Print this Article


දැයේ දූ දරුවන්ගේ යහපත් ආකල්ප, ගුණධර්ම හා ලේඛන කුසලතා ඔප් නංවනු පිණිස බුදුසරණ පුවත්පත හා බුදුසරණ ඩිජිටල් අංශය සංවිධානය කළ සියපත් සුවඳ දීප ව්‍යාප්ත රචනා තරගයට දූ දරුවන් විශාල ප්‍රමාණයක් රචනා එවා තිබුණි. ඒ අතරින් තෝරාගත් රචනා බුදුසරණ අන්තර්ජාල කලාපයන්හි මෙලෙස පළ කෙරේ.

ළමා ලෝකය ආලෝකවත් කරන්නට සිදුහත් කුමාර චරිතයේ ආදර්ශ

අප මහ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමට පෙර ගත කළ කාලය සිදුහත් කුමරුගේ චරිතය තුළින් නිරූපණය වේ. සිදුහත් කුමරු ලෙස ගත කළ ළමා කාලය සිට බුද්ධත්වයෙන් පසු පිරිනිවන් පෑම තෙක් ම මේ උතුම් චරිතය තරම් ලොව ශ්‍රේෂ්ඨ චරිතයක් තවත් නොමැත.

වැඩිහිටියන්ට ගුරුවරුන්ට ගරු කිරීම, කීකරුවීම සිදුහත් කුමාර චරිතයේ කැපී පෙනෙන උතුම් ලක්ෂණයකි. එතුමා කිසි දිනෙක වැඩිහිටි උපදෙස් ඉවත දැමුවේ නැත. තම සුළු මව සමඟ කීකරුකමින් හා ගුණයහපත්කමින් සිදුහත් කුමරු තම කුඩා කාලය ගත කළේ ය. ගුරුවරුන්ට ගෞරව දක්වන ආකාරය පිළිබඳ දරුවන් වෙත ලබා ගත හැකි හොඳම ආදර්ශය නම් සිදුහත් කුමරුගේ ළමා කාලයයි.

ශිල්ප හොඳින් අවබෝධ කර ගත් සිදුහත් කුමරු එම ශිල්ප හොඳින් ප්‍රගුණ කළේ ය. තම අධ්‍යාපන කටයුතු හොඳින් කර ගන්නා අයුරු මෙම සිදුහත් චරිතය තුළින් ලබා ගත හැකි හොඳ ආදර්ශයකි.

යහළුවන් සමඟ එක්ව කටයුතු කළ පුංචි සිදුහත් කුමරු අන් අයගේ සැප දුක් සොයා බැලීය. ඔහු සියලු ම මිතුරන් හට සම ව සැලකුවේ ය. එමෙන් ම තමා සමඟ සිටි යහළුවන්ගේ ආරක්ෂාව හා පරිස්සම ගැන මනා සිහියෙන් කටයුතු කළේ ය. ගුරුවරුන්ගෙන් දක්ෂතම සිසුවා ලෙස කැපී පෙනෙන සිදුහත් කුමරු තමාට ශිල්ප ලබා දුන් ගුරුවරුන් හට මනා ගෞරව දැක්විය. එතුමා තමා දක්ෂ යැයි කිසිදින උඩඟු වූයේ නැත.

මිනිසුන්ට මෙන් ම සිදුහත් කුමරු සතුන්ට ද කරුණාව දැක්විය. දුනු ශිල්ප දක්වන අවස්ථාවේ හංසයාට හී පහර වැදුණු විට සිදුහත් කුමරු ක්‍රියා කළ ආකාරය තුළින් එය හොඳින් පැහැදිලි වේ. ළමා අපට ඒ තුළින් ලබා ගත හැකි ආදර්ශ බොහෝ ය.

තම පියාගේ ප්‍රසිද්ධිය තුළින් ඉදිරියට යාමට උත්සාහ නොකර ඉතා සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට සිදුහත් කුමරු කැමැති විය. සිදුහත් චරිතයේ පෙනෙන මෙම උතුම් චරිත ලක්ෂණ ආදර්ශයට ගැනීමට ළමා අප උත්සාහ කළ යුතු ය. ඒ තුළින් අපේ ළමා ලෝකය අපට තව තවත් ආලෝකවත් කර ගත හැකි ය.