෙක් සතුන් මෙන් හැදෙන්නේ නැත. ඔවුන් කුඩා කල සිට ම නිවැරැදි කළ යුතු ය. හැදෙන්නට හෝ යහපත් වීමට නම් වැඩිහිටි අවවාද තම ජීවිතයේ කොටසක් කර ගත යුතු ම ය. අවවාද පිළිගෙන කටයුතු කිරීම සුවචකම වේ. සුවච කීකරු දරුවා මවට හා පියාට රන් මෙන් වටී. එය ළමයින්ගේ මෙන් ම පවුලේ දියුණුව ද උදා කරයි. මේ බව මහා මංගල සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය වැනි සූත්‍රවල ද මනාව පැහැදිලි වේ.

එසේ ම අකීකරුකම තුළින් ළමයා පරිහානියට පත්වන ආකාරය පිළිබඳ පරාභව වැනි සූත්‍රවල සඳහන් වේ.

අනාගතයේ වර්ණවත් භාවය, ආලෝකවත් බව දැකීමට කීකරුකම අනිවාර්ය අංගයක් කර ගත යුතු බව මින් පැහැදිලි වේ. එසේ නොමැති වුවහොත් ජීවිතාන්තය දක්වා දුක් විඳිමින්, පසුතැවිලි වෙමින් ජීවත්වීමට සිදුවේ.

කීකරුකම නම් වටිනා ආභරණය පැළඳගෙන තමා මෙන් ම සමාජය ද බබළවමින් ජීවිතය එළිය කර ගැනීමට අපි මෙතැන් සිට උත්සාහ කරමු.