Print this Article


ශ්‍රී සද්ධර්මය පිරිසුදු ව දැන ගනිමු  දැනගත් ධර්මය දකින්නට වෙර වඩමු

අග්ගිවච්ඡගොත්ත සූත්‍රය - 2, 3, 2 (මජ්ක්‍ධිම නිකාය 2 - සූත්‍ර අංක 72)

ශ්‍රී සද්ධර්මය පිරිසුදු ව දැන ගනිමු, දැනගත් ධර්මය දකින්නට වෙර වඩමු

එක් සමයෙක්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩවසද්දී වච්ඡගොත්ත නම් වූ පරිබ්‍රාජක තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. භාග්‍යවතුන් වහන්සේට වැඳ සතුටු උපදවන සිහිකටයුතු වූ කථා කොට (සම්මෝදනීයං කථං) නිමවා එකත්පස්ව හිඳ මෙසේ ඇසී ය.

කිම භවත් ගෞතමයෙනි, භවත් ගෞතමයෝ ලෝකය (ආත්මය) සදාකාලික ය. මෙය ම සත්‍යය යි. මෙයින් අන්‍ය මත හිස් ය, යන මෙබඳු දෘෂ්ටි ඇත්තාහු ද?

වච්ඡය, මම එබඳු දෘෂ්ටි ඇත්තෙම් නොවෙමි.

භවත් ගෞතමයෝ, ලෝකය (ආත්මය) සදාකාලික නැත යන.... දෘෂ්ටි ඇත්තාහු ද? වච්ඡය, මම එබඳු දෘෂ්ටි ඇත්තෙම් නොවෙමි.

භවත් ගෞතමයෝ, ලෝකය (ආත්මය) කෙළවරක් ඇත. යන... දෘෂ්ටි ඇත්තාහු ද? වච්ඡය, මම එබඳු දෘෂ්ටි ඇත්තෙම් නොවෙමි.

භවත් ගෞතමයෝ, ලෝකය (ආත්මය) කෙළවරක් නැත (අනන්තවත්) යන.... දෘෂ්ටි ඇත්තාහු ද? වච්ඡය, මම එබඳු දෘෂ්ටි ඇත්තෙම් නොවෙමි.

භවත් ගෞතමයෝ, ජීවයත් - ශඹරීරයත් එකක් යන..... දෘෂ්ටි ඇත්තාහු ද? වච්ඡය, මම එබඳු දෘෂ්ටි ඇත්තෙම් නොවෙමි.

භවත් ගෞතමයෝ, ජීවයත් - ශරීරයත් දෙකක් ය යන.... දෘෂ්ටි ඇත්තාහු ද? වච්ඡය, මම එබඳු දෘෂ්ටි ඇත්තෙම් නොවෙමි.

භවත් ගෞතමයෝ, සත්ත්වයා (ආත්මය) මරණින් මතු නොවෙයි, (නූපදී) යන...... දෘෂ්ටි ඇත්තාහු ද? වච්ඡය, මම එබඳු දෘෂ්ටි ඇත්තෙම් නොවෙමි.

භවත් ගෞතමයෝ, සත්වයා (ආත්මය) මරණින් මතු නොවෙයි, (නූපදී) යන.... දෘෂ්ටි ඇත්තාහු ද? වචඡය, මම එබඳු දෘෂ්ටි ඇත්තෙම් නොවෙමි.

කිම භවත් ගෞතමයෝ, සත්ත්වයා මරණින් මතු වන්නේත්, (උපදිතැයි) නො වන්නේත් (නූපදිතැයි) වෙයි යන..... දෘෂ්ටි ඇත්තාහු ද? වච්ඡය, මම එබඳු දෘෂ්ටි ඇත්තෙම් නොවෙමි.

කිම භවත් ගෞතමයෝ, සත්ත්වයා මරණින් මතු නොම වන්නේත්, නොම නො වන්නේත් වෙතැයි යන...... දෘෂ්ටි ඇත්තාහු ද? වච්ඡය, මම එබඳු දෘෂ්ටි ඇත්තෙම් නොවෙමි.(2)

කිම පින්වත් ගෞතමයෙනි, පින්වත් ගෞතමයෝ ලෝකය සදාකාලික ද? ලෝකය සදාකාලික නොවේ ද? ආදී වශයෙන් වූ ඉහත කී දෘෂ්ටි ඇත්තාහු දැයි ඇසූ සැමවිට ම “මම මෙබඳු දෘෂ්ටි ඇත්තෙම් නොවෙමි’යි කියන්නේ ය. පින්වත් ගෞතමයෙනි, කිනම් ආදීනවයන් දකිමින් මෙසේ මේ සියලු දෘෂ්ටිගතිවලට නො පැමිණියාහු දැ’යි ඇසී ය.

භාග්‍යවතුන් වහන්සේ වච්ඡය, ලෝකය ශාශ්වතය (සදාකාලික ය) යනාදී මේ දස කරුණු ම දෘෂ්ටියට බැස ගැනීමකි. දෘෂ්ටියක් අල්වා ගැනීමකි. දෘෂ්ටි කාන්තාරයකි. දෘෂ්ටි විසුලුවකි. (කෝලම් බැලීමකි) දෘෂ්ටියෙහි චපල බවකි. (දැඟලීමකි දෘෂ්ටියෙහි හට ගැන්මෙකි. (කෙලෙස් දුක්ඛයට හා විපාක දුක්ඛයන්ට ඇඳීමෙකි) දුක් සහිත ය. උවදුරු සහිත ය. දැවිලි සහිත ය. (ගින්නෙන් දැවෙන්නා සේ ය) මෙම දෘෂ්ටි සසර කලකිරීම පිණිස නොවෙයි, නො ඇලීම පිණිස නොවෙයි, රාගාදී දුක් නැති කිරීම පිණිස, කෙලෙස් සන්සිඳීම පිණිස නොවෙයි. නො අනිත්‍යාදී වශයෙන් විශේෂ අවබෝධය පිණිස නොවෙයි, සත්‍යාවබෝධය පිණිස, නිවන් අවබෝධය පිණිස නො පවතී. මම මේ ආදීනවයන් දකිමින් මෙසේ සර්ව ප්‍රාකාරයෙන් මේ දෘෂ්ටිගතයන්ට නොපැමිණීම් වෙමි’යි වදාළ සේක.

යළිත් වච්ඡගොත්ත පරිබ්‍රාජක භාග්‍යවතුන් වහන්සේගෙන් විමසන්නේ පින්වත් ගෞතමයන් වහන්ස, මෙයින් කිසියම් එක් දෘෂ්ටියක් හෝ රුචිකොට නො ඉවසන්නේ ද?

වච්ඡය, “දෘෂ්ටිගත” ය යන මෙම කරුණ තථාගතයන් විසින් බැහැර කරන ලද ය. වච්ඡය, තථාගතයන් විසින් මෙය ම (ප්‍රඥාවෙන්) දක්නා ලද ය. රූපය මේ ය, රූපය (හටගැන්මේ) හේතුව මෙය වෙයි. මෙසේ රූපයාගේ විනාශය වෙයි. මෙතෙක් වේදනා වෙයි. වේදනාවගේ හේතුව මෙය වෙයි. මෙසේ වේදනා විනාශය වෙයි. මෙතෙක් සංඥා ය, මෙසේ සංඥා හට ගනී. මෙසේ සංඥාවගේ නිරෝධය (විනාශය) වෙයි. මෙතෙක් සංස්කාරයෝ ය. මෙසේ සංස්කාර හට ගනී. මෙසේ සංස්කාර නිරෝධය වෙයි. විඥාන මෙතෙක් ය. මෙසේ විඥාන හටගැන්ම වේ. මෙසේ විඥාන නිරෝධය වේ යයි දනී. එහෙයින් තථාගතයෝ මෝහයෙන් සිතා ගත් බවට පත් වෙන සියලු දිට්ඨි තණ්හා - මාන (3) යන තමා පිළිබඳ වූ මේ හැඟීම් (මඤ්ඤිතයන්) සියල්ල මඩනා ලදුව (මථිතයන් දිට්ඨි, තණ්හා, මාන යන අනුසය ධර්ම ක්ෂය කොට නොඇල්මෙන් (විරාගයෙන්) නිරුද්ධ කිරීමෙන් (නිරෝධයෙන්) හැර දැමීමෙන් (ත්‍යාගයෙන්) නැවත (විරාගයෙන්) නිරුද්ධ කිරීමෙන් (නිරෝධයෙන්) හැර දැමීමෙන් (ත්‍යාගයෙන්) නැවත නො උපදිනා පරිදි දුරලීමෙන් උපාදාන රහිත ව මිදුනේ යැයි (4) කියමි’යි වදාළ සේක.

වච්ඡගොත්ත - භවත් ගෞතමයන් වහන්ස, මෙසේ මිදුණු සිත් ඇති මහණ කොහි උපනේ වේ ද?

භාග්‍යවතුන් වහන්සේ - වච්ඡය, “උපදී” යනු නො යෙදෙයි.

වච්ඡගොන්ත - එසේනම් භවත් ගෞතමයන් වහන්ස, සත්ත්වයා උපදින්නේත් වේ ද, නූපදින්නේත් වේ ද?

භාග්‍යවතුන් වහන්සේ - වච්ඡය, “උපදනේත් වෙයි, නූපදනේත් වෙයි” යනු නොයෙදෙයි.

වච්ඡගොත්ත - එසේ වී නම් ගෞතමයන් වහන්ස, නො උපදියි, නූපදින්නේත් නොවේ යයි වදාරණ සේක් ද?

භාග්‍යවතුන් වහන්සේ - වච්ඡය, “නො උපදියි, නූපදින්නේත් නොවෙයි යනු ද නොයෙදේ” යයි වදාළ සේක.(5)

භවත් ගෞතමයන් වහන්ස, ඒ මිදුනු සිත් ඇති භික්ෂුව කොහි උපනේ දැයි මවිසින් ඇසූ සියලු පැනයන්ට ද ලබා දුන් පිළිතුරු අනුව මම (තවත්) නොදැනීමට පැමිණියෙමි. මෙහිලා මම මුළාවට පැමිණියෙමි. භවත් ගෞතමයන් සමඟ පළමු කථාවකින් මා හට යම් ප්‍රසාද මාත්‍රයක් (සුලු පැහැදීමක්) හෝ ඇතිවී ද එය ද දැන් මට නැත. (6)

වච්ඡය, ඔබගේ නො දැනීම හේතු සහිත ය. මුළාවට පත්වීම විය හැක්කකි. වච්ඡය, නුවණින් බැලිය යුතු, හේතු සහිත විශ්වාස කටයුතු මේ ධර්මය (ගුණයෙන්) ගැඹුරු ය. එහෙයින් දැකීම දුෂ්කර ය. (දුද්දසො) අවබෝධ කිරීම දුෂ්කර ය. එහෙත් ශාන්ත ය. ප්‍රණීත ය. තර්ක කොට තේරුම් ගත නොහැක්කකි. සියුම් ය. (යහපත් ප්‍රතිපදාවේ පිහිටා) නුවණැත්තන් විසින් දැකිය යුත්තකි. අන්‍ය දෘෂ්ටික වූ (දෘෂ්ටිගත වූ) අන්‍ය දෘෂ්ටියක් පිළිගන්නා වූ, අන්‍ය දෘෂ්ටියක් කැමති වන්නා වූ, අන්‍ය දෘෂ්ටියක් හි යෙදෙන්නා වූ අන්‍ය දෘෂ්ටියක ගුරුවරුන් ඇත්තා වූ ඔබ විසින් මේ ධර්මය දැක ගැනීම දුෂ්කර ය. එහෙයින් වච්ඡය, මෙහිලා ඔබගෙන් ම විමසමි. ඔබට යම් සේ වැටහේ ද එය (මට) ප්‍රකාශ කරන්න.

“වච්ඡය, ඔබ ඉදිරියේ ඇවිලෙන ගින්නක් වේ නම්, ඔබ ඉදිරියෙහි මේ ගින්න ඇවිලේ යැයි දන්නෙහි” ද? “භවත් ගෞතමයන් වහන්ස, එසේ වී නම් ඒ ගින්න මා ඉදිරියෙහි ඇවිලෙන්නේ යැයි මම දනිමි”, “එසේ නම් වච්ඡය, මේ ගින්න තොප ඉදිරියේ කුමක් නිසා ඇවිලේ දැයි ඇසුවහොත් ඔබ කුමකැයි ප්‍රකාශ කරන්නෙහි ද?”

එසේ අසනු ලැබු විට මම “යම් ගින්නක් මා ඉදිරියෙහි ඇවිලේ ද මේ ගින්න වියළි තෘණ, දැව, දර ආදී (උපාදාන කොට) හේතුකොට ගෙන ඇවිලේ යැයි” ප්‍රකාශ කරන්නෙමි.

“ඉදින් වච්ඡය, මේ ගින්න ඔබ ඉදිරියේ නිවී යන්නේ නම්, ඒ ගින්න මා ඉදිරියෙහි නිවුනේ යැයි දන්නෙහි” ද?

එසේ ය ස්වාමීනි, ඒ ගින්න මා ඉදිරියෙහි නිවුනේ නම්, ගින්න නිවුනේ යැයි මම දනිමි.”

" එසේ නම් වච්ඡය, යම් ගින්නක් ඔබ ඉදිරියෙහි මෙසේ නිවුනේ ද? ඒ ගින්න මෙතැනින් කවර දිසාවක ට ගියේ ද? නැඟෙනහිරට හෝ බස්නාහිරට හෝ උතුරු දිශාවට හෝ දකුණු දිශාවට හෝ යනුවෙන් කවර දිශාවකට ගියේ දැයි ඔබෙන් අසන ලදී නම් ඔබ කුමක් ප්‍රකාශ කරන්නෙහි ද?" පින්වත් ගෞතමයන් වහන්ස, එසේ කීමක් නො යෙදයි. (ගින්න නිවී ගියේ ය)"

“භවත් ගෞතමයන් වහන්ස, යම් හෙයකින් ඒ ගින්න වියළි තෘණ, දැව, දර ආදී යමක් නිසා ඇවිලුනේ ද ඒවා දැවී අවසන් වී යාමෙන් ද (උපාදානයන්ගේ ක්ෂය වීමෙන්) දැවීමට අන් දෙයක් එකතු නොවූ හෙයින් ද (අලුතින් එකතු කිරීමක් උපාදානයක්හුගේ නොඑළැවීමක්) ප්‍රත්‍යය රහිතවීම නිසා ඒ ගින්න නිවුණේ යැයි කිය යුතු බවට පැමිණෙන්නේ ය.”

එසෙයින් ම වච්ඡ ය, යම් රූපයක් නිසා තථාගතයන් සත්ත්වයෙකැ යි පනවන්නේ ද?, කියන්නේ ද? ඒ රූපය තථාගතයන් විසින් ප්‍රහීණ කරන ලද්දේ ය. රූපයන් උපන් මුල් උදුරා ඇත්තේ ය. මුදුන සිඳින ලද තල් ගසක් මෙන් කරන ලද්දේ ය. විනාශ කරන ලදී. මතු නූපදනා ස්වභාවයට පත් කරන ලදී. වච්ඡය, රූපය නුවණින් (ප්‍රඥාවෙන් දැන මිදුණා වූ තථාගතයන් මහා සමුදුර මෙත් ගුණයෙන් ගැඹුරු ය.

ප්‍රමාණ කළ නොහැක. බැස ගැනීමට (පරිහරණය කිරීමක්) නොහැකි වූයේ වෙයි. එහෙයින් “උපදනේ” යැයි නො යෙදෙයි.” “නූපදී ය”යි නො යෙදෙයි. (මෙසේ සූත්‍රයේ ආරම්භයේ වච්ඡගොත්ත විසින් විමසූ දස පැනයට ම මෙ පරිදි ගළපා පිළිතුරු ලබා දුන් සේක.)

මෙසේ වදාළ කල්හි වච්ඡගොත්ත පරිබ්‍රාජක භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීයේ ය. භවත් ගෞතමයන් වහන්ස, යම් සේ ගමකට හෝ නගරයකට හෝ නුදුරෙහි මහසල් රුකක් වේ ද, එය අනිත්‍ය බැවින් අතුපතර බිඳී යන්නේ ය. සිවිය ද, පලය ද විනාශ වී ගොස් පසු කලෙක්හි අරටුව පමණක් ඉතිරි වේ ද, එමෙන්ම, භවත් ගෞතමයන් වහන්සේ මේ ධර්මය පහව ගිය අතු පතර ඇති, පහ වූ සිවිය, පහ වූ පතුරු, පහ වූ ඵලය ඇති පිරිසුදු වූ ලෝකෝත්තර වූ (ලෝකයෙන් එතර වූ) ධර්ම සාරයෙහි (පිරිසුදු අරටුවෙහි) පිහිටියේ වෙයි.

පින්වත් ගෞතමයන් වහන්ස, යහපති, ඉතා මනහර ය. පින්වත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයකු ලෙස මා පිළිගනු මැනවි.(8)

වච්ඡගොත්ත යනු මොහු හඳුන්වනු ලබන ගෝත්‍ර නාමය යි. මෙම සූත්‍රය “අග්ගිවච්ඡගොත්ත” යනුවෙන් නම් කර ඇත්තේ වච්ඡගොත්ත නම් වූ මෙම පරිබ්‍රාජකයාට භාග්‍යවතුන් වහන්සේ විසින් සූත්‍රයෙහි එන ධර්ම සාරය ඇවිලෙන ගින්නක් (අග්ගි ජල්‍යෙය) උපමා කොට ගෙන අවබෝධ කිරීමට කටයුතු සම්පාදනය කළ හෙයිනි.

තවද බුද්ධ කාලයෙහි භාරත සමාජයෙහි අන්‍ය ශාස්තෘ ශ්‍රමණ කොටස් බොහෝ තිබූ අතර අටුවාවෙහි එන ප්‍රධාන කොටස් පහක් මෙසේ දැක්විය හැක. වච්ඡගොත්ත ද මෙහිලා පරිබ්‍රාජකයෙකි.

ආජීවකයෝ - නායකයා මක්ඛලීගෝශාල ය, යටිකය සළුවකින් වසාගෙන උතුරු සළුවක් පොරවාගෙන, කෙන්ඩියක් අතින් ගෙන, වහන් සඟලක් පැළඳ සිත්තම් කළ පුවරුවක් මොවුහු අතින් දරා සිටිති.

පරිබ්‍රාජකයෝ - මොවුහු සත්‍ය සොයමින් තැන තැන ඇවිදිති. අනෙක් අය සමඟ තර්ක කරති. නාම, රූප, වේදනා ආදිය ප්‍රහීණ කිරීම අපේක්ෂා කරති. සංජය බෙල්ලට්ඨපුත්ත, පොක්ඛරසාති, පොට්ඨපාදි වැනි අය ප්‍රමුඛත්වයෙහි ලා සැලකේ.

නිගණ්ඨයෝ - මොවුහු මුණ්ඩකයෝ ය. (හිස මුඩු කළෝ ය) නිගණ්ඨනාථපුත්ත නායක වේ. මොවුහු ශ්වේතාම්බර නම් සුදු වස්ත්‍ර හැඳි පිරිසක් ද, දිගම්බර නම් වූ නිර්වස්ත්‍ර පිරිසක් ද වූවෝ ය. (දැනුදු බරණැස ඉසිපතනාරාමය අසල දිගම්බරයන්ගේ පැරැණි කෝවිලක් ඇත.) කර්මය ක්ෂය කිරීමෙන් මෝක්ෂය ලැබිය හැකි බවත්, මේ සඳහා කයට දඬුවම් කොට කර්මය ක්ෂය කළ හැකි බවත් විශ්වාස කෙරෙති. කාය දණ්ඩ - වචී දණ්ඩ හා මනෝ දණ්ඩ යනුවෙන් මේ කර්ම ඔවුහු හඳුන්වන අතර කාය දණ්ඩය ම ප්‍රධාන කොට සලකති. (ම.නි. උපාලි සූත්‍රය බලන්න)

ජටිලයෝ - හිසෙහි ජටාවක් දරන හෙයින් මෙ නම් විය. මොවුහු සංචාරක ජීවිතයක් ගතකරති. බ්‍රහ්මචාරීහු ය. ගිනිපූජාව ප්‍රධාන පිළිවෙතයි.

අචේලකයෝ - මොවුහු නග්න ය. අශිෂ්ට ගති පැවතුම්වලින් යුත් කොටසකි. කෙස් රැවුල් උදුරා දමති. ශරීරයට දැඩි දුක් දෙති. දීඝනිකායේ පාඨික සූත්‍රයේ එන කෝරක්ඛත්තිය මෙවැනි අචේලකයෙකි.

ජෛන හා බෞද්ධ සාහිත්‍යයෙහි පැවිදි පක්ෂය ගැන විස්තර වන හැම තැන ශ්‍රමණ, බ්‍රාහ්මණ යනුවෙන් දෙ කොටසක් සඳහන් වේ. ශ්‍රමණයෝ විවිධ ස්වභාවයෙන් යුත් විවිධ සම්ප්‍රදායයන් ගුරු කොට ගත් විවිධ ගති පැවතුම් ඇත්තෝ ය. මේ සියලු ශ්‍රමණධාරීන්ගේ පරමාර්ථය වූයේ තපසෙහි යෙදෙමින් මෝක්ෂය සෙවීම ය. එසේ වූ මොවුහු තම තමන් අවබෝධ කළ ධර්මයන් ම රහත් බව හා නිවන ලෙස සැලකූ බව පෙනේ. මේ අතර බ්‍රාහ්මණයෝ යනු විවිධ ස්වරූපයෙන් තොර එකම පිරිසකි.

ආලාරකාලාම - උද්දකරාම පුත්‍ර සහ තවත් අප්‍රකට ශ්‍රමණ පිරිස් ද විසූ බව පෙනේ. මේ සියලු පිරිස්හි සංස්කෘතීන් වෛදික යුගය දක්වා ඈතට දිවේ. මෙවන් පසුබිමක් තුළ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කළ ගුණයෙන් ම ගැඹුරු මේ සද්ධර්මය තවත් කෙනකුට අවබෝධ කරලීමට මොනතරම් වෙහෙසක් දරන්නට ඇත් ද? දීඝ නිකායේ බ්‍රහ්මජාල සූත්‍රයෙන් තවත් විස්තර බලා ගත හැක. බුද්ධත්වය ලබා ගත කළ සත්සතියෙන් පසු සහම්පති මහා බ්‍රහ්මාරාධනාව තෙක් දහම් නොදෙසුයේ මේ හේතූන් නිසා ද?

මෙකී දස ප්‍රශ්න ත්‍රිපිටකයේ තවත් තැන් හි හමුවෙති. දීඝනිකායේ පොට්ඨපාද සූත්‍රය උදාහරණයකි. මේවා ධර්මයේ “අව්‍යාකත” ප්‍රශ්න නමින් හඳුන්වයි. අව්‍යාකත නම් වූ මෙම පදය ප්‍රකාශ නොකළ (අප්‍රකාශිත) නොහොත් බුදුරජාණන් වහන්සේ විසින් පිළිතුරු නො වදාළ ප්‍රශ්න ලෙස හඳුන්වති. එයට හේතූන් ද මෙම සූත්‍රයේ දී ම වදාරණ සේක.

මෝහය නිසා සත්ත්වයා විසින් “මම” යැයි ගන්නා දෘෂ්ටිය, “මගේ” යයි ගන්නා තෘෂ්ණාව “මම වෙමියි හැඟෙන” මානය, ඇති කර ගන්නා බව ධර්මයේ සඳහන් වේ.

උපාදාන සතරකි. කාමුපාදානය, සීලබ්බතුපාදානය, දිට්ඨුපාදානය, අත්තවාදුපාදානය යනුයි. උපාදාන යනු සමීපයට ගැනීම, ග්‍රහහණයට හෝ දැඩි කොට ගැනීම යි. උපාදාන රහිත ව යනු මේවා දැඩි කොට නොගෙන මිදීමයි.

වච්ඡගොත්ත නැඟූ මේ සියලු ප්‍රශ්නවලට භාග්‍යවතුන් වහන්සේ විසින් ලබා දුන් පිළිතුරු එකදු දෘෂ්ටියකට හෝ නො වැටේ. එසේ නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි එන “සම්මාදිට්ඨිය” කවරේදැයි යන පැනයක් කෙනකුට මතු කළ හැක. මෙයට පිළිතුරු වනුයේ, යමෙක් මේ ධර්මයෙහි ගුණ දැන පැහැදී නිර්වාණ ධර්මයට පැමිණීමට කැමැති වන්නේ නම්, ඉහත කී සියලු දෘෂ්ටීන්ගෙන් මිදී නිවන අරමුණූ කොටගත් සිතක ඒ “සම්මාදිට්ඨිය” ඇති කර ගත යුතු බවයි. (ම.නි. 1 - සම්මා දිට්ඨි සූත්‍රය)

මේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයා මෙයට පෙර විශාලා මහනුවර දී හමුවූ අවස්ථාවක “තේවිජ්ජවච්ඡගොත්ත” සූත්‍රය භාග්‍යවතුන් වහන්සේගෙන් අසා සතුටු සිත් ඇති ව විසූ අයෙකි. මජ්ක්‍ධිම නිකායේ මෙම සූත්‍රයට කලින් ඇති සූත්‍රය (සූත්‍ර අංක 71) එම සූත්‍රය යි. ඒ නිසා මෙවැනි ප්‍රකාශයක් පරිබ්‍රාජකයා විසින් කරන ලදැයි ද සැලකේ.

මෙහි “දුද්දසො” යන පාළි යෙදුමයි. යමෙකුට මේ ධර්මය අවබෝධ කළ හැක්කේ දැන ගැනීමෙන් පමණක් නොව දැක ගැනීමෙන් ද විය යුතු ය. මේ ධර්මය දැකිය හැක්කේ ප්‍රඥා ඇසින් ම ය. ධම්මපද ගාථා අංක 282 පෝඨිල තෙරුන් වහන්සේ ගැන කියැවෙන අටුවා කථාව මෙයට උදාහරණයකි.

මෙවන් ශාස්තෘ දහමක ශ්‍රාවකයන් වූ අපි මේ බුදුදහම පිරිසුදුව දැන ගනිමු. දැනගත් ධර්මය දැක ගැනීමට වීර්ය වඩමු.

මේ වච්ඡගොත්ත පරිබ්‍රාජකයා කලකට පසු භාග්‍යවතුන් වහන්සේ නැවැත හමුව “මහා වච්ඡගොත්ත” සූත්‍ර දේශනාව (අංක 73) අසා පැවිදි උපසම්පදාව ලබා අඩමසක් තුළ රහතන් වහන්සේ අතර තවත් එක් රහතන් වහන්සේ නමක් බවට පත් වූ සේක.

මෙහිලා ගින්න නම්, “මම” යැයි සම්මත සත්ත්ව, පුද්ගල, ආත්ම සංකල්පය යි. ගින්න ඇවිලෙන දෑ නම්, රාග ද්වේෂ මෝහ ආදී අකුසලයෝ ය. ගින්න නිවී යාම නම්, මෙකී අකුසලයෝ ක්ෂය කිරීමයි.

අපි සියල්ලෝ සසරින් මිදෙමු'යි හැම විට ම සිතමු. ඒ අනුව සිත, කය, වචනය යොදාගමු.