Print this Article


යුතුකම් වගකීම් දැන නිති පින්කම් කරමු

යුතුකම් වගකීම් දැන නිති පින්කම් කරමු

සාර අසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පුරමින් නව ලොව්තුරා බුද්ධ රාජ්‍යයට වැඩම කොට වදාළ අමාමෑණි ශ්‍රී ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සකල ලෝක සත්ත්වයා වෙත පතළ මහා කරුණාවෙන් පන්සාළිස් වසක් මුළුල්ලෙහි දේශනා කරන ලද නෛර්යානික ශ්‍රී සද්ධර්මය සියලු ලෝක සත්ත්වයාගේ හිත සුව පිණිස දෙසූහ.

බුදු දහම ගිහි පැවිදි සැමගේ මෙලොව පරලොව යහපත පිණිස මඟ පෙන්වන උතුම් දේශනාවකි. පෞද්ගලික වශයෙන් එක් එක් පුද්ගලයා සතු ව තිබිය යුතු ගුණධර්ම මෙන් ම පොදුවේ සමාජයක් සතු ගුණ ධර්ම ගැන ද තථාගතයන් වහන්සේ වදාරා ඇත.

බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙහි ඉගැන්වෙන ජීවන මාර්ගය අනුගමනය කොට සහනයෙන් සතුටෙන් මෙන් ම ලෝකයට පරාර්ථචර්යාව කරමින් ජීවත්විය හැකි ය.

වඩාත් සතුටුදායක සහනශීලී ජීවිතයක් ගත කිරීම සඳහා සමාජයේ ජීවත් වන පුද්ගලයන් අතර සුහද සම්බන්ධතාවක් පවත්වා ගැනීම අවශ්‍ය බව බුදුරජාණන් වහන්සේ වදාළහ. ඒ සඳහා දේශිත සූත්‍ර ධර්ම හා විනය ශික්ෂා පද ත්‍රිපිටකයෙහි සඳහන් වේ.

බුදුරජාණන් වහන්සේ සිඟාල ගෘහපතියාට දේශනා කළ සිඟාලෝවාද සූත්‍රය එවැන්නකි. සදිසා නමින් සමාජය කොටස් හයකට වර්ග කොට එහි එක් එක් පුද්ගලයා විසින් අන්‍යොන්‍ය වශයෙන් ඉටුකළ යුතු යුතුකම් පැහැදිලි ව දක්වා ඇත. එය ආර්ය විනය අනුව දෙලොව දිනන (උභො ලෝකෙ විජයාස) පිළිවෙතක් වශයෙන් ද හැඳින්වූහ.

යුතුකම් ඉටුකිරීම වැදගත් සමාජ ආචාර ධර්මයකි. යහපත් සමාජ වාතාවරණයක් ඇතිවීමට යුතුකම් ඉටුකිරීම බෙහෙවින් බලපානු ලබයි. සමාජයේ ඒ ඒ කොටස්වලින් අන්‍යොන්‍ය වශයෙන් යුතුකම් ඉටු වූ තරමට ගැටලු අඩු වෙයි. යුතුකම් ඉටුකිරීම පැහැර හැරෙන සමාජයේ විවිධ ගැටලු මතුවීම නොවැළැක්විය හැකි ය.

බෞද්ධ සමාජය ගිහි පැවිදි යන පිරිස් දෙකකින් යුක්ත වේ. භික්ෂූන් වහන්සේ සහ භික්ෂුණීන් වහන්සේ පැවිදි පක්ෂයටත් උපාසක උපාසිකා පිරිස ගිහි පක්ෂයටත් අයත් වෙති. වර්තමාන ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් වහන්සේ නැත. එහෙයින් පැවිදි පක්ෂය ලෙස සැලකෙන්නේ භික්ෂූන් වහන්සේ පමණකි. දස සිල් මාතාවන් නමින් හෝ සිල් මෑණිවරුන් නමින් හෝ හැඳින්වෙන පිරිස ආරක්ෂා කරන්නේ ගිහි දස සීලයයි. එබැවින් කහවත් හඳින නමුත් එම පිරිස ද ඇතුළත් වන්නේ උපාසිකා ගණයට ය. බෞද්ධ සමාජයේ අනෙකුත් සාමාජිකයන්ගෙන් භික්ෂූන් වහන්සේට ඉටුවිය යුතු දේත්, භික්ෂූන් වහන්සේගෙන් එම සාමාජිකයන්ට ඉටුවිය යුතු දේත් ගිහි පැවිදි යුතුකම් ලෙස සලකයි.

සිඟාලෝවාද සූත්‍රයෙහි පැවිදි උතුමෝ උඩදිසා (උඩ දෙස) යනුවෙන් හැඳින්වෙයි. උන්වහන්සේ නිවන් අවබෝධ කර ගැනීම පිණිස ආර්ය මාර්ගයෙහි ගමන් කරති.උසස්, පිළිවෙත් පුරති. ගිහියනට ද අවවාද අනුශාසනා කරති. එනිසා උන්වහන්සේ ගෞරවාදරයට හා පුද පූජාවන්ට සුදුසු වෙති. භික්ෂූන් වහන්සේගෙන් ඈත් වුණු ගිහියාට නිවැරැදි දිවියට අවශ්‍ය මඟපෙන්වීම නොලැබේ. භික්ෂූන් වහන්සේ ගැන ගිහියන් සොයා නොබලන විට තම අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා භික්ෂූත්වයට නොගැළපෙන ක්‍රියාවන්ට ද පෙළඹීමට ඉඩ ඇත. එසේ වූ විට ගිහියා තව තවත් ඈත් වෙයි. එනිසා ගිහි පැවිදි සම්බන්ධය ඇති කර ගැනීමටත් අන්‍යොන්‍ය යුතුකම් ඉටු කිරීම උපකාරවත් වේ.

ගිහියාගේ ජීවිතය සකසා ගැනීමට මනා මඟපෙන්වීමක් කරන නිසා “ගිහිවිනය” යන නමින් ද හැඳින්වෙන සිඟාලෝවාද සූත්‍රයේ ගිහි පැවිදි යුතුකම් පිළිබඳ සඳහන් වේ. එහි මුලින් ම ගිහි පක්ෂයේ යුතුකම් සඳහන් වේ. අතීත මෙන් ම නූතන සමාජයේ ද භික්ෂූන් වහන්සේට ප්‍රමුඛතාවක් ඇත. ආධ්‍යාත්මික ගුණ ධර්ම පුහුණු කිරීම අතින් ගිහියාට වඩා ඉදිරියෙන් සිටින අතර ගිහි පක්ෂයට ද ආධ්‍යාත්මික දියුණුවට මඟ පෙන්වති. එසේ මඟ පෙන්වන, තමන්ට වඩා උසස් වූ භික්ෂූන් වහන්සේ රැක ගැනීම හා පෝෂණය කිරීම තමන් සතු කාර්යයක් ලෙස ගිහියා සලකයි. ගිහියා විසින් භික්ෂූන් වහන්සේ කෙරෙහි ඉටු කළ යුතු කරුණු පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත.

මෛත්‍රී සහගත කාය කර්මයන් - හිතවත්කමින් කය මෙහෙයවා යම් යම් කාර්යය ඉටුකර දීම. (මෙත්තා කාය කම්ම)

මෛත්‍රී සහගත වාක් කර්මයෙන් - හිතවත්කමින් කතා කළ යුතු ය. (මෙත්තා වචී කම්ම)

මෛත්‍රී සහගත මනෝ කර්මයෙන් - හිතවත් අදහස් පහළ කර ගත යුතු ය. (මෙත්තා මනෝකම්ම)

ගේ දොර විවෘතව තැබීම, කිනම් වෙලාවක හෝ නිවෙසට පැමිණිවිට ගරු බුහුමන් පෙරදැරි ව පිළිගෙන උන්වහන්සේගේ අවශ්‍යතා ඉටුකර දිය යුතු ය. (අනාවටද්වාරතා)

ආමිසයෙන් සංග්‍රහ කිරීම - චීවර, පිණ්ඩපාත සේනාසන, ගිලානපච්චය (ගිලන්පස), බෙහෙත් පිරිකර ආදිය පිරිනැමිය යුතු ය. (ආමිසානුප්පදාන)

මෙම යුතුකම් දෙස මනා ලෙස නිරීක්ෂණය කිරීමේ දී භික්ෂූන් වහන්සේට කරන සෑම සැලකිල්ලක් ම මෙත් සිතින් ඉතා හිතවත්ව ම කළ යුතු බව පැහැදිලි වේ.

භික්ෂූන් වහන්සේ දායකයන් දෙන සිව්පසයෙන් යැපෙන පිරිසකි. එනිසා දායකයා සැදැහැ සිතින් යුතු ව භික්ෂූන් වහන්සේට උපස්ථාන කළ යුතු ය. උන්වහන්සේගෙන් කිසිවක් බලාපොරොත්තු නොවී මෙත් සිතින් ම සියල්ල කළ යුතු ය. බලවත් ගෞරවයෙන් හා කැමැත්තෙන් භික්ෂූන් වහන්සේට ආසනයක් ලබා දීම, වැඳුම් පිදුම් කිරීම ආදිය මෛත්‍රිසහගත කාය කර්ම වේ. ආසනයක් ලබා දෙන්නේ කවරකුගේ හෝ බලකිරීම නිසා අසතුටින් නම් එම ක්‍රියාවෙහි මෛත්‍රීසහගත බවක් නැත. නූතන සමාජය තුළ ඇතැම් ගිහියෝ භික්ෂූන් වහන්සේ දෙස ද්වේෂ සිතින් බලති. සමහර තරුණ භික්ෂූන් වහන්සේ බෞද්ධ චීවරයට පවා අපහාස වන අයුරින් විවිධ දේ කරති. උද්ඝෝෂණ මෙහෙයවති. දේශපාලන වේදිකාවල කෑමොර ගසා චීවරයට අපහාස වන අන්දමට කටයුතු කරති. විශේෂයෙන් නූතනයේ විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමඟ විද්‍යුත් මාධ්‍යය ද දියුණුව පවතින නිසා බොහෝ දෑ විවිධ මාධ්‍යයන් ඔස්සේ නැරඹිය හැකි ය.

ඇතැම් භික්ෂූන් වහන්සේ කරනු ලබන යම් යම් අයහපත් ක්‍රියා නිසා මුළු මහත් සංඝ සමාජය ම පිළිකුළෙන් හෙළා දකින අවස්ථා ද දක්නට ලැබේ. භික්ෂූන් වහන්සේ මධ්‍යස්ථ විය යුතු ය. තමා කැමැති දේශපාලනයක නිරත වුව ද පක්ෂග්‍රාහී නොවිය යුතු ය. අල්පේච්ඡ ජීවිතයක් සෑමවිට ම ගත කළ යුතු ය. එවිට ගිහියන්ගේ ගෞරවාදරයට මෙන් බුහුමනට ද බඳුන් වේ.

පැවිද්දා තුළ නිරන්තරයෙන් විනය තිබිය යුතු ය.

බුදුන් වහන්සේ, “විනයෝ නාම ශාසනං ආයු” යනුවෙන් වදාළේත් ශාසනයේ ආයුෂය රඳා පවත්නේ විනය තිබෙනතාක් පමණි යනුවෙනි. භික්ෂුව විනයගරුක වූ විට නිරන්තරයෙන් ගිහියාගේ ගෞරවාදරයට බඳුන් වේ. භික්ෂුවකට වැඳුම් පිදුම් ආදිය කරන්නේ වෙනත් අය කරන නිසාවෙන් මිස ශ්‍රද්ධා සිතින් නොවේ නම්, එහි මෛත්‍රීසහගත කාය කර්මයක් නැත.

නූතන ජන සමාජය තුළ ඇතැම් ගිහියෝ භික්ෂූන් වහන්සේ සමඟ කතා කිරීමට, වන්දනා මාන කිරීමට පවා නොදනිති. එය තම පැවැත්මට විශාල බාධාවක් වේ. මාර්ගයේ ගමන් කරන ඇතැම් පොදු වාහනවල රියැදුරෝ භික්ෂූන් වහන්සේ නමක් ගමනක් යෑමට මාර්ගයේ සිට එම රථයට නැවතීමට සංඥාවක් දුන්න ද එම රථය තුළ ගමන් ගන්නා මිනිස්සු සමඟ, භික්ෂුව රථයට ගොඩවුවහොත් අසුන්දීමට සිදුවෙයි. එය අනෙක් අයට කරදරයක් වේවි'යි සිතා රථය නොනවත්වති. එය මෛත්‍රී සහගත ක්‍රියාවක් නොව එය ගිහියා විසින් කර ගනු ලබන පහත් ක්‍රියාවකි. එහි අනිටු ප්‍රතිඵල විඳීමට ද සිදුවනු ඇත. බොහෝ රියැදුරන් ඉතා උසස් අන්දමින් භික්ෂූන් වහන්සේ පිළිගෙන වාහනවල වැඩම කරවන්නේ භික්ෂූන් වහන්සේ සතු ගුණ සමුදායන් සලකා ගෙන ය. මෛත්‍රී සහගත ව කරනු ලබන එම ක්‍රියා නිසා ගිහියාට පින් සිදු වේ.

මෙත්තා සහගත වාක් කර්ම යනු භික්ෂූන් වහන්සේගේ සැපත සඳහා මෛත්‍රී සහගත ව තම වචන භාවිත කිරීමයි. හිතවත් බවින් යුතු ව භික්ෂූන් වහන්සේ නමකගෙන් සුවදුක් විචාරණ විට එය මෙත්තා සහගත වාක් කර්මයකි. භික්ෂුවක් අසනීපයෙන් පසුවන විට අවැසි බෙහෙත් ආදිය විමසා බලා ලබා දෙන්නේ නම් එය මෛත්‍රීසහගත වාක්කර්මයකි.

යම් කෙනෙකු පැවිදි වූ විට එක් පවුලකට, ගමකට, නගරයකට අයත් වුවකු නොවන අතර, බෞද්ධ සමාජයට ම අයත් වූවෙකි. එහෙයින් කවර භික්ෂුවකට වුව ද “අපේ හාමුදුරුවෝ” යන හැඟීමෙන් කතා කිරීමට පුරුදුව සිටිති. ධර්ම දේශනා කරන විට සැදැහැ සිතින් සාධුකාර දෙමින් බණ අසන කල සපිරෙන්නේ මෛත්‍රී සහගත වාක් කර්මයයි.

පැවිද්දා හා ගිහියා අතර මනා සම්බන්ධතාවක් තිබිය යුතු ය. ස්වාමීන් වහන්සේගේ දුක සැප බලන්නේ ගිහියා ය. ගිහියා ස්වාමීන් වහන්සේගේ සුවපත් භාවය ප්‍රාර්ථනා කරයි. එය මෛත්‍රී සහගත මනඞකර්මයකි.

බොහෝවිට සිතින් පවා ගිහියා ස්වාමීන් වහන්සේගේ සැපත පතයි. ස්වාමීන් වහන්සේ ද ගිහියාගේ කටයුතුවලට සෑම විටම සහය දෙති. මෙසේ මනා සබඳතාවක් ඇති කර ගනු ලැබීම සමාජ යහපතට ඉවහල් වේ.

ශාසනික අවශ්‍යතා සඳහා භික්ෂූන් වහන්සේ නමක් නිවෙසට වඩිනු දැක නොදැක්කා මෙන් සිටින්නේ නම්, එය සුදුසු නැත. උන්වහන්සේ පිළිගෙන ගරු බුහුමන් දක්වා උන්වහන්සේගේ අවශ්‍යතා ඉටු කර දීමට ගිහියා බැඳී සිටියි. එය තම යුතුකම් ඉටු කිරීමකි. එය නොවැසුදොර ඇති බව නමින් දක්වා ඇත.

පිණ්ඩපාතිකව වඩින භික්ෂු නමකට අපහාස නොකර උන්වහන්සේගේ වැඩමවීම තමාට කළ උපකාරයක් සේ සලකා පිළිගැනීම දොර විවර කිරීමකි. එය කුසල් උපදවා ගැනීමට මහෝපකාරී වනු නිසැක ය.

ගිහි යුතුකම් අතර භික්ෂූන් වහන්සේට ආමිසයෙන් සංග්‍රහ කිරීම ඉන් පසු පෙන්වා දී ඇත. (ආමිසානුප්පදාන) චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානපච්චය, බෙහෙත් පිරිකර ආදිය පිරිනැමීම ගිහියාගේ යුතුකමකි. භික්ෂු ජීවිතය අනුන්ගෙන් යැපෙන ජීවිතයකි. දායක පක්ෂය ඒ ගැන නොසලකා දන් සැපයීම පැහැර හැරියහොත් මහණදම් පිරීම අපහසු ය.

සිව්පසයෙන් සංග්‍රහ කිරීම මහණදම් පිරීමට භික්ෂූන් වහන්සේට උපකාර කිරීමක් මෙන් ම තමා විසින් පින් රැස් කර ගනු ලැබීමකි. නූතන සමාජය අධ්‍යයනය කිරීමේ දී ගිහි පැවිදි දෙපාර්ශ්වය ම කාර්යබහුල ය. ගිහි සමාජය තුළ ගිහියා ජීවිකාව ගෙන යාම සඳහා විවිධ රැකී රක්ෂාවල නිරත වෙති. බොහෝ විට ඔවුනට ඇතැම් අවස්ථාවන්හි දී පැවිද්දන්ගේ සැපදුක් විමසීමට පවා නොහැකි වන අවස්ථා ද ඇත. පැවිද්දන් ලෙස අප නිතර ම අනුකම්පාසහගත ව මෛත්‍රියෙන් දායකයන් දෙස බැලිය යුතු ය. ගිහියන් විසින් පැවිද්දන් වෙනුවෙන් කරනු ලබන යුතුකම් වෙනුවෙන් පැවිද්දන් ද ගිහියන්ට උපකාර කිරීම යුතුකමක් වේ.

බුදුරජාණන් වහන්සේ ආමිස දානයෙන් නිතර ම තමන්ට උපකාර කරන ගිහියාට ධර්ම දානයෙන් ප්‍රති උපකාර කළ යුතු යැයි දේශනා කළ සේක. ඒ අනුව පැවිද්දන් විසින් ගිහියා නරක ක්‍රියාවලින් වළක්වා ගැනීම, යහපත් ක්‍රියාවල යෙදවීම, කලණ සිතින් අනුකම්පාව දැක්වීම, නොඇසූ දහම් කරුණු කියා දීම, ඇසූ දහම් කරුණු මැනවින් පැහැදිලි කරදීම හා සුගතිගාමී මාර්ගය කියාදීම කළ යුතු ය.

භික්ෂූන් වහන්සේට දන්පැන් ලැබුණ ද නොලැබුණ ද ගිහියා කෙරෙහි මෙත් සිතින් යුතු ව අයහපතින් මුදා යහපතෙහි යෙදවීම භික්ෂූන් වහන්සේගේ යුතුකමක් වන්නේ ය. ඒ සඳහා ධර්මය දේශනා කළ යුතු අතර ප්‍රතිපත්තියෙහි යෙදවිය යුතු ය. ඉහත කරුණු සයෙන් ම කියැවෙන්නේ ගිහියා කෙරෙහි අනුකම්පාවෙන් ක්‍රියා කළ යුතු බවයි. කුසල ධර්මයන්ගෙන් ඈත් වී පාප ක්‍රියාවන්හි යෙදීමෙන් මෙලොව පරලොව වශයෙන් දුගතියට පත්වන අතර, එයින් මුදාගෙන, යහමඟට යැවීමට ක්‍රියාකරවීම භික්ෂූන් වහන්සේගේ පරම යුතුකමක් හා වගකීමක් ද වන්නේ ය.

පාප කර්මවලට ගෝචර වූ විට එයින් මිදීම ඉතා අපහසු ය. එනිසා පාපයන්ගෙන් වළක්වා අයහපත් ක්‍රියාවලින් ඉවත්වීම කළ යුතු ය. පිනට දහමට ගිහියා නිතර යොමු කළ යුතු ය. පාපයන්ගෙන් මිදී යහපතෙහි යෙදීමට ධර්මය මනා කොට දැනීම ප්‍රයෝජනවත් වේ. නොඇසූ දහම් ඇසීමටත්, ඇසූ දහම් සැකහැර දැන ගැනීමට සැලසීමත් පැවිදි යුතුකමක් ලෙස දක්වා ඇත්තේ එනිසා ය.

මේ සියල්ල සාර්ථක ප්‍රතිඵල ලැබෙන සේ කළ හැක්කේ මෛත්‍රී සහගත සිතින් ක්‍රියා කළහොත් පමණි. එනිසා හොඳ සිතින් අනුකම්පා කිරීම ද යුතුකමක් ලෙස දක්වා ඇත.

බොහෝ ගිහියන් තමන් පාපයෙන් මුදාගෙන, යහපතෙහි යොදා දෙලොවට ම ඇවැසි පරිදි ධර්මය කියාදීම නිසා භික්ෂූන් වහන්සේ තම කලණ මිතුරකු සේ සලකනු ලබයි.

සෑම භික්ෂූන් වහන්සේ නමක් ම ගිහියන් යහපතෙහි නිරත කරවීමට උපරිම ලෙස තම දායකත්වය ලබා දෙති. භික්ෂූන් වහන්සේ තම යුතුකම් ඉටු කිරීම පුද්ගලයකුට පමණක් නොව සමාජයට ම කරන සෙතකි. ගිහියා එම සෙත සලසා ගනිමින් හැමවිට මෛත්‍රී සහගත ව හොඳ සිතින් භික්ෂූන් වහන්සේට විය යුතු යුතුකම් කොටස ඉටු කළ යුතු ය. ඒ සඳහා කුඩා කල සිට ම පුරුදු පුහුණු විය යුතු ය. භික්ෂූන් වහන්සේට අපහාස, උපහාස, අගෞරව නොකළ යුතු ය. නිතර ම භික්ෂූන් වහන්සේට ගරු සරු ඇති ව කතා කිරීම, හැසිරීම හොඳ ගිහියකුගේ ලක්ෂණයක් වන්නේ ය. ගිහි, පැවිදි සබඳතා මනා ලෙස දැන හැඳින අවබෝධයෙන් යුතු ව කටයුතු කිරීමෙන් දෙලොව ම ජය ගෙන කෙළවර අමාමහ නිවන් සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමට මහෝපකාරී වනු නොඅනුමාන ය.