Print this Article


අත්දැකීමෙන් දෙන ඔවදන් පිළිපදින කල නොවේ නපුරක්

අත්දැකීමෙන් දෙන ඔවදන් පිළිපදින කල නොවේ නපුරක්

විවාහය ජීවිතයේ ඉදිරි කාලයේ ම යහපත, අයහපත, දියුණුව, පරිහානිය, සැනසුම, පීඩාව, තීරණය කරන සුවිශේෂී ම සංධිස්ථානයක්. නිසි වයසට පැමිණෙන කල මවත් - පියාත් ඔබගේ විවාහ ජීවිතය ගැන විමසනු ඇත. සාකච්ඡා කරනු ඇත.

ඔබගේ කැමැත්ත, බලාපොරොත්තු හා ඔබ කැමැති කෙනෙක් වේ නම් ඒ ගැන කාරුණිකවත්, සුහදවත් පවසන්න. යම් විටෙක මවත් - පියාත් ඔවුන්ගේ ජීවිත අත්දැකීම් තුළින් යම් යම් කරුණු පිළිබඳ ඔබට උපදෙස් දෙන්නට පුළුවනි. ඒ සියල්ල ම සිදු කරන්නේ ඔබගේ අනාගත ජීවිතය සැපවත් කිරීමේ අදහසින් මිස නපුරු අදහසකින් නම් නොවේ. ඒ කෙසේ වෙතත් මවගේත් - පියාගේත් ආශිර්වාදය ඇති ව ඔබට විවාහයට පත්වෙන්නට හැකි නම් ඔබ වාසනාවන්ත ය. මුළු ලොව ම කඩාවැටුණත් ඔබගේ ගුණබර මවත් - පියාත් ඔබ සමඟින් බව හදවතෙහි ම තැන්පත් වන්නට ඉඩ හරින්න.

මවත් - පියාත් තම දරුවන්ට බොහෝ උපකාර ඇත්තෝ ය. මවත් - පියාත් විසින් දරුවන් මෙලොවට බිහිකොට හදාවඩා පෝෂණය කොට ලෝකය දකින්නට හා එහි සුව සේ ජීවත්වන්නට නුවණ පාදා දුන්නෝ ය. ලොව කොතැනක හෝ දෙපයින් නැඟී සිටිමින් ජීවත්වන්නේ මවත් - පියාත් විසින් උපතේ පටන් ලබා දුන් ජීව ශක්තිය නිසා බව දරුවන් කිසිදා අමතක නොකළ යුතුයි.

තරුණ දරුවනි, ඔබට අද තරුණ හයිය සිතටත්, ගතටත් පැමිණෙන්නට පෙර බිළිඳෙක් ව සිට යම්තම් නැඟිට ගන්නට හැකියාව ලැබෙන තෙක් මවත් - පියාත් විඳී පීඩා මහමෙරක් වගෙයි.

යම් තරුණ දරුවකු මවුපියන් වෙනුවෙන් සුළු වූ ද උපකාරයක් හෝ කිරිමට සිත නොනැමුන ද, ඔබ කුඩා කල ඔබට සිටගන්නට, ඇවිදින්නට හැකි වයස පැමිණෙන තෙක් මවත් - පියාත් කොපමණ නම් සතුටකින් බලා සිටියේ ද? ඔබගේ දෑස හොඳීන් පෙනේදැයි, දෙසවන් මැනවින් ඇසේ දැයි ඒ වගේ ම ඔබට කතා කිරීමට හැකි වේදෝ'යි සිතමින් කොපමණ නම් වාරයක් බුදුරදුන්ට දෙවියන්ට කියන්නට ඇති ද? බොහෝ හිත මිතුරු පිරිසක් හා ඔබට අද දවසේ මගේ යැයි කියන්නට පිරිසක් සිටී ද? ඔබ මෙලොවට බිහිවූ දා සිට ජීවිතයේ මුලින් ම මුහුණට එබෙමින් මගේ, මගේ යැයි හදපිරි සතුටින් කතා කළේ ඔබගේ ම මව හා පියා විනා වෙන කවර නම් අයෙක් ද? ගුණවත් මවුපියෝ තමන්ට නොපෙනුණ ලෝකය දරුවන්ට පෙන්වා දෙන්නට, තමන්ටත් වඩා ඉහළ අධ්‍යාපනයක් දරුවන්ට ලබා දෙන්නට, තමන්ගේ කුස නොපිරුණත් දරුවන්ගේ කුස පුරවන්නට අපමණ වෙහෙසක් දරති.

එනමුත් තමන්ගේ ජීවිතයේ තමන්ට ලැබුණු දුක් වේදනා නම් මගේ දරුවන්ට නම් ලැබෙන්නට එපා යැයි සිහිනෙන් පවා ප්‍රාර්ථනා කරති. දරුවන් වෙනුවෙන් විඳීන දුක් වේදනා අම්මා කෙනෙකුට දුකක් නම් නොවේ. දරුවන් වෙනුවෙන් උහුලන බර පිය කෙනෙකුට බරක් නොවේ.

ඔබ උස් මහත් වන විට, ඔබ තරම් මවුපියන් යම් යම් දේ නොදන්නවා යැයි නොසිතිය යුතුයි. යම් විටෙක මවුපියන්ට වඩා ඔබ ඉහළ අධ්‍යාපනයක් ලැබුවා විය හැකියි. එහෙත් ඔවුන් ඔබට වඩා පරිණත බවින් හා ජීවිත අත්දැකීම්වලින් ඉහළින් සිටිනා බව කිසිවිටෙකත් අමතක නොකළ යුතුයි. මවුපියන් තම අත්දැකීම් දුක් විඳ රැකියා කරමින් දරුවන් හැදූ වැඩූ අයුරු පවසන විට " ඕවා අපට පවසා වැඩක් නැතැයි කියමින් හෝ එදා වගේ නොවෙයි අද සමාජය වෙනස් යැයි කියමින්" සිත් රිදවීම නොවටී.

පසු කාලයක දී මවුපියන්ගෙන් ඔබට ගේ - දොර මිල මුදල් ආදී දායාදයන් ලැබුණත් නැතත් මේ මිහිතලය මත දෙපයින් නැඟී සිටින්නේ ඒ මවටත් - පියාටත් පින් සිදුවන්නට යැයි කිසිවිටෙකත් අමතක කරන්නට එපා. මෙලොව පවත්නා ලෞකික වස්තූන් සෑම දෙයක් ම තාවකාලිකයි. අස්ථීරයි. වෙනස් වෙනවා. විනාශ වෙනවා. මනුෂ්‍යයෙක් වශයෙන් ජීවත්වන මේ කෙටි කාලයකටයි මගේ කියා පොදි බැඳ ගන්නට දබර කරන්නේ හා තරග කරන්නේ. තාවකාලික වූත් අස්ථිර වූත්, යමක් වෙනුවෙන් මවුපිය සෙනෙහස හා සහෝදරත්වය කිසිවිටෙකත් නැති කර නොගන්නට කටයුතු කිරීම ඉතා ම යහපත්.

මවුපියන්ගේ ජීවිතවල යම් අඩුපාඩුවක් වේ නම් ඒවා නිවැරැදි කර ගන්නට නුවණින් කටයුතු කරන්න. මවුපියන් ශ්‍රද්ධාවෙන් හීන නම්, ශ්‍රද්ධාව වර්ධනය කිරීමටත්, සිල්වත් බවෙන් අඩු නම් සිල්වත් මඟ යන්නට පෙන්වාදීමෙනුත්, ලෝභී සිතිවිලි වේ නම් නිර්ලෝභී වන්නට උපකාරී වීමෙනුත්, ප්‍රඥාවෙන් තොර නම් ධර්මානුකූල ප්‍රඥාවට ළං කිරිමෙනුත්, ඔබට ඔබේ මවුපියන්ට උපස්ථාන කළ හැකියි.

එහෙත් මේ සියල්ල ඔබ විසින් කළ යුත්තේ මෛත්‍රී සිතින් ම යි. අවඥාවෙන් නම් නොවේ. එවිට ගුණනුවණින් මවුපියෝ "මගේ බුදු පුතා යැයි ද, මගේ රත්තරන් දුව යැයි ද" කියනු නො අනුමානයි. ඔබ කොපමණ ඉහළ අධ්‍යාපනයක් ලැබූ අයකු වූවත්, විශාල ධනවතකු වූවත්, සමාජයේ කවර තරාතිරමක පසු වූවත් මවුපිය පාමුල වැඳ වැටෙන්නට තරම් සිතක් ඇතිවීම අවශ්‍යයයි.